spot_img
spot_imgspot_img

කැස්සට දුන් ඉන්දීය සිරප් වර්ග නිසා දරුවන් 66ක් මිය ගිහින්

පුවත්

විදෙස්

ඉන්දියාවේ Maiden Pharmaceuticals නමැති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරින ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග හතරක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ගැම්බියාවේ ළමුන් 66 දෙනකුගේ මරණයට මෙම සමාගමේ නිෂ්පාදිත සිරප් වර්ග හේතුවක් වී ඇති බවට ඇති සැකයක් නිසා මෙවැනි අනතුරු ඇඟවීම් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසස් මාධ්‍යවෙත පවසා ඇත්තේ ප්‍රශ්නගත සිරප් වර්ගය “වකුගඩුවලට හානි සිදුවී දරුවන් 66 දෙනකු මිය යාම අතර සම්බන්ධයක්” තිබිය හැකි බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ සමාගම සහ නියාමන බලධාරීන් සමඟ වැඩිදුර විමර්ශන සිදුකරමින් තිබෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊ‍යේ (06) නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමට අදාල වන්නේ Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrupය නමැති නිෂ්පාදනයන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා සිටින්නේ මේ දක්වාම එම ඖෂධ නිෂ්පාදන සමාගම විසින් ඉහත නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට කිසිදු සහතිකයක් ලබා දී නැති බවයි.

ඖෂධ වර්ග රසායනාගාර විශ්ලේෂණයට ලක්කළ විට එහි අනුමත කළ නොහැකි තරම් ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් අඩංගු බව ද තහවරු වී ඇත. එම ද්‍රව්‍ය මිනිස් සිරුරට විෂ සහති වන අතර මාරාන්තික ද වේ.

එම විෂ ශරීරගත වූ විට උදරයේ වේදනාව, වමනය, පාචනය, මුත්‍රා පිට කිරීමට නොහැකි වීම, හිසරදය, වෙනස් වූ මානසික තත්වයන් සහ මරණය පවා ඇති විය හැකි බව ද උග්‍ර වකුගඩු රෝග ඇතිවිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී පමණක් ගම්බියාවේ රෝහල්වල වකුගඩු අකර්මන්‍ය වීමෙන් අවම වශයෙන් ළමුන් 28 දෙනකු මියගිය බව වාර්තාවීමෙන් පසු පැරසිටමෝල් භාවිතය පවා නවතා දමමින් ආදල පරීක්ෂණ සිදුකර තිබිණි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඖෂධ සමාගම මෙම හානිකර රසායනික අඩංගු ඖෂධ තොග යවා ඇත්තේ ගැම්බියාවට පමණක් යැයි ඉන්දියාවේ මධයම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානයෙන් තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් අවිධිමත් හෝ නියාමනය නොකළ වෙළෙඳ පොළ හරහා අප්‍රිකාවේ අනෙකුත් රවලට ද මෙම නිෂ්පාදන ලැබීමේ අවදානම බැහැර කළ නොහැකියැයි පැවසේ. මීට අමතරව නිෂ්පාදකයා ද වෙනත් නිෂ්පාදනවල ද මෙවැනිම දූෂක ද්‍රව්‍ය සහිතව බෙදා හැරිය හැකි බවට අනතුරක් තිබේ. එබැවින් මේ පිළිිබඳ ගෝලීයව අවධානය යොමුකළ යුතුයැයි විශේෂඥයෝ කියති.

එබැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සියලු රටවලට දැනුම් දී ඇත්තේ “රෝගීන්ට තවදුරටත් හානියක් සිදුවීම වැළැක්වීම සඳහා මෙම නිෂ්පාදන හඳුනාගෙන ඒවා රෝගීන් අතට පත්වීම වැළැක්වීමට සියලු රටවල් ක්‍රියාත්මක විය යුතුයි” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණේ ජූලි මස 19 වැනි දා වන අතර දරුවන් මියගියේ කවර කාලයක සිට ද යන්න පිළිබඳ අනාවරණය කර තිබුණේ නැත. කෙසේ වෙතත් සැප්තැම්බර් මස 09 වැනි දා ගැම්බියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් මාලාවක් නිකුත් කරමින් දැනුම් දී තිබුණේ උග්‍ර වකුගඩු අකර්මන්‍යවීමේන මාස 05 සිට අවුරුදු 04 දක්වා වූ දරුවන් 28 දෙනකු මියගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!