spot_img
spot_imgspot_img

විදුලි බිල වැඩි කරන යෝජනා අතර බිලියන 2.5ක් වැය කර සේවකයන්ට බෝනස් දෙන්නත් කතා කරයි

පුවත්

විදෙස්

විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට විදුලි බිල අධික ලෙස වැඩිකිරීමට සැළසුම් කර තිබිය දී එහි සේවකයන්ට බෝනස් ගෙවීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් තිබේ.

විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 26,000කට ආසන්නය. ඉන් 3,000ක පමණ පිරිසක් දෙසැම්බර් 31 වැනි දා විශ්‍රාම යාමට නියමිතව ඇත. මේ සියලු සේවකයන්ට බෝනස් ගෙවීමට තීරණය කර ඇති අතර බෝනස් සඳහා රුපියල් බිලියන 2.5ක් වැය වන බව ද පැවසේ.

ඇතැම් ඉංජිනේරුවරුන්ට ලැබෙන බෝනස් මුදල රුපියල් ලක්ෂ 05-12 ත් අතර ප්‍රමාණයක් බව ද විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මෙසේ පවසයි

“‍පාරිතෝෂිත දීමනා මේ වෙලාවේ ලබා දෙන එක අපේ කිසිම විරෝධයක් නෑ. මේ වෙලාවේ ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා. රටම පාඩුයි. ඩොලර් නෑ. එහෙනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද කැපවීමක් කළ යුතුයි. නමුත් දේශපාලකයන් තමන්ගේ වරප්‍රසාද කැප කරන්නේ නැතිව සේවකයන්ගේ අයිතීන් කප්පාදු කරනවා. විදුලිබල මණ්ඩලයේ පාඩු පියවන්න හදන්නේ ජනතාවට විදුලි බිලේ බර පටවලා, සේවයන්ගේ පාරිතෝෂිත දීමනා කපලා, අතිකාල දීමනා කපලා. ඒක වැරදියි.”

ලංවිම සේවකයන් වැඩියි කියන බවත්, නමුත් මේ සේවකයන් සියලු දෙනා පත්කර ඇත්තේ හිටපු ඇමතිවරු බවත් ජයලාල් පෙන්වා දෙයි. ඔහු පවසන්නේ 31 වැනි දා විශ්‍රාම යන අයට පමණක් පරිතෝෂිත දීමනා දෙනවානම් තම සංගමය ඊට විරුද්ධ බවයි.

විදුලි ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න මෙසේ පැවසීය.

“ඉංජිනේරු සංගමය පරිතෝෂිත දීමනා ඉල්ලුවේ නෑ. වැටුප් සහ පාරිතෝෂිත දීමනා කියන්නේ සේවක වරප්‍රසාදයක්. අපි මේවා එපා කියන්නේ නෑ. ඉල්ලුවෙත් නෑ. මේ මාසයේ ගෙවන්න කියලා කිසිම වෙලාවක කියලත් නෑ. අපි මේ වෙලාවේ පාරිතෝෂිත දීමනා ගන්නවා කිව්වොත් මිනිස්සු අපිට ගහලා එළවාවි. මේ වෙලාවේ රට තියෙන තත්වය සහ ලංවිම පවතින ආකාරය ගැන අපට තේරෙනවා. අපේ පාරිතෝෂිත දීමනාව ගෙව්වේ නෑ කියා වැටුප් කැපුවා කියා කරන්ට් කපන එකේ ගැටලුව විස‍ඳගන්න බෑ. ඒ නිසා රටේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබුණාට පස්සේ අපේ වරප්‍රසාද දෙන්න ඕන සහ ලැබෙන්න ඕනෑ කියන තැන අපි ඉන්නවා.”

පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් උමේද සෙනෙවිරත්න මෙසේ කියයි.

“පාරිතෝෂිත දීමනා දෙන්න කියලා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නෑ. අපි මේ දීමනා දෙන්න කිව්වේ නෑ. නමුත් ලංවිම පාඩු ලබද්දී මේ දීමනා දිගටම දුන්නා. මෙවර අපි පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය සහ ලංවිම ආර්ථිකය ගැන සිතා පාරිතෝෂිත දීමනා නොදෙනවා නම් අපි ඒ ගැන වෙනස් මතයක් දරන්නේ නෑ කියලයි. රටේ බහුතරයක් ජනතාව ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විදින විට පාරිතෝෂිත දීමනා දියන් කියලා ඉල්ලන්න අපි පෙ‍ළඹෙන්නේ නෑහැ.”

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන්වරට පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී පාරිතෝෂිත දීමනා දීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බවයි.

ලංවිම සභාපපති නලින්ද සම්පත් පවසන්නේ ද සේවකයන්ට පරිතෝෂිත දීමනා ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!