spot_img
spot_imgspot_img

රාජ්‍ය නිලධාරීන්ගේ කට වහන්න හැදූ චක්‍රලේඛය නීති විරෝධීයි. ආයතන අධ්‍යක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රශ්නය මඟහරී

පුවත්

විදෙස්

රාජ්‍ය නිලධරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව පවසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ නිකුත්කරන ලද 04/2022 චක්‍රලේඛය නීති විරෝධී සහ අධිකරණයට අපහාස කරනු ලබන්නකි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් බැඳී සිටින රටේ ඉහළම පරිපාලන නිලධාරියකු වූ මායාදුන්නේ මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ වලංගු නීතිය අනුව කිසිසේත්ම හැකියාවක් නැත.

ඔහු නීතිය නොදන්නේ දැයි rata.lk අපි දන්නේ නැත. නමුත් නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවන බව නම් මායාදුන්නේට සිහිපත් කිරීම වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අපගේ යුතුකමක් සහ වගකීමකි.

ඔහු නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේද‍යේ 06වන සහ 07 වන වගන්තීන්හි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේලඛ 04/2015 හි 03 වන වගන්තිය දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවයි.

එමෙන් ම ආයතන සංග්‍රහයේ පළමු වැනි කාණ්ඩයේ XXXII වැනි පරිච්ඡේදයේ 01 වන වගන්තිය අනුව දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාවක් බවත්, දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම ද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවත් එහි දක්වා ඇත. චක්‍රලේඛයේ අවසානයේ නැවත පවසා ඇත්තේ එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායදුන්නේ මෙම චක්‍රලේඛය මගින් සිදුකර ඇත්තේ මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝගනය කිරීමකි.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම ලිපිය නිකුත් කර ඇත්තේ අවම වශයෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ සාමාන්‍ය භාවිත නීතිය ගැන හෝ නොදැන වීම ගැටලු සහගතය.

එම ලිපිය නීති විරෝධී වන්නේ ඇයි ?

1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට සියලු පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර ඇත. නමුත් මෙම ලිපිය එය උල්ලංඝනය කරයි.

2. එමෙන් ම 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 40 වැනි වගන්තිය අනුව යම් පොදු අධිකාරියක තොරතුරු සඳහා ප්‍රවේශවීමට පුරවැසියන්ට අවස්ථාව ඇති තොරතුරක්, ආයතනයේ ඕනෑම අයකු විසින් ඕනෑම පුරවැසියකුට කවර ආකාරයකින් හෝ ලබා දිය හැකි අතර එලෙස ලබාදුන් තැනැත්තාට හෝ තැනැත්තියට හෝ එරෙහිව කිසිදු ආකාරයක විනයානුකූළ ක්‍රියාමාර්ගයක් ගැනීමට නිතීමය අවසරයක් ද නැත.

ලේකම්වරයාගේ ලිපිය අධිකරණයට අභියෝගයක් වෙයි

1. හිටපු ජනාධිපති වරයකු වන මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී 1993 වර්ෂයේ රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි”. එම තීන්දුවව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

“The right to support or to criticize the governments and political parties , policies and programmes is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.” මායාදුන්නේ විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය එම අධිකරණ නියෝගයට පටහැනිය.

2. එමෙන් ම, විජේරත්න එදිරිව පෙරේරා (SCFR 379/93,SCM 2.3.94) නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. “ රාජ්‍යයෙහි ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවකි.” එසේ නම් රජයේ අමාත්‍යාංශයක ලේකම්වරයකු මෙවැනි නීති විරෝධී චක්‍රලේඛයක් නිකුත් කරමින් රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීම වාරණය කරන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

3. එම නඩු දෙකට අමතරව තවත් නඩු රැසක් සම්බන්ධයෙන් විවිධ අධිකරණ මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර තිබේ.

ආයතන සංග්‍රහයේ නියෝගවලින් හෝ චක්‍රලේඛවලින් රාජ්‍ය නිලධාරීන්ගේ භාෂණය හා ප්‍රකාශනයට සීමා දැමිය හැකි ද ?

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 15.7 වගන්තිය අනුව පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, රටේ නිදහස, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, මහජන සෞඛ්‍යය, නීතියේ පැවැත්ම යන කරුණුවලට අදාලව නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත්ව ඕනෑම පුරවැසියකුට හිමිවෙයි.

2. නීතිය යන්න 270 වගන්තියේ විස්තර කර ඇත. එම වගන්තිය අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදායකයක් විසින් ඇතිකරන ලද නියෝග සහ රාජ සභා ආඥා පනත් පමණි.

3. චක්‍රලේඛයක් යනු නිලධාරියකු විසින් නිකුත්කරන ලද උපදෙස් මාලාවක් පමණි. එය රටේ වලංගු නීතියක් නොවේ.

4. එමෙන්ම ආයතන සංග්‍රහය ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් නොවේ. එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ ලේඛනයක් පමණි.

එබැවින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ම එම්.එම්.පී‍.කේ.මායදුන්නේ විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මුළුමනින් ම නීතියට පටහැනි සහ මෙරට පුරවැසියන්ට හිමිව ඇති මූලික අයිතිවාසිකම් අහිමිකිරීමට අනීතිකව කටයුතු කිරිමකි.

මේ සම්බන්ධයෙන් විමසීමට අපි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායදුන්නේ සිටින කාර්යාලයට ඇමතුමක් ගත් විට ඔහු එම ඇමතුම හා සම්බන්ධ වූයේ නැත. ඔහුගේ කාර්යාලයේ නිලධාරියකු අපට කීවේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ විසින් මෙම චක්‍රලේඛකය සකසා ඇති බවයි.

ඒ අනුව ආයතන අධ්‍යක්ෂ සමඟ සාකච්ඡා කළ විට ඔහු කියා සිටියේ ආයන සංග්‍රහය යනු අමාත්‍ය මණ්ඩලයේ අනුමත ලේඛනයක් බැවින් එහි සඳහන් කරුණු අනුව මෙම චක්‍රලේඛය සකස් කළ බවයි. තමන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද ඔහු පිළිගත්තේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ම ආයතන සංග්‍රහය හෝ මෙවැනි චක්‍රලේඛයක් රටේ නීතික් නොවන බවත් කියූ විට ඔහු කියා සිටියේ තමන්ට නීතිය ගැන ගැඹුරු දැනුමක් නැති බවයි. එමෙන්ම රටේ නීතියක් නොවන ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වරදක් බවත් පෙන්වා දෙමින් අප ඉහත සඳහන් කර ඇති නඩු තීන්දු කිහිපයක් ගැන කියමින් චක්‍රලේඛය මගින් අධිකරණයට අපහාසයක් සිදුවනවා නේදැයි විමසූ විට ඔහු කියා සිටියේ තමන් ‍ඒ කරුණු දැන නොසිටි බවයි.

එමෙන් ම ඔහු අපෙන් ඉල්ලීමක් කරමින් කීවේ මේ කරුණ සම්බන්ධයෙන් තමන්ගෙන් නොව චක්‍රලේඛයට අත්සන් තබා ඇති ලේකම්වරයාගෙන් විමසන ලෙසයි. තමන්ට ඉහළින් ලැබුණු උපදෙස් අනුව චක්‍රලේඛය සැකසීමට දායක වුව ද මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට තමන්ට නොහැකි බව ද ඔහු කියා සිටියේය.

“ඔයා මාව කෝට් කරන්න එපා, මම මේ කළේ පැහැදිළි කිරීමක් විතරයි. මාව කෝට් කරනවානම් අපිට මීට පස්සේ මාධ්‍යයට කියන්න වෙන්නේ අපෙන් මොකුත් අහන්න එපා. අපි මොනවත් කියන්නේ නෑ කියලා තමයි. ඒ තත්වයට මාධ්‍යයට පත්වෙන්න ඕනනම් මාව කෝට් කරන්න”

මේ ඔහුගේ දැක්මයි. ආයතන අධ්‍යක්ෂ ජනරාල් යනු ආයතන ප්‍රධානියෙකි. රජයෙන් වැටුප් ලබන මහජන සේවකයෙකි. ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් හැර එම ආයතනයෙන් මාධ්‍යයට කරුණු විමසීමට වෙනත් උසස් නිලධාරියකු නැත. තමන් චක්‍රලේඛය සැකසුවේ නීතිය නොදැන බව ඔහු පිළිගනී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින්, අධිකරණයටත් අපහාස කරමින් චක්‍රලේඛයක් සැකසූ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන් අනතුරුව මාධ්‍යයටත් තරවටු කරමින් කියා සිටියේ මගේ නම දාලා ලිව්වොත් ආපහු මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන්නේ නෑ කියමින්. මෙවැනි රාජ්‍ය නිලධාරීන් තමන් කරනු ලබන්නේ ජනතාවට සේවය කිරීම බව තේරුම් නොගන්නා තුරු රටට සිදුවන සෙතක් නැති බව නම් අපි සිහිපත් කරන්නෙමු.

මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ අමතා විමසූ විට ඔහු මෙසේ කිවේය.

“මම නීතිඥයෙක්. මට පැවරී තිබෙන බලපත්‍ර අනුව තමයි මම චක්‍රලේඛය නිකුත් කළේ. ඒකේ වැරැද්දක් තියෙනවද නැද්ද කියලා නොදන්නා ඔබ වැනි පාර්ශව සමඟ කතා කරන්න බෑ. ඒ නිසා ඔයාට ඕනනම් ඒ චක්‍රලේඛයට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්.”

රජයේ ලේකම්වරයකුට රටේ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙවැනි චක්‍රලේඛ නිකුත් කරන්න හැකි දැයි විමසූ විට ඔහු නැවත කීවේ තමන් නීතිඥයකු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්, අප විසින් ඉහත සඳහන් කර ඇති නඩු තීන්දු සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා තීරණ රටේ නීතියක් නොවන බව පිළිනොගන්නේ දැයි ඇසූ විට රාජ්‍යසේවයට පිවිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරිමට බැඳී සිටින මායාදුන්නේ නම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ලේකම් වරයා තම ජංගම දුරකථනය විසන්ධි කළේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය සිදු කරන රජයේ ප්‍රධාන ම අමාත්‍යාංශයක නීතිඥයකු බව පවසන ලේකම්වරයා ජනතාව වෙනුවෙන් පිළිතුරු දෙන්නේ ඒ ආකාරයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!