spot_img
spot_imgspot_img

දියවැඩියාව පාලනයට නව ඖෂධයක් රුහුණ විශ්වවිද්‍යාලයෙන් සොයා ගනී. කෝවක්කා ශාක සාරයෙන් සාදා පේටන්ට් බලපත්‍රයත් අරන්

පුවත්

විදෙස්

රුධිරයේ සීනි මට්ටම අඩුකරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටියි.

කෝවක්කා පැලෑටියේ රසායනිකයන් පිළිබඳ දීර්ඝකාලයක් කරන ලද අධ්‍යයනයකින් පසු මෙම ඖෂධය නිපදවීමට හැකි වූ බව එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කලේ එම ඖෂධය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (20) කරාපිටියේ පිහිටි රුහුණ ‍විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී පැවැත්වූ සාකච්ඡාවක දී ය.

මහාචාර්ය ආනෝජා අත්තනායක, වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා මහාචාර්ය තිලක් වීරරත්න,  ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය කමණී ජයතිලක, ආචාර්ය පියුමි වාසනා යන කණ්ඩායම මෙම පර්යේෂණය සිදුකර තිබේ.

කෝවක්කා ශාකයේ රසායනිකයන් මගින් රුධිරගත සීනි අඩුකිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණයක් කිරීම සඳහා 2017 වර්ෂයේ දී ජාතික විද්‍යා ආයතනයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට රුපියල් ලක්ෂ 47ක අරමුදල් ලැබීමෙන් මෙම පර්යේෂණය ආරම්භ කර තිබේ.

පර්යේෂණයේ ප්‍රතිඵල අනුව කෝවක්කා ශාකයේ රසායනිකයන් රුධිරගත සීනි අඩුකිරීමට සමත්වන බව තහවරු කරගත් පර්යේෂකයෝ එමගින් ඖෂධීය කරලක් නිපදවා ඇත. ඉන්පසු රසායනික ප්‍රේරිත සතුන් යොදා එහි පළමු අදියරේ පර්යේෂණ සිදුකර නියමිත මාත්‍රාව විශ්ලේෂණය කළ බව පර්යේෂක කණ්ඩායම පවසයි.ඉන් පසු මෙම ඖෂධය සායනික පර්යේෂණ සඳහා යොමුකර ඇත. මහාචාර්ය තිලක් වීරරත්නගේ අධීක්ෂණයෙන් පුද්ගලයන් 158 දෙනකු යොදා සායනික පරීක්ෂණ සිදුකර තිබේ.

ඒ පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්ය තිලක් වීරරත්න මෙසේ කීවේය.

“අපි සායනික පරීක්ෂණ සාර්ථකව සිදුකළා. එතැන දී අපට තහවුරු වුණා. මේ ඖෂධය භාවිතයෙන් මිනිස් රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවන බව. එය දැනට භාවිතා කරන බටහිර ඖෂධවලට සමානව ම සිදුවන බව ද තහවුරු වුණා. ඒ වගේම මේ නව ඖෂධය භාවිතයෙන් කිසිදු පුද්ගලයකුට අහිතකර තත්වයක් ඇති නොවන බවත් අපි තහවුරු කරගත්තා. මිනිස් රුධිරයේ ඇති අහිතකර මේද තත්වයත් අඩුකරන්නට මේ නව ඖෂධය සමත්වන බවත් අපිට මාස තුනක සායනික පරීක්ෂණවලින් තහවුරු කරගත හැකි වුණා.”

සායනික පර්යේෂණ ද සාර්ථක වූ පසු ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව Elsevier ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන Phytomedicine නමැති ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. එය ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ වෛදය පර්යේෂණ පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කරන සඟරාවකි.

මීට අමරතව පර්යේෂක කණ්ඩායම විසින් තමන් නිපදවූ නව ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන තිබේ.

ආචාර්ය උපාධි අපේක්ෂිකාවක ලෙස පර්යේෂණයට දායක වූ පියුමි වාසනා පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ ශාක සාරයකින් නිපදවා ඇති ඖෂධයක් වන අතර බටහිර ‍ඖෂධයක් ලෙසම එම ප්‍රමිතීන් අනුව සකසා ඇති බවයි. ශාකයේ ඇති රසායනිකයන් හඳුනාගෙන ඒවා සුදුසු පරිදි නිස්සාරණය කර අදාල පර්යේෂණ සිදුකරමින් ඖෂධය නිපදවූ බවත් දැනටමත් හිමිව ඇති ජාත්‍යන්තර පිළිගැනීම සහ පේටන්ට් බලපත්‍රයෙන් ලැබී ඇති අයිතිය අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මැදිහත් වී‍ මෙම ඖෂධය ඉදිරියේ දී වාණිජ වශයෙන් නිපදවීමට කටයුතු කරන බව ද ඇය කියා සිටියාය.

මෙහි දී අදහස් දැක්වූ මහාචාර්ය අනෝජා අත්තනායක කියා සිටියේ කෝවක්කා ශාකයේ රසායනිකයන් හඳුනාගෙන වෛද්‍ය පර්යේෂණ මගින් ඖෂධයක් නිපදවා ඇතත් කෝවක්කා පැලෑටිය අසාමාන්‍ය ලෙස ආහාරයට නොගන්නා ලෙස තමන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

එම ශාකයේ රසායනිකයන්ගෙන් රුධිරයේ සීනි මට්ටම අඩුකළ හැකි වුව ද එය හිතුමතයේ නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ආහාරයට ගැනීම මිනිස් සිරුරට හානිකර විය හැකි බව ද ඇය පෙන්වා දෙයි.

මෙහි දී වැඩිදුරටත් අදස් දැක්වූ මහාචාර්ය තිලක් වීරරත්න කියා සිටියේ කෝවක්කා දේශීය වෙදැදුරන් අතර රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට හැකි බවට මතයක් කලින් තිබූ බවයි. එබැවින් ඇතැම් දියවැඩියා රෝගීන් බටහිර ඖෂධ පානය කරන අතරතුර කෝවක්කා කැඳ, කෝවක්කා මැල්ලුම් සහ සම්බල් ආහාරයට ගෙන විවිධ අසීරුතාවලට ලක්ව ප්‍රතිකාර සඳහා පැමිණෙන බව ද ඔහු පවසයි. එබැවින් වෛද්‍ය නිර්දේශ නැතිව කෝවක්කා ‍ආහාරයට නොගත යුතු බව ද හෙතෙම කීවේය.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන කියා සිටියේ රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩුකිරීම සඳහා සිදුකරන ලද මෙම සාර්ථක පර්යේෂණය විශ්වවිද්‍යාලය ඉතිහාසයේ ම ඉතාමත් ආදර්ශමත් පරික්ෂණයක් බවයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් පසුගිය කාලයේ දී රුහුණ විශ්වවිද්‍යාලය‍ හෝ කරාපිටිය රෝහල හෝ සම්බන්ධ නැති ගෙදර සිට සිදුකළා යැයි කියන ව්‍යාජ පර්යේෂණ පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ලබා දීමෙන් ජනතාව නොමගට යොමු වී මුදලාලිලා බිහි වූ බව ද මාහාචර් අම‍රසේන කීවේය. මෙය පර්යේෂණයක් සිදුකරන ආකාරයත් එවැනි පර්යේෂණයක් ඉදිරියට ගෙනයන ආකාරයත් පිළිබඳ හොඳ ආදර්ශයක් බව ද හෙතෙම කීවේය.

වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි පැවසුවේ ඉතාමත් නුදුරු දිනයක දී මෙම නව ඖෂධය නිෂ්පාදනය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය පීඨය අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සටින බවයි.

මහාචාර්ය කමණී ජයතිලක මෙසේ කීවාය.

“වෛදය පීඨය 1986 වර්ෂයේ සිට දියවැඩියා හා අක්මා රෝග සඳහා ඖෂධීය ශාක නිස්සාරණ යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ කළා. අපිට ඒ පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන පවා ලැබී තිබෙනවා. වසර 35ක වෛද්‍ය පීඨ ඉතිහාසයේ මේ තමයි අපි වඩාත්ම සාර්ථකව ඖෂධයක්  නිපද වූ අවස්ථාව කියා මෙය හැඳින්විය හැකියි.”

(සජීව විජේවීර)

පර්යේෂණ කණ්ඩායම වමේ සිට දකුණට මහාචාර්ය අනෝජා අත්තනායක, මහාචාර් තිලක් වීරරත්න, මහාචාර්ය කමණී ජයතිලක, ආචාර්ය පියුමි වාසසනා

1 COMMENT

  1. ඔබතුමන්ලා සියළු දෙනාට මනුෂ්‍ය සංහතියේ ප්‍රනාමය හිමිවිය යුතුයි,,මේක $ ආකරයක්, රජය කලයුත්තේ වහ වහා මේ ඖෂධය නිපදවීමට අවශ්‍ය කෝවක්කා වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදී මහපරිමාන වගාවන් මෙන්ම ගෙවතු වගාවටද දිරි ගන්වා ඒ අස්වැන්නට නියම මිලක් ලබාදී ලෝකය පුරාම මෙම ඖෂධය අපනයනය කර ඩොලර් උපයා ගැනීමයි,, එසේ නොමැතිව කොමිස් වෙනුවෙන් මාහැඟි ක්‍රියාව යටපත් නොකල යුතුයි,,,,,,,,,,,,,,,,,,,,,,,,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!