spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයන් බය කිරීමේ ආණ්ඩුවේ උත්සාහයක්. රජයේ සේවකයන් තම සීමාව දන්නවා ද ?

පුවත්

විදෙස්

සජීව විජේවීර

වනාන්තරයේ ඈත ඉම දෙස බැලූ වානරයෙක් අමුතු හඬක් නැගුවේය. මොහොතකින් ඈතින් ඊට පිළිතුරු හඬක් නැගිණි. ඒ හඬ තවත් වානරයකුගේය. දෙදෙනා එකිනෙකට වෙනස් වූ ශබ්ද මාලාවක් කළහ. භාෂාව උපන්නේ එතැනිනි. වානරයාගේ සිට ශිෂ්ඨ සම්පන්න මිනිසා දක්වා පරිනාමය වෙද්දී සියලු දේ උරුමවූයේත්, සමස්ත ලෝකය ම උඩු යටිකුරු කර තම අත්ල මතට සියල්ල ග්‍රහණය කරගත්තේත් මේ භාෂාවේ අනුහසිනි.

කතා කිරීමේ හැකියාවත්, එය යමෙකුට ප්‍රකාශ කිරීමේ සහ තේරුම් ගැනීමේ හැකියාවත්, දැනුම පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්ඩව සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවත් වානරයාගේ සිට පරිගණක යුගයේ මිනිසා දක්වා පැමිණීමේ දී වඩාත් මහෝපකාරී වූයේ භාෂා සහ එයින් සිදුකරන ප්‍රකාශයන් ය.

නමුත් මේ ගමන පහසු වූයේ නැත. සෑම අවස්ථාවක දී ම මිනිසුන්ට තම සිතට නැගෙන අදස් ඒ ආකාරයෙන් ප්‍රකාශ කිරීමට අවස්ථාවව උදාවූයේ ද නැත. වචනයකින් සිදුවන වැරැද්ද කෙළවර වූයේ හිස ගසා දැමීමෙනි.

වර්තමානයේ කතා කිරීමේත්, අදහස් ප්‍රකාශ කිරීමේත් නිදහස ගැනත් වෙන කවරදාටත් වඩා විවාදයට ලක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ පරිපාලන වෛද්‍ය චමල් සංජීව වැඩ තහනමකට ලක්වූයේ ද කතා කරන්නට ගොසිනි. සූරියවැව ප්‍රදේශයේ සායනයක දී දරුවන්ගේ සෞඛ්‍ය වර්ධන පත්‍රිකා පරීක්ෂාකරමින් සිටි වෛද්‍යවරයා එම දරුවන්ගේ සෞඛ්‍ය දත්ත පෙන්වමින් මන්දපෝෂණය වැඩි වෙමින් පවතින බවත්, මෙය ඉතාමත් භයානක තත්වයක් බවත් මාධ්‍යහමුවේ කීවේය. ආණ්ඩුවට මේ ප්‍රකාශය ගැටලුවක් වී තිබිණි. මන්දපෝෂණය වැඩිවීමක් ගැන අනාවරණය රජයට දරාගත නොහැකිවිය.

සෞඛ්‍ය අමාත්‍ය කෙශෙළිය රඹුක්වැල්ල ඊට දින කිහිපයකට පසු පාර්ලිමේන්තුවේ දී කීවේ රටේ දරුවන් අතර මන්දපෝෂණ තත්වයක් නොමැති බවයි.

කිසිදු පූර්ව පරීක්ෂණයකින් තොරව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගේ සේවය අත්හිටුවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කෙරුණු අතර එහි වැඩිදුරටත් සඳහන් වූයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතිය ඇතිව වෛද්‍ය චමල්  සංජීවගේ වැඩ තහනම් කරන ලද බවයි. මේ සම්බන්ධයෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බව ද දැනුම් දී තිබිණි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව 2012 වර්ෂයේ දී විද්‍යාත්මක විග්‍රහයක් කරමින් කියා සිටියේ 2020 වර්ෂය පමණ වනවිට ලෝකය පුරා වෛරසයක් පැතිරීයාමෙන් රටවල් රැසකට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි. එම වයිරසය කොරෝනා වැනි වයිරසයක් විය හැකි බව ද කීවේය. එවැනි විද්‍යාත්මක සන්නිවේදකයකු වැඩ තහන් කිරීමේ දී කිසිදු පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ නැත.

චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමෙන් පසු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ම නැවත පාර්ලිමේන්තුවේ දී කීවේ තමන් නොදැන සිටිය ද රටේ දරුවන් අතර මන්දපෝෂණ තත්වයක් පවතින බවට දත්ත ලැබී ඇති බවයි. මේ වනවිට පාසල් දරුවන්ට පෝෂණීය ආහාරවේලක් පවා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන් දියත්කරමින් සිටියි.

නමුත්, මන්දපෝෂණ තත්වයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර වර්ධනය වන බවට රටට කී වෛද්‍ය චමල් සංජීව මාධ්‍යයට තොරතුරු හෙළිකිරීමේ වරදට රැකියාව අහිමිව නිවසට වී සිටියි.

ඔහු තමන්ට සිදුවූ අසාධාරණයට යුක්තිය ඉටුකර දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති අතර දින දෙකක් එම නඩුව කැඳවා තිබිණි. මෙම සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු තීන්දුවක් බැවින් අපි එ් පිළිබඳ මෙම ලිපියෙන් විවරණය කරන්නේ නැත.

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමෙන් නොනැවතුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීම කළ හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ ලේකම්වරයාගේ අත්සනින් පමණක් බව සදහන්  කරමින් චක්‍රලේඛයක් 2022-09-21 දින‍ නිකුත් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ නිකුත් 04/2022 අංකයෙන් “රාජ්‍ය නිලධාරීන් සමා ජමාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම විනයානුකූළව කටයුතු කිරීමට හේතුවන වරදක්” පව පවසමින් 2022-09-27 දින චක්‍රලේඛයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් බැඳී සිටින රටේ ඉහළම පරිපාලන නිලධාරියකු වූ මායාදුන්නේ මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ වලංගු නීතිය අනුව කිසිසේත්ම හැකියාවක් නැතැයි නීති විශාරදයෝ කියති. 

ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේද‍යේ 06වන සහ 07 වන වගන්තීන්හි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේලඛ 04/2015 හි 03 වන වගන්තිය දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවයි.

එමෙන් ම ආයතන සංග්‍රහයේ පළමු වැනි කාණ්ඩයේ XXXII වැනි පරිච්ඡේදයේ 01 වන වගන්තිය අනුව දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාවක් බවත්, දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම ද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවත් එහි දක්වා ඇත. චක්‍රලේඛයේ අවසානයේ නැවත පවසා ඇත්තේ එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායදුන්නේ මෙම චක්‍රලේඛය මගින් සිදුකර ඇත්තේ මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝගනය කිරීමකි.

එම ලිපිය නීති විරෝධී වන්නේ ඇයි ?

මේ පිළිබඳ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ ජගත් ලියනාරච්චිගෙන් විමසූ විට ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මෙරට සියලු පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙම ලිපිය මගින් උල්ලංඝනය වන බවයි.  

එමෙන් ම 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 40 වැනි වගන්තිය අනුව යම් පොදු අධිකාරියක තොරතුරු සඳහා ප්‍රවේශවීමට පුරවැසියන්ට අවස්ථාව ඇති තොරතුරක්, ආයතනයේ ඕනෑම අයකු විසින් ඕනෑම පුරවැසියකුට කවර ආකාරයකින් හෝ ලබා දිය හැකි අතර එලෙස ලබාදුන් තැනැත්තාට හෝ තැනැත්තියට හෝ එරෙහිව කිසිදු ආකාරයක විනයානුකූළ ක්‍රියාමාර්ගයක් ගැනීමට නිතීමය අවසරයක් ද නැති බව ද නීතිඥ ජගත් ලියන ආරච්චි පවසයි.

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ සඳහන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට 15 වැනි වගන්තියෙන් යම් යම් සීමාවන් පැනවෙනවා. ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල අධිකරණයෙන් දුන් තීන්දු කිහිපයක් දී තිබෙනවා. ඒ තීන්දු දී තිබෙන්නේ 14 වැනි වගන්තිය පමණක් සළකා නොවෙයි. අනිකුත් වගන්තිත් සළකා බලමින්. මෙවැනි කතිකාවක දී අපිට අධිකරණය දී තිබෙන එවැනි තීන්දු ද වැදගත් වෙනවා.” යැයි ද නීතිඥ ලියන ආරච්චි කීවේය

ලේකම්වරයාගේ ලිපිය අධිකරණයට අභියෝගයක් වෙයි

1. හිටපු ජනාධිපති වරයකු වන මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී 1993 වර්ෂයේ රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි”. එම තීන්දුවව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

“The right to support or to criticize the governments and political parties , policies and programmes is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.” මායාදුන්නේ විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය එම අධිකරණ නියෝගයට පටහැනිය.

2. එමෙන් ම, විජේරත්න එදිරිව පෙරේරා (SCFR 379/93,SCM 2.3.94) නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. “රාජ්‍යයෙහි ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවකි.” එසේ නම් රජයේ අමාත්‍යාංශයක ලේකම්වරයකු මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කරමින් රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීම වාරණය කරන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

3. එම නඩු දෙකට අමතරව තවත් නඩු රැසක් සම්බන්ධයෙන් විවිධ අධිකරණ මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර තිබේ.

ආයතන සංග්‍රහයේ නියෝගවලින් හෝ චක්‍රලේඛවලින් රාජ්‍ය නිලධාරීන්ගේ භාෂණය හා ප්‍රකාශනයට සීමා දැමිය හැකි ද ?

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 15.7 වගන්තිය අනුව පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, රටේ නිදහස, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, මහජන සෞඛ්‍යය, නීතියේ පැවැත්ම යන කරුණුවලට අදාලව නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත්ව ඕනෑම පුරවැසියකුට හිමිවෙයි.

2. නීතිය යන්න 270 වගන්තියේ විස්තර කර ඇත. එම වගන්තිය අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදායකයක් විසින් ඇතිකරන ලද නියෝග සහ රාජ සභා ආඥා පනත් පමණි.

නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවාය.

“චක්‍රලේඛයක් කියන්නේ නිලධාරියකු විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය යන්න අර්ථ දැක්වීම අනුව නම්, ආයතන සංග්‍රහය හෝ නිලධාරීන් විසින් නිකුත්කරන චක්‍රලේඛ නීතියක් වෙන්නේ නෑ. ආයතන සංග්‍රහය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ ලේඛනයක් පමණයි. නමුත් රටේ නීතිමය කරුණු ක්‍රියාත්මක කරන්න ඒ ඒ අවස්ථාවල දී චක්‍රලේඛ නිකුත් කරනවා. ඇතැම් අවස්ථාවල දී අධිකරණ තීන්දුවකින් කරන අර්ථ දැක්වීම් ක්‍රියාත්මක කරන්නත් රාජ්‍ය ආයතන බැඳී සිටිනවා. අධිකරණ තීන්දුවක් දුන්විට එය රටේ නීතියක් වෙනවා. ඒ අනුවත් චක්‍රලේඛ නිකුත් කරනවා.  භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන්. රාජ්‍ය ආයතන කටයුතු සඳහා ආයතන සංග්‍රහය බලාත්මකයි. නමුත් ප්‍රධාන කාරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සියලු දේට ඉහළින් තිබීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකමක් කිසිම චක්‍රල්ඛයකින් හෝ වෙනත් ආකාරයකින් උල්ලංඝනය කරන්න බැහැ. ”

මේ සම්බන්ධයෙන් අපි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ අමතා විමසූ විට ඔහු මෙසේ කිවේය.

“මම නීතිඥයෙක්. මට පැවරී තිබෙන බලපත්‍ර අනුව තමයි මම චක්‍රලේඛය නිකුත් කළේ. ඒකේ වැරැද්දක් තියෙනවද නැද්ද කියලා ඔබ වැනි පාර්ශව සමඟ කතා කරන්න බෑ. ඒ නිසා ඔයාට ඕනනම් ඒ චක්‍රලේඛයට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් දේවි”

රජයේ ලේකම්වරයකුට රටේ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙවැනි චක්‍රලේඛ නිකුත් කරන්න හැකි දැයි විමසූ විට ඔහු නැවත කීවේ තමන් නීතිඥයකු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්, අප විසින් ඉහත සඳහන් කර ඇති නඩු තීන්දු සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා තීරණ රටේ නීතියක් නොවන බව පිළිනොගන්නේ දැයි ඇසූ විට රාජ්‍යසේවයට පිවිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරිමට බැඳී සිටින මායාදුන්නේ නම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ලේකම් වරයා තම ජංගම දුරකථනය විසන්ධි කළේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය සිදු කරන රජයේ ප්‍රධාන ම අමාත්‍යාංශයක නීතිඥයකු බව පවසන ලේකම්වරයා ජනතාව වෙනුවෙන් පිළිතුරු දෙන්නේ ඒ ආකාරයෙනි.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ අදහස

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ නිරත පුද්ගලයන්ගේ අදහස් දැනගැනීම සඳහා අපි  ප්‍රශ්නාවලියක් සකස් කර සමීක්ෂණයක් සිදුකළෙමු. ඒ සඳහා පුද්ගලයන් 280ක පිරිසකගෙන් ප්‍රතිචාර ලැබිණි. ප්‍රතිචාර ලබාදුන් පිරිස අතරින් 202ක් හෙවත් 72.2%ක් පිරිමි පුද්ලයන් වූ අතර 78 දෙනෙක් කාන්තන් වූහ. එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 27.8%කි.

අප වෙත ප්‍රතිචාර දැක්වූ පිරිස අතරින් වසර 05කට අඩුකාලයක් රාජ්‍ය සේවයේ නිරත වූ පිරිස 42කි. (15.1%), වසර 5-10 ත් අතර කාලයක් රාජ්‍ය සේවයේ නිරත වූ 50 දෙනකු අදහස් දක්වා තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස 17.8%කි. වසර 10-15ත් අතර කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කළ 36 දෙනකු අපට අදහස් ප්‍රකාශ කර තිබූ අතර ප්‍රතිශතයක් වශයෙන් 13.7%කි. අදහස් දැක්වූ රාජ්‍ය සේවකයන් අතරින් 46 දෙනකු ප්‍රකාශ කර තිබුණේ තමන් වසර 15-20ත් අතර කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටින බවයි. මෙය ප්‍රතිශතක් ලෙස 16.4%කි. එමෙන්ම වසර 20-25ත් අරත කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටි 45 දෙනකු අපගේ ප්‍රශ්නාවලියට පිළිතුරු සපයා තිබූ අතර එය ද ප්‍රතිශතයක් ලෙස සැළකූ විට 16.4%ක් විය. ප්‍රතිචාර දැක්වූ අයගෙන් වැඩිම පිරිසක් වූයේ වසර 25කට වඩා රාජ්‍ය සේවයේ නිරතව සිටි බව ප්‍රකාශ කළ කණ්ඩායමයි. එම සංඛ්‍යාව 61 දෙනකු වූ අතර ප්‍රතිශතයක් ලෙස 20.5%ක් විය.

රාජ්‍ය සේවකයන් තොරතුරු ලබාගැනීමේ මාධ්‍ය කුමක්ද යන්න පිළිබඳ අපි විමසා බැලූ අතර එහි දී එක් මාධ්‍යයක් පමණක් සඳහන් කරන ලෙස ද අපි කියා සිටියෙමු. ඒ අනුව ලැබුණු ප්‍රතිචාර විශ්ලේෂණයේ දී පෙනී ගියේ රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් තොරතුරු සහ ප්‍රවෘත්ති දැනගැනීමේ ප්‍රධාන ක්‍රමය ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි එම සංඛ්‍යාව 186ක් වූ අතර ප්‍රතිශතයක් ලෙස 66.7%කි. රාජ්‍ය සේවකන් 18.1%ක් රූපවාහින‍ියෙන් වැඩිපුරම ප්‍රවෘත්ති දැනගන්නා බව සඳහන් කර තිබිණි. එම සංඛ්‍යාව 51 දෙනෙකි. තොරතුරු දැනගැනීම සඳහා වෙබ් අඩවි භාවිතා කරන බව සඳහන් කළ සංඛ්‍යාව 31ක් වන අතර එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 11.1%ක් විය. රාජ්‍ය නිලධාරීන් ප්‍රවෘත්ති දැනගැනීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස පුවත්පත් සහ ගුවන්විදුලි මාධ්‍යය සැළකීම ඉතාමත් පහළ මට්ටමකට වැටී තිබුණු අතර පුවත්පත් 08 දෙනකු (2.8%) සහ ගුවන්විදුලි මාධ්‍යය 04ක් (1.4%) ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබේ ද යනුවෙන් අපි ප්‍රශ්නයක් යොමු කළෙමු.

මෙයට පිළිතුරු දුන් 280ක පිරිස අතරින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් බව දන්නා පිරිස 206 දෙනෙක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 73.6%, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් නොවේ යැයි කියූ 31 දෙනෙක් සිටියහ. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගෙන් 11.1% පවසන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් නොවන බවයි. මේ ගැන තමන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ 43 දෙනකු සිටි අතර එය ප්‍රතිශතයක් ලෙස 15.3%කි.

රජය විවේචනය කිරීම සීමා කළ යුතු ද ? යනුවෙන් අපි ප්‍රශ්නයක් යොමුකළ අතර එයට ප්‍රතිචාර දක්වා තිබුණේ පහත සඳහන් ආකාරයෙනි.

රජය විවේචනය කිරීම සීමා නොකළ යුතුය – 161 (57.5%)

රජය විවේචනය කිරීම සීමා කළ යුතුය – 11 (4.1%)

තරමක් දුරට සහ හානිකර දේ සීමා කළ යුතුය – 96 (34.2%)

නිශ්චිත අදහසක් නැත – 12 (4.1%)

රාජ්‍ය සේවයේ යෙදී සිටි කාලය තුළ දී කිසියම් අවස්ථාවක රජය විවේචනය කර තිබේ ද ? නැද්ද ? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් 161 දෙනකු හෙවත් පිළිතුරු දුන් අයගෙන් 57.5% කියා තිබුණේ තමන් එක් අවස්ථාවක දී හෝ රජය විවේචනය කර ඇති බවයි. 119 දෙනකු හෙවත් 42.5%ක් තමන් කිසිම අවස්ථාවක රජය විවේචනය කර නැතැයි ප්‍රකාශ කර තිබිණි.   

රජය විවේචනය කළ බව පැවසූ 161 දෙනා අතරින් 23 ‍දෙනකු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් ආයතන ප්‍රධානියාගෙන් හෝ වෙනත් ඉහළ බලධාරියකුගෙන් අවවාද හෝ දඬුවම් ලැබූ බවයි. එම ප්‍රතිචාරය අනුව රජය විවේචනය කළ රාජ්‍ය නිලධාරීන්ගෙන් 14.28%ක පිරිසකට අවවාද හෝ දඬුවම් ලැබී ඇැත. 138 දෙනකුට එවැනි දෙයක් සිදුවී නොමැති අතර එම සංඛ්‍යාව රජය විවේචනය කළ අයගෙන් ප්‍රතිශතයක් ලෙස 85.71% කි.

අපගේ සමීක්ෂණයට එක්වූ 280ක පිරිස අතරින් ආයතන සංග්‍රහයක් ඇති බව දන්නා සංඛ්‍යාව 267 දෙනකු හෙවත් 95.36%කි. ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය සේවකන්ගෙන් 13 දෙනකු හෙවත් 4.64% ක් ආයතන සංග්‍රහය ගැන දැන සිටියේ නැත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ආමත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවකයන් සමාජ මාධ්‍යවෙත අදහස් දැක්වීම සීමා කරමින් නිකුත්කරන ලද චක්‍රලේඛය වැරදි යැයි කියූ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 211 දෙනෙකි. එය ප්‍රතිශතයක් ලෙස 78.3%කි. රාජ්‍ය සේවකන් 24.7%ක් හෙවත් 69 දෙනකු පවසන්නේ එම චක්‍ර‍ලේඛය නිවැරදි බවයි.

රජය විවේචනය කිරීමේ නිදහස රාජ්‍ය සේවකයන්ට තිබිය යුතු බව අපට ප්‍රතිචාර දැක්වූ 280ක් වූ පිරිසෙන් 199 දෙනකු ම කියා තිබිණි. එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 71.2%කි. රජය විවේචනය කිරිමේ නිදහස සීමා කළ යුතුය යනුවෙන් ප්‍රකාශ කළ සංඛ්‍යාව 08 දෙනෙනකි. ප්‍රතිශතයක් ලෙස 2.7%කි. නමුත්, රජය විවේචනය කිරීමේ නිදහස යම් පාලනයකට යටත්විය යුතුයැයි 24.7% හෙවත් 69 දෙනකු ප්‍රකාශ කළ අතර රජය විවේචනය කිරීමේ නිදහසක් රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය නැතැයි කියූ 04 දෙනකු ද අපට ප්‍රතිචාර දක්වා තිබිණි. එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 1.4%කි. 

පුරවැසියකු ලෙස අප සියලු දෙනාටම අයිතියක් තිබේ. ඒ අයිතිය රජයේ සේවකයන්ට ද හිමිවිය යුතුය. නමුත් රජයේ සේවකයන් විවිධ චක්‍රලේඛ සහ වෙනත් ලේඛන මගින් බැඳ දමා ඇත. සියලු පුරවැසියන්ට හිමිවන අයිතිය රාජ්‍ය සේවකයන්ට අහිමිකිරීමට මානුෂීය නීති අනුව හැකියාව ඇත්ද යන්න ප්‍රශ්න කළ යුතුය.

නමුත්, අප කළ විමසා බැලීමේ දී අනාවරණය වන්නේ රැකියාව වෙනුවෙන් රාජ්‍ය සේවකයන් ද තමන්ට අහිමිවන අයිතීන් ගැන නොතකා හරින බවයි. මෙය සිදුවිය යුත්තක්ද යන්න ගැටලුවකි. නිහඬව සිටීමෙන් තම අයිතිය අහිමිව යාම සිදුවනඇත.

රාජ්‍ය සේවකයන් ම පවසන්නේ තමන් තොරතුරු සහ පුවත් වැඩියෙන් ම දැනගන්නා මාධ්‍ය බවට දැන් සමාජ මාධ්‍ය පත්ව ඇති බවයි. රාජ්‍ය සේවකන්ට සමාජ මාධ්‍ය වෙත අදහස් දැක්වීම සීමා කළ යුතු ද ? නීතිය හමුවේ එය සීමා කළ හැකි  ද ? මෙය විසඳාගත යුතු ගැටලුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!