spot_img
spot_imgspot_img

“විශ්‍රාම වයස 60 දක්වා අඩුකිරීමෙන් වෛද්‍ය සේවාව කඩා වැටෙන කතාව බොරුවක්” – වෛද්‍යවරු පිරිසක් ම කියති

පුවත්

විදෙස්

වෛද්‍ය වරුන් අනිවාර්ය විශ්‍රාම යැවීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගත් තීරණයේ කිසිදු වරදක් නැතැයි ද එය විවේචනය කරමින් වැරදි තොරතුරු මාධ්‍ය හරහා සමාජගත කරන්නේ තම පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන වෛද්‍යවරු සීමිත පිරිසක් බව ද වෛද්‍යවරු කණ්ඩායමක් ම චෝදනා කරති. 
එම වෛද්‍යවරු පිරිස මේ පිළිබඳ සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ද යොමුකර ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ කිසිදු හේතුවක් නිසා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ට වැඩි කාලයකට දීර්ඝ නොකළ යුතු බවයි.
විශ්‍රාම යාමට නියමිත වෛද්‍ය වරු ඉතාමත් සීමිත පිරිසක් රටේ ප්‍රධාන රෝහල්වල වාට්ටු අල්ලාගෙන තම පුද්ගලික චැනල් සේවා සඳහා එය රුකුලක් කරගනිමින් සිටින බවත්, වාට්ටුව බාර වෛද්‍යවරයා ලෙස පෙනී සිටීමේ අවශ්‍යතාව නිසා තමන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු වෛද්‍යවරුන්ට ඉඩ නොදී දිගටම රැඳී සිටීමට උත්සාහ ගන්නා බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් විවිධ විෂයයන් යටතේ විශේෂඥ වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරු අති විශාල පිරිසකට නිසි පරිදි රෝහල් සහ වාට්ටු නොමැතිව විවිධ ප්‍රදේශවලට වී තම පුහුණුවට අදාල නොවන රාජකාරීවල නිරතවීමට සිදුව තිබෙන බවත් එම කණ්ඩායම පෙන්වා දෙති. තමන්ට ලැබී ඇති විශේෂඥ පුහුණුවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වීම නිසා ම තරුණ වෛද්‍යවරු රැසක් රට හැර දමා විදේශගත වන බව ද එයට වගකිව යුත්තේ විශ්‍රාම යන වයස කල් දමමින් හැමදාමත් රෝහල්වල වාට්ටු අල්ලාගෙන සිටින වෛද්‍යවරු පිරිසක් බව ද ඔවුන්ගේ මතය වී ඇත. මේ බව ඔවුන් ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
එම ලේඛනයට අත්සන් තැබූ වෛද්‍යවරු මෙසේ කියයි. 
“වයස අවුරුදු 60 දී සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්විය යුතුයැයි රජය ගත් තීරණයට අපි ඉතාමත් එකඟයි. අපි අතරින් කිහිප දෙනෙක් විශ්‍රාම යාමට ආසන්නව ඉන්නේ. නමුත් අපි කියන්නේ රජය ආර්ථිකය යථාතත්වයට පත්කිරීම අරමුණු කරමින් ගත් මේ තීරණය නිවැරදියි. රාජ්‍ය සේවයේ සිටිය යුතු වන්නේ කාර්යක්ෂම ශ්‍රම බලකායක්. නමුත් මේකට විරුද්ධ වෛදධ්‍යවරු තමන්ට ඇති වරප්‍රසාද තවත් අවුරුදු 03ක් පමණ රඳවාගන්න බලාපොරොත්තු වවා. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු වැරදියි. මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාරයක් ගෙනියනවා අවුරුදු 60 දී විශ්‍රාම යාම අනිවාර්ය කළොත් වෛද්‍යවරු හිඟ වේවි කියලා. නමුත් මේ නව යෝජනාව අනුව සියලු ම වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගන්වා අවශ්‍යතාව මත යම් කිසිකෙනෙකුගේ සේවය අවශ්‍යනම් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය ගත හැකියි. 60 දී විශ්‍රාම ගියා කියලා කිසිම රික්තයක් ඇති වෙන්නේ නැහැ. තරණ විශේෂඥ වෛද්‍යවරුන් ඕනෑ තරම් ඒ ඒ ස්ථානවලට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටත් විශේෂඥ වෛද්‍යවරු රැසක් නිශ්චිත ස්ථානයක් නොමැතිව දුෂ්කර ප්‍රදේශවල සාමාන්‍ය රාජකාරී කරමින් සිටිනවා. විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමෙන් සිදුවන්නේ එවැනි වෛද්‍යවරුන්ට ප්‍රධාන රෝහල්වලට පැමිණී‍මේ අවස්ථාව මගහැරී යාම. මෙය හොඳ දෙයක් නෙවෙයි.”
එම වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60 දී සියලු වෛද්‍යවරුන් තරාතිරමක් සහ විෂය පථයන් නොසළකා විශ්‍රාම ගන්වා පසුව ‍අවශ්‍යතාවක් ඇත්නම් පමණක් කොන්ත්‍රාත් පදනම අනුව බඳවාගත යුතු බවයි.  
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව 63 දක්වා දීර්ඝ කරන ලද්දේ වසර 03කට පමණ පෙරාතුවය. ඊට පෙර නිදහස ලැබූ දිනයේ පටන් ශ්‍රී ලංකාවේ සියලු වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගිය අතර කිසිදු අවස්ථාවක දී වෛද්‍යවරු විශ්‍රාම ලැබූ පසු එම සේවය සැපයීමට වෛද්‍යවරු ප්‍රමාණවත් නැතැයි පවසමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට කිසිවෙකුත් සිටියේ නැත.
පසුගිය අගෝස්තු මාසයේ ඉදිරිපත් කළ අයවය යෝජනාවල දැක්වූ පරිදි වෙද්‍යෙවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම යැවූ විට විශේෂඥ වෛද්‍යවරු 300කට පමණ එකවර විශ්‍රාම යාමට සිදුවනවා යැයි පිරිසක් පවසන්නේ සංඛ්‍යාලේඛන වැරදි ලෙස අර්ථකථනය කරමිනි. මේ ආකාරයට ලබන දෙසැම්බර් 31 වැනි දා වනවිට අනිවාර්ය විශ්‍රාම යාමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් 300 අතරින් 200ක් පමණ වසර තුනක පමණ කාලයක සිට වයස 60 ඉක්මවා ඇති එහෙත් විශ්‍රාම නොගිය පිරිසකි. 
විශේෂඥ වෛද්‍යවරුන් වැඩි දෙනකු පවසන්නේ විශ්‍රාම යන වයස අවුරුදු 60 පසු කරමින් ඔවුන් තවදුරටත් විවිධ හේතු දක්වමින් රැඳී සිටීමට උත්සාහ කරන්නේ සිය පුද්ගලික චැනල් සේවාව ආරක්ෂා කරගැනීමට මිස රටේ රාජ්‍ය සේවයේ යෙදී රටට ජනතාවට ඉස්තරම් සේවයක් සැපයීමට නොවන බවයි. 
විශ්‍රාම වයස පසුකර සිටින වෛද්‍යවරු වාට්ටු බාර වෛද්‍යවරු වෙති. එලෙස වාට්ටුවක් බාරව සිටීම ඔවුන්ගේ පුද්ගලික චැනල් සේවාවට රෝගීන් වැඩි දෙනකු ඇදී ඒමට හේතුවෙක් වෙයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු රජයේ ප්‍රධාන රෝහලක වාට්ටුවක් නොමැති නම් ඔවුන්ගේ පුද්ගලික චැනල් සේවාවට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙයි.
විශ්‍රාම යන නිශ්චිත වයස වූ අවුරුදු 60 පසුකර ඇතත් තවදුරටත් කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය, අනුරාධපුරය වැනි ප්‍රධාන රෝහල්වල රැඳී සිටින වෛද්‍යවරු හේතුවෙන් තවත් ‍විශේෂඥ වෛද්‍යවරු සිය ගණනක් එම රෝහල්වලට පැමිණීමට නොහැකිව ඉතා දුෂ්කර සහ තම විෂයයට අවශ්‍ය පහසුකම් නොමැති රෝහල්වලට වී සේවය කිරීමට සිදුව තිබේ. 
මීට පෙර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් විය යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවේ දක්වා ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පළපුරුද්ද සහ හැකියාවෙන් තවදුරටත් ප්‍රයෝජන ගත යුතු බැවින් මෙවැනි තීරණයක් ගන්නා බවයි. 
ගැටලුවනම් මෙලෙස පළපුරුද්දෙන් සහ හැකියාවෙන් ප්‍රයෝජන ගත යුත්තේ රාජ්‍ය සේවයේ නිරත වෛද්‍යවරුන්ගෙන් පමණක් ද ? හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නිරත අනිකුත් රාජ්‍ය සේවකයන්ගේ පළපුරුද්ද අවශ්‍ය නොවේද ? පොලිසියේ හමුදාවේ, දුම්රිය සේවයේ, ඉංජිනේරුවන්ගේ සේවය පළපුරුද්ද සහ හැකියාව මත අවශ්‍ය වන්නේ නැද්ද ? රජය සියලුම දෙනාට සමාන ලෙස සැළකීම කළ යුතු කාර්යයකි. නමුත් විශේෂඥ වෛද්‍යවරුන් සුළු පිරිසක් වෙනුවෙන් රටේ පොදු නීතියක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලයට හැකියාවක් තිබේ ද ?
විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම සඳහා පුද්ගලික රෝහල්වල දිගු පෝළිම් සහ දැඩි තදබදයක් ඇතැයි අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබිණි. නමුත් සැබැවින්ම එවැනි පෝළිම් ඇතිවන්නේ කවර හේතුවක් නිසාදැයි මෙතෙක් ශ්‍රී ලංකා තුළ කිසිදු සමීක්ෂණයක් සිදුකර නැත. අපට තව කාලයක් සේවය කිරීමට අවස්ථාව ලබා දෙන්නයැයි මාධ්‍ය හමුවේ සාකච්ඡා පවත්වන වෛද්‍යවරු ද රජයේ රෝහල්වල සේවය කරන කාලය සහ දිනකට පරීක්ෂාකරන රෝගීන් සංඛ්‍යාව පිළිබඳ කිසිවෙකු අධ්‍යයනය කර නැත.
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතැයි ද වෛද්‍යවරු වයස 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමෙන් එය තවදුරටත් දරුණු තත්වයට පත්වනු ඇතැයි ද ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් කීව ද මේ තත්වය වළක්වාගැනීම සඳහා ඉතිහාසයේ කිසිම දිනක ඔවුන් විකල්ප යෝජනා ඉදිරිපත් කර නැත. 
වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීම ජාතික අපරාධයක් තරමට හුවාදක්වන ඇතැම් මාධ්‍ය මේ පිළිබඳ කිසිදු සොයා බැලීමක් කර නැති බව නොරහසකි. එය නිවැරදි ලෙස සොයා බැලුවේ නම් කිහිප දෙනෙකුගේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් මේ ප්‍රචාරය ගෙන යන බව අවබෝධ කරගැනීමට මාධ්‍යයට හැකියාව ලැබෙනු ඇත. 
වෛද්‍යවරු පෙන්වා දෙන්නේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන පත්වීම් සහ ස්ථාන මාරුවීම් ක්‍රමයේ බරපතල ගැටලු ඇති බවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළලු අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන තමන් පමණක් නිවැරදියැයි සිතා සිටින උඬඟු උපදේශකයන් හේතුවෙන් එවැනි තත්යක් ඇති වී තිබෙන බව ඇතැම් වෛද්‍යවරුන්ගේ මතයයි. ඔවුන් දීර්ඝ කාලයක් තනතුරුවල රැඳී සිටිමින් තම වරප්‍රසාද වෙනුවෙන් සම්පූර්ණ වෘත්තීය පාවා දෙන්නන් බව වෛද්‍යවරු කියති. 
මේ නිසා අලුතින් පත්වීම් ගෙන එන තරුණ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ඔවුන්ගේ විෂයයට අදාල පහසුකම් සහිත රෝහල් නොලැබීම හේතුවෙන් රජය සෞඛ්‍ය සේවයේ වර්ධනයට යොදන මුදල් පව නිසි ප්‍රයෝජනයක් නොගන්නා තත්වයට පත්ව තිබේ. විෂයයට අදාල පහසුකම් නොමැති කුඩා පර්යන්ත ස්ථානයන්හි ඔවුන්ට සිය කාලය නිකරුණේ කා දැමීමට සිදුව තිබේ. 
වෛද්‍යවරු බහුතරයක් පෙන්වා දෙන්නේ 60 දී අනිවාර්ය විශ්‍රාම ගන්වා අවශ්‍යනම් ක‍ොන්ත්‍රාත් පදනම මත සේවය යළි ලබා ගැනීමේ ක්‍රමය වඩාත් සාර්ථක බවයි. වැරදි ප්‍රචාරයන් මත තීන්දු තීරණ නොගෙන නිවැරදි තීරණ ගන්නා ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
වෛද්‍යවරු පිරිසක් විසින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය පහතින් 
 


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!