spot_img
spot_imgspot_img

දියණියගේ ජයග්‍රහණය දුටු පියා අධික සතුටින් මියයයි

පුවත්

විදෙස්

සිය දියණිය‍ගේ ජයග්‍රහණය දැක සතුට දරා ගැනීමට නොහැකි වූ පියකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ චන්දන ප්‍රසාද් කලංසූරිය නමැති 47 හැවිරිදි තිදරු පියෙකි.

ගාල්ලේ නරාවල පෝද්දල ප්‍රදේශයේ පිහිටි තම මවගේ නිවසේ සිටි ඔහු සිය 16 හැවිරිදි වැඩිමහල් දියණිය අඟුණුකොළපැලැස්සේ සිට ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට ගාල්ල වලහන්දූවේ ජනාධිපති බාලිකා විද්‍යාලයට පැමිණෙන බැවින් තරඟ නැරඹීමට එහි ගොස් ඇත. තරඟ පැවතියේ පසුගිය 08 වැනි දා ය. අඟුණුකොළපැලැස්ස ජාතික පාසලේ ඉගෙනුම ලබන දියණිය තරඟයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ මහත් ප්‍රමෝදයට පත් වූ ඔහු හදිසියේ ම ක්ලාන්ත වී ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර විනාඩි කිහිපයකින් ඔහු මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා පවසයි.

මියගිය චන්දන ප්‍රසාද් කලංසූරිය මහතා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. ක්‍රියාන්විත රාජකාරියේ දී බිම් බෝම්බයකට හසුවීමෙන් එක් පාදයක කොටසක් අහිමි වී සිටි අයෙකි.

ඔහුගේ බිරිඳ කල්‍යාණි ගුරුසිංහ මහත්මිය (45) පවසන්නේ තමන් සහ දරු තිදෙනා අඟුණුකොළපැලැස්සේ, අළුත්වැව 02 ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටිය දී සැමියා සිය මව සමඟ ගාල්ලේ සිටි බවයි. ඔහු අවස්ථා දෙකක දී හෘදයාබාධවලට ගොදුරුව සිටි අයකු බව ද දියණියගේ තරඟ බැලීමට පැමිණ සිටිය දී රෝගාතුර වී ඇති බව ද ඇය පවසයි. සැමියා හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කළ බව ක්‍රීඩා භාර ගුරුවරයා සහ සිය දියණිය දුරකථනයෙන් දැනුම් දුන් බව ද ඇය පවසයි.

මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා විසින් සිදුකළ අතර වෛද්‍යවරයාගේ වාර්තාව සහ මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා අධික සතුට දරාගත නොහැකිව ඇති වූ හෘදයාබාධයකින් සිදුවූ මරණයක් බව තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!