”වයිරසය යුරෝපයෙන් ආවා යැයි බොරු කියන්න එපා”-මහාචාර්යවරියගෙන් ඉල්ලීමක්

0
8878

තමන් ඇතුළු කණ්ඩායම විසින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණ හුවාදක්වමින් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ නොගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ ඉල්ලා සිටියි.

ඇය පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් විසින් කොවිඩ් – 19 ඇතිකරන වෛරසය සම්බන්ධයේ සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵල පදනම් කරගනිමින් ඇතැම් පුද්ගලයන් වැරදි මත පතුරවමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ල ඇතිකිරීමට හේතු වූ වයිරසය පිළිඳ එම කණ්ඩායම විසින් පර්යේෂණයක් කර තිබිණි. එයින් තහවුරු වී තිබුණේ ශ්‍රී ලංකාවේ මේ වනවිට පැතිරෙමින් තිබෙන වයිරසය මීට පෙර මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වූ වයිරස කාණ්ඩයට වඩා වෙනස් බවයි. දැන් පැතිරෙන වයිරසය B 1.42 කාණ්ඩයේ වයිරසයක් බවත් එය විදේශයක සිට පසුව පැමිණෙන්ට ඇතැයි තම පර්යේෂණයෙන් තහවුරු වූ බවත් ඔවුන් පවසා තිබිණි. එමෙන් ම පෙර අවස්ථාවේ දී පැතිරගිය වයිරසයට වඩා මේ වයිරසයේ ධාරිතාව වැඩි බවත් එය ආසාදිතයකුනේ වඩාත් ඉක්මණින් වෙනත් අය වෙත සම්ප්‍රේෂණය වන බවත් පර්යේෂන කණ්ඩායම පවසා තිබිණි. ඒ අනුව ඔවුන් පැහැදිලිව කියා සිටියේ මේ වයිරසය විදේශ රටක සිට මෙරටට පසුව පැමිණ වයිරස කාණ්ඩයක් බවයි.

ඇය පවසන්නේ මේ ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින වයිරසය මුළින්ම යුරෝපයේ දක්නට ලැබුණ ද තමන් හෝ තම පර්යේෂණ කණ්ඩායමේ කිසිවෙකුත් එය යුරෝපයෙන් පැමිණි වයිරසයක් බව ප්‍රකාශ නොකළ බවයි.

“ මේ වයිරස් කාණ්ඩය යුරෝපයේ තමයි මුලින්ම දක්නට ලැබුණේ. නමුත් අපි කිසිම අවස්ථාවක කිව්වේ නැහැ ඒක යුරෝපයෙන් ශ්‍රී ලංකාවට ආවා කියලා. මේ ප්‍රබේදය ඉන්දියාවෙන් ආවා වෙන්නත් පුළුවන්. අපි නොකී දේවල් කියමින් පර්යේෂණ ප්‍රතිඵල වැරදි ලෙස භාවිතා කිරීම නොකළ යුතු දෙයක්.”

මහාචාර්ය මලවිගේ පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම වයිරසයේ ජානමය සැකැස්ම පිළිබඳ පරීක්ෂණ කළ ද එමගින් එය ශ්‍රී ලංකාවට පැමිණ රට සොයාගත නොහැකි බවයි.

“එවැනි තොරතුරු සොයා ගැනීම බුද්ධි අංශයේ වැඩක්. අපි කොහොම ද කියන්නේ ශ්‍රී ලංකාව වයිරසය ආවේ කොහෙන්ද කියලා. අපිට කිසිසේතම කිව නොහැකිය එය යුරෝපයෙන් ආවා කියා. ඇතැම් විට ඉන්දියාවෙන් ආවා වෙන්නත් පුළුවන්.”

මහාචාර්යවරිය ඉල්ලා සිටින්නේ මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා තම නම හෝ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් භාවිතා නොකරන ලෙසයි. එමෙන් ම විශ්වවිද්‍යාල පර්යේෂණ තොරතුරු විකෘති කරමින් ඒවා වැරදි මත සමාජගත කිරීමට යොදා ගැනීම බලවත් වරදක් බව ද ඇය පවසන්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here