spot_img
spot_imgspot_img

දරුවන් කෙළසූ ගාල්ලේ කපුවා ගැන CID ය අධිකරණයට කියූ කතා. “කපුවාට කිසිවක් මතක නෑ”

පුවත්

විදෙස්

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කීර්ති කුමාර බටගොඩ (44) නමැති මැටරඹ දේවාලයක කපුවකු තවදුරටත් ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ  (06) නියෝග කළාය.

එමෙන් ම මෙම සිද්ධියේ දී අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර පාසල් සිසුන් තිදෙනකු ද රුපියල් ලක්ෂ 02 බැගින් වූ බැඳුම්කරයක් මත දෙමාපියන් බාර දී පරිවාස ආඥාවක් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.

මෙම අපයෝජන සිද්ධිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී මැටරඹ දේවාලයේ කපුවා එහි ගෙනවිත් තිබුණේ නැත. රිමාන්ඩ් ගත කර සිටි ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර කපුව පරීක්ෂණ සඳහා සහය නොදෙන බවයි. මේ හේතුවෙන් පරීක්ෂණ ප්‍රමාද වන බව ද අපයෝජන සිදුකළ බව කියන කැස්බෑව ප්‍රදේශයේ හෝටලයකට සහ අතුරුගිරියේ ඔහුට ම අයත් නිවසකට ගෙනගිය අවස්ථාවේ දී ද තමන්ට කිසිවක් මතක නැතැයි ඔහු පවසන බව ද නිලධාරීහු අධිකරණයට කීහ. එමෙන් ම ඔහුගේන ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවක දී ම තමන්ට කිසිවක් මතක නැතැයි කියමින් පරීක්ෂණවලට සහය නොදී සිටින බව ද නිලධාරීන් පැවසීය.

එමෙන් ම, ජංගම දුරකථන, පරිගණක, සැකකරු විසින් අළෙවි කරන ලද බවට සැකකරන චායාරූප රජයේ රසපරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවා ඇතත් එය තවමත් ලැබී නැති බව ද අධිකරණයේ දී අනාවරණය විය. අපයෝජනයට ලක්වූ පිරිස අතර බාල වයස්කාර ළමයින් මෙන්ම වයස අවුරුදු 16-18ත් අතර පිරිමි ළමයින් දසිටින බවත් ඔවුන්ට සැකකරු ජංගම දුරකථන, පරිගණක, පා පැදි මෙන්ම මුදල් ද පරිත්‍යාග ලෙස ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන් ම සැකකරු අංගොඩ මානසික රෝහලට ඉදිරිපත් කර විශේෂඥ ‍මනෝ වෛද්‍යවරයකුගේ වාර්තාවක් ලබා ගැනීමට තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේය.

සැකකරුට ඇප ලබාදීමට කටයුතු කළහොත් සාක්ෂිවලට ඔහු බලපෑම් කළ හැකි බවත් තවමත් පරීක්ෂණ අවසන් නොවීම සහ පරීක්ෂණ සඳහා ඔහුගේ සහය ලබා නොදීම යන කරුණු හේතුවෙන් එම සැකකරුට ඇප ලබා නොදෙන ලෙස ද පරීක්ෂණ පවත්වන නිලධාරීහු ඉල්ලා සිටියහ.

ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න සමඟ සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් වන ප්‍රදීප් මදනායක, තුසිත් පලිවත්ත, දසිනි පියසිරි යන නීතිඥවරුන් පෙනී සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ සැකකරුට එරෙහිව ළමයින්ගේ ප්‍රකාශ හැරුණු විට වෙනත් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නැති බවයි. සැකකරු දේවාලයක් පවත්වාගෙන යමින් විවිධ සමාජ සත්කාර රැසක් සිදුකර ඇති බැවින් ළමයින් විසින් සාදාගත් වට්ස් ඇප් සමූහයකට ඔහු ද ඇතුළත් කර සිටින බවත් අපයෝජන සිදුව නැති බවත් එම නීතිඥවරු කීහ. එබැවින් සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙස ද  ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම කරුණු සැළකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරණ සැකකාර කීර්ති කුමාර බටගොඩ නමැති මැටරඹ දේවාලයේ කපුවා ලබන 20 වැනි දා දක්වා රිමානඩ් කිරීමට නියෝග කළාය.

අගතියට පත් දරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන අජිත් කුමාර, විශ්වනාත් අරඹවෙල, අවන්ති තරංගා හැන්නදිගේ, ඒ.සී.ඩී.සී.දර්ශන යසස්වින් ඇතුළු පිරිසක් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත්ව පෙනී සිටීම විශේෂත්වයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!