spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

පුවත්

විදෙස්

ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ දී ඊයේ (06) ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරඟයේ කල් වේලා ඇතිවම ඉඩක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 06ක් අතැතිව එය සපුරා ගත්හ.

ශ්‍රී ලංකාව ලැබූ මේ ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ අවදානමකට මුහුණ දී සිටයි. පකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට තවත් තරඟ දෙකක් බැගින් ඉතිරිව තිබෙන බැවින් ඔවුන්ට යමක් කළ හැකි වුව ද ඉන්දියාවට ඉතිරිව ඇත්තේ ඇෆ්ගනිස්තානය සමඟ තරඟය පමණි.

ඉන්දියාව ශුද්ධ ලකුණු වේගය අනුව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නම් ඉන්දියා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරඟය වැඩි පරතරයක් සහිතව ජයගත යුතු අතර පකිස්තානය ශ්‍රී ලංකාව හමුවේත් ඇෆ්ගනිස්තානය හමුවේත් පරාජය විය යුතුය. එවිට එම කණ්ඩායම් තුන අතරින් එක් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරඟයට මුහුණ දීමට සුදුසුකම් ලබයි.

අද  (07) පැවැත්වෙන පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් පකිස්තානය ජය ගැනීමට සමත්වුවහොත් අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙයි.

ආරම්භයේ සිටම යම් පාලනයකින් පන්දු යැවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ඉන්දීය ඉනිමේ අවසන් භාගයේ දී ඉන්දීය පිතිකරුවන් මෙල්ල කළ නවක ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංංකක සිය පන්දුවාර 04 දී ලකුණු 24ක් පමණක් දී කඩුලු 03ක් දවා ගැනීම ඉන්දීය පිතිකරුවන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට මඟ ඇහිරීමට සමත්විය.

ඉන්දීය පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 11කට සීමා කිරීමට මහීෂ් තීක්ෂ සමත්විය. ඉන් පසු පිටියට පිවිසියේ පිට පිටම අර්ධ ශතක 02ක් ලබා හොඳ රිද්මයක සිටි විරාත් කෝලි ය. ඔහු ලකුණු ලබාගැනීමටත් පෙර පිටියෙන් ඉවත්කිරීමට මධුශංක සමත්විය.  එසේ වුව ද ලකුණු 40ක් ලබා සිටිය දී ලබා දුන් අපහසු උඩ පන්දුවක් දසුන ශානකගේ අතේ වැදී බිම පතිතවීමෙන් ප්‍රයෝජන ගත් රෝහිත් ශර්මාගේ ඉනිම නිමාවන විට ඔහු පන්දු 41 ක දී ලකුණු 72ක් ලබා සිටියේ පසුව පැමිණෙන පිතිකරුවන්ට රිසි‍ සේ පහර දීමට අවශ්‍ය ඉඩ ඉතිරිකර තබමිනි.

රෝහිත් ශර්මා සහ සූර්යකුමාර් යාදව් අතර ගොඩනැගුණු සම්බන්ධතාව පන්දු 58ක දී ලකුණු 97ක් වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දියාව ලකුණු 200 ආසන්නයට පැමිණෙන බවට ඉඟි කරමිනි.

ඉන් පසු පන්දු යැවීම බාරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක අවශ්‍යම තිබූ කඩුල්ලක් වූ යාදව් දවා ගනිමින් නැවත ග්‍රහණය දැඩි කිරීමට පෙරමුණ ගත්තේය. හර්දික් පාණ්ඩ්‍යා ද ඔහුගේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් නිහඬ කරවමිනි. දීපක් හූඩා ද දසුන්ගේ පන්දුවකට ‍ෂෝර්ට් තර්ඩ්මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි ඩිල්ෂාන් මදුශංකට උඩ පන්දුවක් ලබා දුන්න ද එය දසුන් ශානක එකම පන්දුවාරයක දී යැවූ දෙවැනි බවුන්සර් පන්දුව බැවින් නිපන්දුවක් ලෙස සටහන් විය.  තෙවැනි විනිසුරුගේ සහායෙන් ලබාගත් එම තීන්දුවත් සමඟ ඉන්දියාව ෆ්‍රී හිට් අවස්ථාවක් ද ලැබිණි.

19 වැනි පන්දුවාරය යැවූ මධුශංක පළමු සහ තුන්වැනි පන්දුවල දී කඩුලු ‍02ක් දවා ගනිමින් එම පන්දුවාරය ලකුණු 04කට සීමා කළේය. ඉන්දීය ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේ දී ලකුණු 15ක් තුළ කඩුළු 04ක් දැවී යාම හේතුවෙන් ඔවුන්ට අපේක්ෂිත ඉලක්කයට යා ගත නොහැකි විය. ඉන්දීය ඉනිම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 173කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ඉන්දීය පන්දු යවන්නන්ට කිසිම අවස්ථාවක දී හිස එසවීමට අවස්ථාවක් දුන්නේ නැත. පළමු පන්දුවාරයට හිස පහත්කරගෙන මුහුණ දුන්න ද එතැන් සිට ‍ප්‍රහාරය දියත් කළ මෙම ක්‍රීඩකයන් දෙදෙනා අධිවේගී ඕවර 06 දී ලකුණු 57ක් රැස් කළේ සිය ඉනිම ආරක්ෂා කරගනිමිනි. ඉන් අනනතුරුව පන්දු 67ක දී ලකුණු පුවරුවේ 97 සටහන්ව තිබිය දී පැතුම් නිශ්ශංක 52කට දැවී ගියේය. ඒ වනවිටත් අවශ්‍ය ඉලක්කයෙන් අඩකටත් වඩා සම්පූර්ණ කර තිබූ අතර ආරම්භ පිතිකරුවා පන්දු 37ක දී හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමගින් ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය.

තුන්වැනි පිතිකරුවා ලෙස පිටියට පැමිණි චරිත් අසලංක යළිත් ආසාර්ථක වෙමින් තමන් මුහුණ දුන් තුන්වැනි පන්දුවේ දී ම ලකුණු නොලබා දැවී ගියේය. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස්ට එක් වූ ධනුෂ්ක ගුණතිලකට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත. තුන්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට පන්දු 07කට මුහුණ දී ලබා සිටියේ එක ලකුණක් පමණි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 110ක් විය. රවිිචන්ද්‍රන් අශ්වින් යැවූ 14 වැනි පන්දුවාරයේ 05 වැනි පන්දුවේ දී ඔහු දැවී ගිය පසු 15 වැනි පන්දු වාරයේ පළමු පන්දුවේ දී ම පන්දු 37කින් ලකුණු 57ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදින් දවා ගැනීමට යුෂ්වේනද්‍ර චෙහෙල් සමත්වූයේ ඔහුගේ තුන්වැනි කඩුල්ල ලෙසිනි. මේ සමඟ ඉන්දියාව වේගයෙන් තරඟයට යළිි අවතීර්ණ වෙමින් සිටියේය.  කිසිවෙකු නොදැවී ලකුණු 97ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 110ට කඩුලු 04ක් ලෙස වෙනස් වූයේ තරඟය වඩාත් තියුණු මුහුණුවරක් ගන්නා බව පෙන්වමිනි.

භානුක රාජපක්ෂ සහ දසුන් ශානක පිටියේ එක්විය. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 ක දී වේගවත් ලකුණු 64ක අඛණ්ඩ සබඳතාවක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කරන විට දසුන් ශානක පන්දු 18 ක දී හතරේ පහර 04ක් සහ හයේ පහර 01ක් සමඟ ලකුණු 33ක් ලබා සිටියේය. භානුක රාජපක්ෂ පන්දු 18ක දී හයේ පහර 02ක් සමගින් නොදැවී ලකුණු 25ක් ලබා ගැනීමට සමත්විය. ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 04ක් පමණක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය තහවරු කරගත්තේය.

මෙම තරඟයේ ජයග්‍රහණයේ අඩිතාලම වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් අතර පළමු කඩුල්ල සඳහා ඇති වූ ලකුණු 97ක සම්බන්ධතාව මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ පළමු කඩුල්ල සඳහා ඕනෑම කණ්ඩායමක් වාර්තා කළ හොඳම සම්බන්ධතාව ද විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!