spot_img
spot_imgspot_img

22 වැනි සංශෝධනයට පොහොට්ටුවේ පිරිසකගේ විරෝධයක්. විවාදය හෙට

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය නොලැබීමේ තත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද (05) පැවැත්වෙන අතර ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (06) සහ අනිද්දා (07) පැවැත්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැති සාකච්ඡාවක දී 22වැනි සංශෝධනයට විරුද්ධව සිය දැඩි විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, එස්.බී.දිසානායක, සරත් වීරසේකර, සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරු ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධයක් දැක්වූ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

19 වැනි සංශෝධනයටත් 20 වැනි සංශෝධනයටත් සහය දුන් මන්ත්‍රීවරුන්ට 22 වැනි සංශෝධනයට රෙද්දක් ඇඳගෙන සහය දිය නොහැකියැයි සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබේ.

එස්.බී.දිසානායක පවසා ඇත්තේ ජනාධිපතිවරයා සතු විධායක බලය කිසිසේත්ම අත් නොහැරිය යුතු බවයි. 89 භීෂණය මැඩ පැවැත්වීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා කටයුතු කළේත්, මහින්ද රාජපක්ෂ යුද්ධයට මුහුණ දුන්නේත් පසුගිය දා ඇති වූ ගැටුම්වල දී පාර්ලිමේන්තුව බේරාගත්තේත් ජනාධිපතිවරයා සතු විධායක බලය නිසා යැයි එස්.බී.දිසානායක පවසා ඇත. එබැවින් විධායක බලය ඉවත්කරන සංශෝධනයකට සහය දිය නොහැකියැයි ඔහු පවසයි.

සරත් වීරසේකර පවසන්නේ ආණ්ඩුකාරවරුන් සතු බලය, පළාත් සභා සතු බලය එලෙස තිබිය දී ජනාධිපතිවරයා සතු බලය අඩු කිරීමට එකඟ විය නොහැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පිළිිබඳ අදහස් දක්වමින් කියා ඇත්තේ මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බැවින් ඔවුන් දැනුම්වත් කිරීමට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කඩිනමින් කටයුතු කිරීම අවශ්‍ය බවයි.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස මුළින්ම ආවේ හිටපු ජනාධිපති ගෝඨාභය රජපක්ෂගෙන් බවත් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා ලැබී ඇති බවත් විජේදාස රාජපක්ෂ අදහස් දක්වමින් කියා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!