spot_img
spot_imgspot_img

මහින්ද විදුහල්පති අධිකරණ උපදෙසට පිටුපෑවා යැයි පොලිසියට පැමිණිල්ලක්

පුවත්

විදෙස්

ළමා අපයෝජනය සිද්ධියක වින්දිතයක වූ සිසුවකුගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න යැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් උපදෙස් නොතකමින් ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව අද (31) ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම සිසුවාගේ භාරකාරීත්වය අධිකරණය විසින් පවරා දී ඇති සීයා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

පැමිණිල්ල මගින් එම සීයා පවසන්නේ පසුගිය සිකුරාදා (28) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ විසින් ලබාදුන් උපදෙස් අනුව අද (31) තමන් සිය මුණුපුරා රැගෙන මහින්ද විද්‍යාලයට ගිය බවයි.

එම අවස්ථාවේ දී විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් විසින් තම මුණුපුරා පාසලට ඇතුළුවීම වැළැක්වූ බවත් පාසල් නිල ඇඳුමින් සැරසී සිටි සිසුවාට පාසලට ඇතුළු වී පන්තිකාමරයට යාමට අවස්ථාව ලබා නොදුන් බවත් ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ වනවිට පළමු වසර සිට මහින්ද විද්‍යාලයේ වසර 10කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබූ තම දරුවා අපරාධමය වරදක වින්දිතයකු වනතුරු පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ලබා ඇති බව ද පරිවාසභාරයට පත්වීමෙන් පසු දින කිහිපයක් පාසලට යාමට නොහැකි වූ සිය මුණුපුරාට විදුහල්පතිවරයාට විසින් මාස තුනක කාලයක සිට අධ්‍යාන අයිතිය අහිමිකර ඇති බව ද එම පැමිණිලිවල සටහන් කර තිබේ.

මානව හිමිකම් සුරැකීමේ එකමුතුවේ ක්‍රියාකාරිකයකු වන නීතිඥ අජිත් කුමාර, මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන විසින් මේ දරුවාගේ අධ්‍යාපන අයිතිය අහිමිකර ඇතැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද දැනුම් දීමකට අනුව පසුගිය 28 වැනි දා විදුහල්පතිවරයා අධිකරණයට කැඳවා තිබිණි.

එම අවස්ථාවේ දී අධිකරණයට නොපැමිණි විදුහල්පති අතුල විජේවර්ධන තමන් වෙනුවෙන් සහකාර විදුහල්පතිවරයකු සිසුවා සම්බන්ධ වාර්තාවක් සහිතව අධිකරණයට එවා තිබිණි. එම වාර්තාවෙන් විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ දරුවා සමාජ මාධ්‍ය භාවිතයෙන් වරදක් කර ඇති බවකි.

ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ එහි දී කියා සිටියේ දරුවා අධිකරණයේ අධීක්ෂණය යටතේ පරිවාස භාරයේ පසුවන බැවින් වහාම දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවරු කළ යුතු බවයි. දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා නියෝගයක් ලබාදිය හැකි වුව ද මෙය නියෝගයක් ලබාදීමට අවශ්‍ය කරුණක් නොවන බැවින් එම දරුවාගේ පාසල් අධ්‍යාපන අයිතිය ලබා දී ඒ පිළිබඳ නොවැම්බර් 11 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

දරුවාගේ සීයා විසින් අද (31) එම දරුවා මහින්ද විද්‍යාලයට රැගෙන ගොස් ඇත්තේ මහේස්ත්‍රාත්වරිය විසින් ලබාදුන් එම උපදෙස් අනුවය. එසේ වුව ද මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා එම උපදෙස් ක්‍රියාත්මක කිරීම මගහැර තිබේ.

අධිකරණයෙන් එම උපදෙස් ලබා දීමට පෙර ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මෙම සිසුවාට අධ්‍යාපන අයිතිය ලබාදෙන්න යැයි මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පසුගිය ඔක්තෝබර් 19 වැනි දා ලිඛිතව දැනුම් දී තිබේ.

ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් උපදෙස් ලබාදීමටත් පෙර ජාතික පාසල් අධ්‍යක්ෂවරයා පවා ලිඛිත දැනුම්දීමක් කර තිබිය දී මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා තම මුණුපුරාට අධ්‍යාපන අයිතිය අහිමිකර ඇතැයි අද කර ඇති පැමිණිලිවල සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!