spot_img
spot_imgspot_img

අරගලකරුවන්ට කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැසූ බව පොලිසිය පිළිගනී

පුවත්

විදෙස්

අරගලකරුවන් විසුරුවාහැරීම සඳහා එල්ල කරන ලද්දේ කල් ඉකුත්වූ කඳුළු ගෑස් බව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ කොමිසම හමුවේ ‍ඊයේ (01) පිළිගත්තේය.

ඔවුන් මේ බව පිළිගත්තේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ඉදිරිිපත් කරන ලද තොරතුරු අයදුම් පත්‍රයකට පොලිසිය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කරන ලද අභියාචනයක් කැඳවූ අවස්ථාවේ දී ය.

එම තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බව කියමින් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළේ කුමන පදනමකින් ද යන්න ලිඛිතව දැනුම් දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කළේය.

ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාලව වන තොරතුරු ඉල්ලීමක් ලෙස කර ඇති මෙවැනි තොරතුරු ඉල්ලීම්වලට පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව නඩු පැවරීමට පවා සිදුවනු ඇති බව කොමිෂන් සභාව අවධාරණය කළේය.

තරිඳු ජයවර්ධනගේ අභියාචනය විභාගයට ගත්තේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ නීතිඥ ජගත් ලියනආරච්චි ඉදිරියේදී ය.

අභියාචනය විභාගයට ගත් අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස් සැපයුම් කොට්ඨාසයේ, පොලිස් නීති කොට්ඨාසයේ සහ පොලිස් මානව හිමිකම් කොට්ඨාසයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේදී තොරතුරු පනතට අනුව පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ලිඛිතව දැනුම් දී තිබුණේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කල් ඉකුත් වූ කඳුළුගෑස් එල්ල කිරීම, එලෙස එල්ල කිරීමට වසර ලබාදුන්නේ කවුරුන්ද යන්න ආදී තොරතරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බැවින් මුදා හැරීමට නොහැකි බවයි.

එම තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කරන ලෙස කොමිසම පොලිසියට දැනුම් දුන්න ද ඒ බව තහවුරු කිරීමට පොලිසිය අපහොසත් විය.

එමෙන්ම 2010 වසරේ සිට 2022 දක්වා කඳුළුගෑස් මිල දී ගැනීමට අදාල ටෙනඩර් ලියවිලි ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අදාලව පොලිසිය ලිඛිතව ලබා දී තිබුණේ පොලිසිය වසර පහෙන් පහට නඩුවලට අදාල නැති ලේඛන විනාශ කරන්න නිසා එම තොරතුරු ලබා දිය නොහැකි බවයි. එම පිළිතුර සත්‍යයක් නම් ගෙවුණු වසර පහ තුළ කඳුළු ගෑස් මිලදී ගෙන නැති බව හැඟවෙන බවත්, එසේ නම් පොලිසිය එල්ල කර ඇත්තේ වසර පහකට පෙර මිලදී ගත් කල් ඉකුත් වූ කඳුළුගෑස් බව හැඟී යන බවත් අභියාචනය කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වූ අතර ඒ ගැන කොමිසම පොලිසියෙන් ප්‍රශ්න කළේය.

තොරතුරු පනත අනුව වසර 12ක් දක්වා වූ තොරතුරු ආරක්ෂා කළ යුතු බවත්, ඒ බව පොලිසියෙන්ම චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, එසේ තිබිය දී එම තොරතුරු විනාශ කළ බව පොලිසිය කියන්නේ නම් තොරතුරු පනත උල්ලංඝණය කිරීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවන බවත්, පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත්, ඊට අදාලව වසර දෙකක් දක්වා සිර දඬුවම් ලබාදීමට පනත අනුව හැකියාව ඇතිබවත් කොමිෂන් සභාව පොලිස් නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

ඒ අදාල තොරතුරුවලින් කොටසක් ලබාදීමට පොලිසිය එකඟ විය. සෙසු තොරතුරු සම්බන්ධයෙන් ලබන 10 වැනිදාට පෙර ලිඛිත කරුණු දැක්වීමක් කරන ලෙස පොලිසියට දැනුම් දුන් කොමිෂන් සභාව අභියාචනා විභාගය ලබන 14 වැනිදාට කල් තැබීය.

ශ්‍රී ලංකා පොලිසිය පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවනු ඇතැයි කොමිෂන් සභාව අවධාරණය කළේය.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!