spot_img
spot_imgspot_img

“ලෝක පොලිස්කාරයාා” තෝරද්දී සැබෑ ජනමතය ඡන්ද විද්‍යාලයට යටවනවා ද?

පුවත්

විදෙස්

ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වෙමින් තිබේ. යම් හෙයකින් දැනටමත් ජනාධිපති ධුරය දරන ඩොනල්ඞ් ට‍්‍රම්ප් මැතිවරණය ජයග‍්‍රහණය කළහොත් ඔහු තවදුරටත් සලකනු ලබන්නේ 45 වන ජනාධිපතිවරයා ලෙසය. ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ජෝ බයිඩන් තේරීපත් වුවහොත් ඔහු 46 වන ජනාධිපතිවරයා වේ. ජනාධිපතිවරණ මැතිවරණ ඉතිහාසයේ මෙවර පවත්වන මැතිවරණය 59 වන ජනාධිපතිවරණයයි.

ලෝකයට ජනාධිපති ආණ්ඩුක‍්‍රම ආකෘතිය හඳුන්වා දුන්නේ 1789 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ථාපිත කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පැවැත්වුන පිලඩෙල්පියා සම්මේලනයේදී බෙහෙවින්ම විවාදයට ලක් වූ කරුණක් වූයේ යෝජිත නව ආණ්ඩුක‍්‍රමයේ විධායකය සංවිධානය කළ යුත්තේ කෙසේද යන්නය. වාද විවාද වලින් පසුව අවසාන තීරණය වූයේ ජනාධිපති යන නිළ නාමයෙන් හැඳින්වෙන ඒක පුද්ගල ක‍්‍රමයක් පදනම් කරගෙන විධායකය සංවිධානය කළයුතු බවය. ව්‍යවස්ථා සම්පාදකයින් රාජණ්ඩුවාදී විධායක ක‍්‍රමයකට මෙන්ම අධි බලැති ශක්තිමත් විධායක ක‍්‍රමයකටද කැමැත්ත දැක්වූයේ නැත. එසේවූවද රට තුළ ස්ථාවර පදනමක් යටතේ නීතිය හා සාමය පවත්වා ගෙන යාහැකි ආකාරයේ බලතල සහිතව විධායකයක් නිර්මාණය කිරීමටද ව්‍යවස්ථා සම්පාදකයින්ට අවශ්‍ය විය. 1787 වර්ෂයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් නව ආණ්ඩුක‍්‍රමයේ විධායකය ලෙස ජනාධිපති තනතුර ස්ථාපිත කරන විට ඇමරිකා එක්සත් ජනපදය සමන්විත වූයේ ජනපද 13 න් පමණි. ජීවත් වූ ජනගහනය මිලියන හතරක තරම් කුඩා ප‍්‍රමාණයක් විය. රට සහ ජාතිය වෙනුවෙන් ජනාධිපතිවරයාට පැවරෙන වගකීම ඉටුකළ යුත්තේ කෙසේද යන්න පිලිබඳව කිසිවෙකුට පැහැදිලි අවබෝධයක් තිබුනේ නැත. අඩුම වශයෙන් ජනාධිපතිවරයාට ආමන්ත‍්‍රණය කළ යුත්තේ කෙසේද යන කරුණ ගැන පවා පැහැදිලි අදහසක් නොවීය. සමහරු කියා සිටියේ “His Excellency”යනුවෙන් ආමන්ත‍්‍රණය කළයුතු බවය. තවත් සමහරුන් කියා සිටියේ “His Mightness” යනුවෙන් ආමන්ත‍්‍රණය කළයුතු බවය. ජෝර්ජ් වොෂින්ග්ටන් එම අදහස් දෙකම ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ  “Mr President”යනුවෙන් ආමන්ත‍්‍රණය කළයුතු බවය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවසාන වශයෙන් පිළිගත්තේ මෙම අදහසය. මෙයාකාරයට ආරම්භ වන “Mr President” තනතුර මේ වනවිට අවුරුදු 231 ක් සපුරා ඇත. මේ දක්වා ගත වී ඇති කාලය තුළ “Mr President” වරු 45 දෙනෙක් බලයට පත් වී ඇත. ආරම්භක “Mr President” ජොර්ජ් වොෂින්ග්ටන් නායකත්වය දුන්නේ ප‍්‍රාන්ත රාජ්‍යයන් 13 කට සහ මිලියන හතරක ජනතාවට පමණි. අද 45 වැනි “Mr President” වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රාන්ත රාජ්‍යයන් 50 ක සහ මිලියන 329 ට ආසන්න ජනතාවගේ නායකයා වේ. ඇමරිකානු ජනාධිපතිවරයා අද නායකත්වය සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් නොවේ. විචාරකයින් අද ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා හඳුන්වන්නේ ‘ලෝක පොලිස්කාරයා’ ලෙසය. ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක‍්‍රමය මේ වනවිට මුළුමණින්ම පාහේ ජනාධිපතිගේ ආණ්ඩුක‍්‍රමයක් බවට පත්ව ඇත. 

පිලඩෙල්පියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන සම්මේලනයේදී ඉතාම දිගු ලෙස සාකච්ඡාවට භාජනය වූ කරුණක් වූයේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා යොදාගත යුතු නියෝජන ක‍්‍රමය කුමක් විය යුතුද යන්නය. මේ පිළිබඳව ඉදිරිපත් වූ එක් අදහසකින් කියවුනේ කොන්ග‍්‍රස් මණ්ඩලය විසින් ජනාධිපතිවරයා තෝරා පත්කළ යුතු බවය. නමුත් එසේ කළහොත් බලතල බෙදීමේ සංකල්පය එමගින් උල්ලංඝනය වනවාක් මෙන්ම කොන්ග‍්‍රස් මණ්ඩලයේ බලයට ජනාධිපති තනතුර යටපත් වී එය දුර්වල එකක් බවට පත්විය හැකිය යනුවෙන් ඉදිරිපත් වූ අදහස හේතුවෙන් එම අදහස යටපත් විය. අනෙක් අතට ජනාධිපතිවරයා ජනතාවගේ ඡුන්දයෙන් සෘජුව තෝරා පත්කළ යුතුය යන අදහසටද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැමති වූයේ නැත. ඡුන්දදායකයින් බහුතරයකට ජනාධිපතිවරයා තෝරා පත්කිරීම වැනි අතිශය වැදගත් කරුණක් පිළිබඳව නිවැරදිව තීන්දු තීරණ ගැනීමේ බුද්ධිමය හැකියාව නොමැති බව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අදහස විය. මේ සෑම අදහසක්ම බැහැර කිරීමෙන් පසුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවසාන වශයෙන් තීරණය කළේ ‘ඡන්ද විද්‍යාල’ (Electoral College) ක‍්‍රමය හරහා වක‍්‍ර ආකාරයකට ජනාධිපතිවරයා තෝරාපත් කළයුතු බවය.

ආරම්භක අවස්ථාවේදී ජනාධිපතිවරණය පැවැත්වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2 වන වගන්තියේ 1 වන කොටස තුළ දැක්වෙන විධිවිධාන අනුවය. නමුත් 1800 වර්ෂයේ පැවැත්වුන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයා සහ උප ජනාධිපති අපේක්‍ෂකයා ලබාගත් ඡුන්ද විද්‍යාල ඡුන්ද සංඛ්‍යාව සමාන වීම හේතුවෙන් ඇතිවූ අර්බුදය යළි ඇතිවීම වලක්වාලීම සඳහා 1804 වර්ෂයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කරන ලද 12 වන සංශෝධනය මගින් එම විධිවිධාන සංශෝධනය කරන ලදි. වර්තමානයේ ජනාධිපතිවරණය පවත්වන්නේ එම සංශෝධිත විධිවිධාන සහ කාලයත් සමග ඒ වටා වර්ධනය වී තිබෙන වෙනත් ව්‍යවහාරයන් අනුවය. අදාළ විධිවිධාන පහත දැක්වේ.

          1. ඡන්ද විද්‍යාලය නියෝජිතයින් 538 න් සමන්විත වේ. කොන්ග‍්‍රස් මණ්ඩලයේ ද්විත්ව මණ්ඩලයන්හි ඒ ඒ ප‍්‍රාන්ත රාජ්‍යයට හිමි නියෝජිතයින්ගේ සංඛ්‍යාවට සමාන නියෝජිතයින් සංඛ්‍යාවක් තෝරාපත් කිරීමේ අයිතිය ප‍්‍රාන්ත රාජ්‍යයන්ට හිමි වේ. ජනාධිපතිවරණය අවුරුදු 04 ට වරක් පැවැත්වෙන අතර නියමිත වර්ෂයේ නොවැම්බර් මස 03 දින ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ඡන්දදායකයින් ඡන්දය ප‍්‍රකාශ කළ යුත්තේ ඒ ඒ පක්‍ෂයෙන් ඉදිරිපත් කර තිබෙන ඡන්ද විද්‍යාල නියෝජිත ලැයිස්තුවට මිස ජනාධිපතිවරණ අපේක්‍ෂකයින්ට නොවේ. ඡන්ද විද්‍යාල නියෝජිතයන් තෝරන්නේ ‘ජයග‍්‍රාහකයා සියල්ල හිමිකර ගනී’(Winner-take-all) යන මූලධර්මය පදනම් කරගෙනය. මෙයින් අදහස් කරන්නේ ප‍්‍රාන්ත රාජ්‍යයේ වැඩිම ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නා අපේක්‍ෂකයාට ප‍්‍රාන්ත රාජ්‍යයේ සියලූම ඡන්ද විද්‍යාල නියෝජිත ප‍්‍රමාණය හිමිවන බවය. ජයග‍්‍රහණය කරන්නේ එක් වැඩි ඡන්දයකින් වුවද මේ සිද්ධාන්තය නොවෙනස්ව අදාළ වේ.

2. ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන දෙසැම්බර් මාසයේ 04 සඳුදා ඡන්ද  විද්‍යාල නියෝජිතයින් තමන්ගේ ප‍්‍රාන්ත රාජ්‍යය තුළදී ජනාධිපති අපේක්‍ෂකයාට සහ උප ජනාධිපති අපේක්‍ෂයාට වෙන වෙනම ඡන්දය ප‍්‍රකාශ කළ යුතුය. අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකු තමන් ඡීවත් වන ප‍්‍රාන්ත රාජ්‍යයේ පදිංචිකරුවෙකු නොවිය යුතුය. ප‍්‍රකාශ කරන ලද ඡන්ද වෙන වෙනම ලැයිස්තු ගතකොට අත්සන් තබා සහතික කොට ලියාපදිංචි තැපෑලෙන් සෙනෙට් සභාවේ සභාපතිවරයාට යැවිය යුතුය.

 3. මැතිවරණයට පසුව එළඹෙන ජනවාරි මාසයේ 06 වන බදාදා දින කොන්ග‍්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසිවාරයකදී සෙනෙට් සභාවේ සභාපතිවරයා විසින් ඡන්ද ගණන් කළ යුතුය. ඡන්ද විද්‍යාලයේ මුලූ ඡන්ද ප‍්‍රමාණයෙන් බහුතරය එනම් 270 ක් හෝ එයට වැඩි ප‍්‍රමාණයක් ලබාගත් අපේක්‍ෂකයින් දෙදෙනා නම් කර ඇති ආකාරය අනුව ජනාධිපති ධුරයට සහ උප ජනාධිපති ධුරයට තේරී පත් වේ.

          3. යම් හෙයකින් කිසිදු අපේක්‍ෂකයෙකු අවශ්‍ය බහුතරය ලබාගෙන නොමැත්තේ නම් එහිදී වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් තිදෙනා තෝරාගෙන නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත‍්‍රීවරුන් විසින් ඔවුන් අතුරින් එක් අයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත යුතුය. ඡන්දය විමසීම ප‍්‍රාන්ත රාජ්‍යයන් පදනම් කොටගෙන පැවැත්විය යුතු අතර එක් ප‍්‍රාන්ත රාජ්‍යයකට එක් ඡන්දයක් හිමි වේ. මේ සඳහා තිබිය යුතු ගණපූරණය නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ මුලූ සාමාජික සංඛ්‍යාවෙන් 2/3 ක් වේ. එමෙන්ම ප‍්‍රාන්ත රාජ්‍යයන්ගේ බහුතරය එනම් ප‍්‍රාන්ත රාජ්‍යයන් 26 ක් සහභාගි වීම අවශ්‍ය වේ. මෙවැනි තත්ත්වයක් උප ජනාධිපති තනතුර පිළිබඳව ඇතිවුව හොත් උප ජනාධිපතිවරයා තෝරාපත් කිරීම සෙනෙට් සභාව විසින් කළ යුතුය. ඒ සඳහා වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් දෙදෙනා තෝරා ගත යුතු අතර සෙනෙට් සභාවේ බහුතර ඡන්ද ලබා ගන්නා අපේක්‍ෂකයා ජයග‍්‍රාහකයා වේ. ඡන්දය විමසීම සඳහා මුලූ සෙනෙට් සභිකයින්ගෙන් 2/3 ක් අවම වශයෙන් සහභාගි විය යුතුය.

1804 වර්ෂයෙන් පසුව මේ දක්වාම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තෝරාපත් කරන්නේ ඉහත දක්වා ඇති ක‍්‍රමය අනුවය. ප‍්‍රාන්ත රාජ්‍යයන් 11 ක හැර ඡන්ද අනෙක් ප‍්‍රාන්ත රාජ්‍යයන් 39 යේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිමය බැඳීමක් නොමැත. නමුත් ඡුන්ද විද්‍යාල නියෝජිතයින් ගිවිස ගත් පරිදි තමන්ගේ පක්‍ෂයේ අපේක්‍ෂකයාට ඡන්දය ප‍්‍රකාශ කිරීම පිළිගත් ක‍්‍රමය වේ. එබැවින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් තෝරා ගැනීම අවසාන වූ විගස ජයග‍්‍රාහි ජනාධිපති අපේක්‍ෂයා සහ උප ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න දැනගත හැක. ඡන්ද විද්‍යාලය මගින් තේරීම මේ වනවිට සංඛේතාත්මක දෙයක් පමණක් බවට පත්ව තිබේ.  තෝරාපත් කරගත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය පැවැත්වූ දිනයට පසුව එළඹෙන ජනවාරි 20 දින සවස් වරුවේදි කැපිටෝල් මන්දිරය ඉදිරිපිට භූමියේ පැවැත්වෙන නිල උත්සවයේදී දිවුරුම් දී තනතුරේ වැඩ බාරගත යුතුය.

ඡන්ද විද්‍යාල ක‍්‍රමයට විරුද්ධව චෝදනා රාශියක් එල්ල වී තිබේ. මෙයින් එක් චෝදනාවකින් පෙන්වා දෙන්නේ ජයග‍්‍රාහකයා සියල්ල හිමිකර ගනී යන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි බවය. හේතුව පරාජිත අපේක්‍ෂකයා ලබා ගන්නා ඡන්ද වලට කිසිදු වටිනාකමක් හිමි නොවී අපතේ යාමය. නිදසුන් ලෙස 1980 ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජිමී කාටර් ටෙක්සාස් ජනපදයෙන් මිලියන දෙකකට ආසන්න ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත්තද ඡන්ද විද්‍යාලය සඳහා එම පක්‍ෂයේ නියොජිතයන් තේරී පත්නොවුන බැවින් කාටර් ලැබූ ඡන්ද සංඛ්‍යාව අපතේ ගියේය.

ඡන්ද විද්‍යාල ක‍්‍රමයට එල්ල වී තිබෙන තවත් චෝදනාවකින් කියවෙන්නේ එම ක‍්‍රමය මගින් සමහර අවස්ථා වලදී රටේ බහුතර පොදු ජන මතය යටපත් වන බවය. හේතුව ජනාධිපතිවරණයකදී යම් අපේක්‍ෂකයෙකුට බහුතර ජනතා කැමැත්ත ලැබුනද එම අපේක්‍ෂකයාට ඡන්ද විද්‍යාලයේ අවශ්‍ය බහුතරය නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි වීමය. 1789 සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ හතරකදී ඡන්ද විද්‍යාලයේ කැමැත්තට ජනතාවගේ බහුතර කැමැත්ත යටපත් වීම හේතුවෙන් 1824 දී ක්වින්සි ජෝන් ඇඩම්ස්, 1876 දී රදර්පෝර්ඞ් බී. හේස්, 1888 දී බෙන්ජමින් හැරිසන් සහ 2016 දී හිලරි ක්ලින්ටන් යන සිව් දෙනාට ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට නොහැකි විය. නිදසුන් ලෙස 2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අපේක්‍ෂකයා වූ හිලරි ක්ලින්ටන් ප‍්‍රකාශිත මුලූ ඡුන්ද ප‍්‍රමාණයෙන් 48% ක් හෙවත් ඡුන්ද 65,853,514 ක් ලබා ගත්තද ඡන්ද විද්‍යාලයේ හිමි වූයේ ඡන්ද 227 ක් පමණි. ප‍්‍රතිවාදී සමූහාණ්ඩු පක්‍ෂයේ අපේක්‍ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ලබා ගත්තේ ප‍්‍රකාශිත මුලූ ඡුන්ද ප‍්‍රමාණයෙන් 46% ක් හෙවත් ඡුන්ද 62,984,828 ක් පමණි. නමුත් ඡන්ද විද්‍යාලයේ ඡන්ද 304 ක් ලැබීම හේතුවෙන් ට‍්‍රම්ප් ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේය. මෙයින් පෙන්නුම් කරන්නේ 538 දෙනෙකුගේ කැමැත්තට මිලියන 66 ක බහුතර ජනතා කැමැත්ත යටපත් වූ ආකාරයයි.

ජනාධිපතිවරණයේ අවසාන ප‍්‍රතිඵලය අවිනිශ්චිත තත්ත්වයකට පත් වූ විට ජනාධිපතිවරයා තෝරා පත්කිරීමේ බලය පැවරී ඇත්තේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටය. එහිදී ජයග‍්‍රහණය සඳහා ප‍්‍රාන්ත රාජ්‍ය 50 න් 26 ක අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ. මේ ක‍්‍රමයේ පවතින දුර්වලතාවක් වන්නේ එක් ප‍්‍රාන්ත රාජ්‍යකට එක් ඡන්දයක් පමණක් හිමිවීම හේතුවෙන් අඩු ජනගහනයක් සහිත ප‍්‍රාන්ත රාජ්‍යයන්ට මෙන්ම වැඩි ජනගහනයක් සහිත ප‍්‍රාන්ත රාජ්‍යයන්ටද ජනාධිපතිවරයා තේරීමේදී සමාන බර තැබීමක් කිරීමට සිදුවීම හේතුවෙන් ජනගහනය අධික ප‍්‍රාන්ත රාජ්‍යයන්ට අසාධාරණයක් සිදු වීමය. දෙවන දුර්වලතාව වන්නේ යම් ප‍්‍රාන්ත රාජ්‍යක මන්ත‍්‍රීවරු බහුතරය ඡුන්දය ප‍්‍රකාශ කිරීම පිළිබඳව එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් එවැනි අවස්ථාවකදී ප‍්‍රාන්ත රාජ්‍යයේ ඡන්ද බලය අහෝසි වීමය. තුන්වැනි දුර්වලතාව වන්නේ යම් හෙයකින් මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ප‍්‍රබල තුන්වන අපේක්‍ෂකයෙකුට සහාය දීමට තීරණය කළහොත් කිසිදු අපේක්‍ෂකයෙකුට ප‍්‍රාන්ත රාජ්‍යයන් 26 ක අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීමය.

මේ හේතුවෙන් ඡන්ද විද්‍යාල ක‍්‍රමය යල්පැන ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට  නොගැලපෙන ක‍්‍රමයක් ලෙස පෙන්වා දෙන විචාරකයින් එම ක‍්‍රමය සංශෝධනය කළ යුතු බව කියා සිටී.  මේ සඳහා ඉදිරපත් වී තිබෙන එක්  යෝජනාවකින් කියවෙන්නේ ඡන්ද විද්‍යාල ක‍්‍රමය පවත්වා ගෙන යා යුතු වුවද ජයග‍්‍රාහකයා සියල්ල අයත් කර ගැනීමේ ක‍්‍රමය වෙනස් කළ යුතු බවය. ඒ වෙනුවට  කොන්ග‍්‍රස් මණඩලයට නියොජිතයින් තෝරාපත් කිරීම සඳහා යොදා ගැණෙන මැතිවරණ දිස්ත‍්‍රික්ක ක‍්‍රමය භාවිතයට ගතයුතු බව එම යෝජනාවෙන් අවධාරණය කර තිබේ. එමගින් ‘ජයග‍්‍රාහකයා සියල්ල හිමිකර ගැනීම’ යටතේ සිදුවන අවාසි මගහරවා ගැනීමට හැකි බව විචාරකයින් පෙන්වා දේ. ඡන්ද විද්‍යාල ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන තවත් සැලැස්මකින් යෝජනා කර තිබෙන්නේ සමානුපාතික නියෝජන ක‍්‍රමය පදනම් කරගෙන ඡුන්ද විද්‍යාල නියෝජිතයින් තෝරා පත්කර ගතයුතු බවය. මේ යටතේ ජනාධිපතිවරණයේදී ඒ ඒ අපේක්‍ෂකයින් ප‍්‍රාන්ත රාජ්‍යයන්ගෙන් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට අනුපාතීව ඡුන්ද විද්‍යාලයේ නියෝජිත සංඛ්‍යාව හිමි වේ. මේ ක‍්‍රමය මගින් ජයග‍්‍රාහකයා සියල්ල හිමිකර ගැනීම මගින් සිදුවන අවාසි මගහරවා ගැනීමට මෙන්ම ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගිවිස ගත් ආකාරයටම ජනාධිපති ධුර අපේක්‍ෂකයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරිම සඳහා බැඳතබා ගැනීමටද හැකිවන බව විචාරකයින් පෙන්වා දේ. නමුත් මේ ක‍්‍රමයේ පවතින අවාසි සහගත තත්ත්වය ලෙස විචාරකයින් පෙන්වා දෙන්නේ ප‍්‍රබල තුන්වන පක්‍ෂයක් බිහිවී ඡන්ද විද්‍යාලයේ සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත හොත් ජනාධිපතිවරණයේ අවසාන ප‍්‍රතිඵලය අවුල් විය හැකි බවය. ඡන්ද විද්‍යාල ක‍්‍රමය පිලිබඳව කුමණ විවේචන එල්ල වූවද එම ක‍්‍රමය 1789 සිට මේ දක්වාම නොවෙනස්ව පවතී. අනාගතයේදී වුවද එය වෙනස් වේයැයි කිව නොහැක.

එම්.  ඕ. ඒ. ද. සොයිසා

දේශපාලන විද්‍යා මහාචාර්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!