spot_img
spot_imgspot_img

ඥානක්කාගේ දේවාලය වඳින්න ගිහින් අවසන් ගමන් ගිය ශ්‍යාමලී

පුවත්

විදෙස්

“අපි අනුරාධපුරයේ ගියේ ඥානා මෑණියන්ගේ දේවාලයේ පූජාවක් පවත්වන්න. ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන මෑණියන්ගේ දේවාලයට ගිහින් අපල උපද්‍රව දුරුවන පූජාවක් කරලා බස් එකේ ගෙදර එන ගමන් තමයි නංගීට වෙඩි වැදිලා මියගියේ” යැයි දංඕවිට දී පසුගිය 02 වැනි දා අලුයම පොලිස් වෙඩි පහරින් මියගිය ඉරේෂා ශ්‍යාමලී (29) ගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් ප්‍රසාද් කුමාර කියා සිටියේය.

දෙවැනි දා අලුයම 03ට පමණ දංඕවිට සුරා සැළක් කොල්ල කා පලායමින් සිටි පිරිසකට නිට්ටඹුව පොලිසියෙන් වෙඩි තැබූ අවස්ථාවේ දී එහි ඉලක්කය වැරදී ගොස් ඇයට වෙඩි වැදී තිබිණි.

මියගිය මෙම තරුණිය ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක සංචාරක කළමනාකරණය පිළිිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. කැනඩාවේ රැකියාවකට යාමට සූදානම් නිටි ඇය හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටියාය.

විදෙස් රටවලින් ඉහළ අධ්‍යාපනයක් ලබා විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් සිටිය ද ඇයත්, ඇගේ පවුලේ අයත් ඥානා වැනි මානසික ව්‍යාධියකින් පෙළෙන කාන්තාවන්ගේ මිත්‍යා මත කරපින්නාගෙන කටයුතු කර තිබෙන බව ඔවුන් සමඟ සිදුකරන කතා බහේ දී අනාවරණය විය. අපල උපද්‍රව දුරුවීමට බව පවසමින් එවැනි ස්ථාන වෙත ගොස් අපල උපද්‍රව දුරු වේවා යැයි පූජා පවත්වා අවසානයේ ඇයට සිදුවූයේ ජීවිතයෙන් සමුගැනීමටය.

මෙම මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් මියගිය තරුණනියගේ සහෝදරයා වැඩි දුරටත් මෙසේ ද කීවේය.

“නංගීත්, මමත්, බිරිඳත්, දේවාලයට ගිහින් අපල උද්‍රව දුරුවෙවන්න සෙත් පතලා පූජාවක් තිබ්බා රෑ වෙලා අනුරාධපුරයෙන් පිටත් වුණා. අපි හිටියේ ඉස්සරහ සීට්වල. බස් එකේ සෙනඟ නොසිටි නිසා නංගී පිටිස්සේ සීට් එකට ගියා. බස් එක වරකාපොළ පහු කරලා ටික දුරයි ආවේ. ශබ්දයක් ඇහුණා. බස් එක දිගටම ඉස්සරහට ධාවනය වුණා. මම නංගී දිහා බලනවිට  එයාගෙග් ඔළුවෙන් ලේ ගලමින් තිබුණා. සිහිය තිබුණේ නැහැ. අපි කෑ ගහලා බස් එක නැවැත්තුවා. නිට්ටඹුව පොලිසිය මැදිහත් වෙලා නංගිව රෝහලට ගෙන ගියා. පසුව ආරංචි වුණා නංගී මියගිය බව.”

මියගිය ඉරේෂා ජීවත්ව ඇත්තේ වන්නිගහවත්තේ පිහිටි නිවසකය. ඒ තම මව සහ පියා සමගිනි. ඇගේ සහෝදරයා ජීවත් වූයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේය. ඇය සති දෙකකට පෙර කිරිබත්ගොඩ සහෝදරයාගේ නිවසට ගොස් තිබිණි. ඒ පූජාව සඳහා අනුරාධපුරයේ දේවාලයක් යැයි කියන ස්ථානයකට යාමේ අපේක්ෂාවෙනි.

ඉරේෂාගේ මව පවසන්නේ ඇගේ දරුවා දේව විමානයකට රැගෙන ගොස් ඇති වයි. අනුරාධපුරයේ පූජාවට ගියේ මේ වගේ විපතක් කරගන්නට දැයි ඇය ප්‍රශ්න කරයි. බාරයක් ඔප්පු කරන්න ගිය ඇය මිනී පෙට්ටියකින් ගෙදරට පැමිණෙනු ඇතැයි කිසිදා නොසිතූ බව ඇය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දුගේ මෙහෙයවීම මත නිට්ටඹුව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!