spot_img
spot_imgspot_img

දරුවන් අපයෝජනය කළ දේවාල කපුවාගේ පැටිකිරිය. දරුවන් වෙනුවෙන් නොව සැකකරු වෙනුවෙන් ඉන්නා තරු පටි කාරයෝ ?

පුවත්

විදෙස්

යමක තීන්ත ගාමින් සිටින අවස්ථාවක දී තීන්ත වේලී නැතැයි කිවහොත් අපේ රටේ අය එය විශ්වාස කරන්නේ නැත. කියන්නේ ඇත්තක් දැයි දැනගැනීමට ඇගිල්ල උලා බලයි. නමුත් නොාපෙනෙන බලවේගයක් ඇතැයි කිවහොත් තමන්ගේ පමණක් නොව, තම වැඩිහිටියන්ගේත්, දරුවන්ගේත් ජීවිත ඊට කැපකරමින් ඒ සියල්ල අන්ධයන් මෙන් විශ්වාස කරන්නට අපේ රටේ ඇත්තෝ දක්වන්නේ අරුම පුදුම කැමැත්තකි.

මේ නිසාම තමන්ට ආරූඪයක් ඇතැයි ද දේව වරමක් ඇතැයි ද පවසමින් නානා ප්‍රකාර විකාර කරන ඕනෑම අයකුට මේ රටේ පහසුවෙක් කෝටිපතියකු වීමටත්, රටම රවටා ඕනෑම දුරාචාරයක යෙදීමටත් හැකියාව තිබේ.

මේවාට උල් පන්දම් දෙන්නේ ද ආගමික නායකයන්, දේශපාලන නායකයන්, කෝටිපති ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ විශේෂයෙන් ම පොලිස් නිලධාරීන්ය.

කිසිදු විචාර බුද්ධියක් නැති අවම වශයෙන් පොඩි දරුවකු දන්නා විද්‍යාව හෝ අබමල් රේණුවක තරම්වත් නොදන්නා මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පිරිසක් ද මේවාට දැවැන්ත ප්‍රචාරයක් දෙති. මේ නිසාම සමාජය ප්‍රගමනය වෙනුවට පසුගාමීත්වයට ගමන් කිරීම නොවැළැක්විය හැකි කරුණක් වී ඇත.

මෙහි නවතම කූඨ ප්‍රාප්තිය වාර්තා වූයේ ගාල්ලේ උණවටුනේ මැටරඹ ප්‍රදේශයෙනි.

වසර කිහිපයකට පෙර සිය පියාගේ වරමක් ලැබී ඇතැයි පවසමින් දේවාලයක් අටවාගත් කීර්ති කුමාර බටේගොඩ ඉතා ඉක්මණින් කෝටිපතියකු වූවා පමණක් නොව දැවැන් ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් පොලිසියේ සහ පුද්ගලික ආරක්ෂකයන්ගේ ද රැකවරණ මැද ජීවත්වන්නට විය. ඔහුගේ දැනන උගත් කම ගැන අප කිසිවක් දන්නේ නැත. නමුත් ගාල්ලේ ප්‍රකට පාසලක ඉගෙන ගත් ඔහු පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් දෙයක් නැති බව ඔහුගේ සමකාලීනයෝ කියති.

මැටරඹ සතර දේවාලය නමින් මිත්‍යාව වපුරන හොර තිප්පලක් අටවාගත් ඔහු එහි ප්‍රධාන කපුවා වූයේය. ඔහු පසුපස දස දහස් ගණන් පිරිස් යන්නට වූහ. අවසානයේ ඔහු කෝටිපතියකු වූයේ අධි සුඛෝපභෝගී වාහන, නිවාස ඉඩකඩම් රැසකට හිමිකම් කියමිනි. අත දිගහැර දරුවන්ටත්, දුප්පත් මිනිසුන්ටත්, ගමේ පන්සලටත්, පොලිස් නිලධාරීන්ටත් වියදම් කළ ඔහු බොහෝ දෙනකු දුටුවේ දෙවියකු ලෙසිනි.

ආරූඪයෙන් සාස්තර කියන මොහුගේ බොරුව ගැන වරක් ඔහුගේ හිතවතකුගේ අතටම මාට්ටු වූ ආකාරය එම හිතවතා විසින් ම මේ ලේඛකයාට කීවේ මේ ආකාරයෙනි.

“මගේ නෝනාගේ යාලුවෙකුට වුමනාවට දවසක් මගේ නෝනත් ඒ මිතුරියත් දවසක් මෙයාගේ දේවාලයට ගියා. මමත් මේ අය එක්ක ගියා. හැබැයි එයාලා දෙන්නා ඇතුලට ගියාට මම ගියේ නෑ. කීර්ති ආරූඪයකින් ආශිර්වාද කරනවා කියලා තමයි වැඩ ටික කරගෙන ගියේ. මෙයා දැන් යාතිකා කරනවා. මගේ නෝනත් එයාගේ යාලුවත් වැඳගෙන ඉන්නවා. මම එයාලත් එක්ක ආපු බව දැක්ක අතවැසියෙක් මාවත් ඇතුළට යැව්වා. කීර්ති මාව දැක්කා විතරයි. “ආ…….. මචං කොහොමද ? උඹ කවදද රට ඉදලා ආවේ” කියලා ඇහුවා. එතකොට එයාගේ ආරූඪය බොරුවක් බව මට නම් තේරුණා. ඒත් අර අපේ මිතුරිය එයාව විශ්වාස කරනවා.”

තනි තනි පුද්ගලයන් වශයෙන් මේ කරුණු ඇතැම් අය දැන සිටිය ද මේ ‍කපුවාගේ කෙරුවාව අනාවරණය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ළමා අපචාර කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගැනීමත් සමගිනි.

අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් අත්අඩංගුවට ගන්නාතුරු ඔහුට වැහී සිටිනවා යැයි කියන මල පෙරේතයාට හො ඔහුට ආශිර්වාද සපයනවායැයි කියන සතර වරම් දෙවිවරුන් යැයි කියන නාමධාරී මිත්‍යා විශ්වාසයන්ට ඔහුට සිදුවන ඇබැද්දිය ගැන කියන්නට නොහැකිවීමෙන් ම කී‍ර්ති බටගොඩ ගෙනගිය බොරුවේ තරම තේරුම්ගත යුතුය.

ඔහු ළමයින් අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ බවත් ඔහු සිදුකළ දුරාචාරත් පිළිබඳ දැනගත් ගමේ තරුණයෝ උගතුන්, නැණවතුන්ට තෝ තැන්නක් වූ උණවටුනේ මැටරඹ ගම්මානයට සිදුවූ අපකීර්තිය ගැන උරණ වූහ. ඒ නිසාම තරුණයන් මේ දේවාලය විනාශ කිරීමට සැළසුම් සකස් කළ ද ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ එය වළක්වා තිබේ

අපට එම උත්සාහයේ වරදක් දකින්නේ නැත. මිනිසුන් රවටමින් උපයාගත් දේපොළ ගිනිතබා කුඩුකර දමා විනාශ කිරීම නොකළ යුතු දෙයකි. උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි යම් දේපළක් ඇත්නම් එය නීතිමය ක්‍රියාදාමයක් තුළින් රාජ සන්තක විය යුතුය. එබැවින් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගත් ක්‍රියාමාර්ගය නිවැරදිය. නමුත් හාමුදුරුවන් ද මේ දේවාලයේ ගැතියකු වී ඇත්නම් එය බරපතල ගැටලුවක් විය යුතුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ කපුවා අත්අඩංගුවට ගත්තේ පැමිණිල්ලක් ලැබුණු පසු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව බවයි. ඒ සඳහා සති කිහිපයක් කත කළ බව ද ප්‍රසිද්ධ පාසල් කිහිපයක දරුවන් ඔහුට ගොදුරක් වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඒවායේ සාක්ෂි සොයා තහවුරු කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව ද පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන් පවසයි.

ඔහු බාලවයස්කාර පිරිමි දරුවන් 20කට වැඩි පිරිසක් ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගනිමින් එම දරුවන් බරපතල අපයෝජනයක් සිදුකර තිබේ. ඒ දරුවන් අතරින් 09 දෙනකුගේ වීඩියෝ සාක්ෂි සහ වෙනත් සාක්ෂි තහවුරු කරගැනීමෙන් අනතුරුව කපුවා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

ගාල්ලේ මැටරඹ වාර්ෂික පෙරහැරක් සංවිධානය කරමින් තරුණ සහ පාසල් සිසු සිසුවියන් තමන් සමීපයට ගන්නා මේ කාමතුර කපුවා ඔවුන් රවට තම අවශ්‍යතා ඉටුකරගෙන ඇත. ඔහු සමඟ සම්බන්ධ වන දරුවන්ට නවීන පාපැදි, දුරකථන, ටැබ් යන්ත්‍ර පමණක් නොව දහස් ගණනින් මුදල් ත්‍යාග ද පිරිනමා තිබේ මේ පඬුරු පාක්කුඩම්වලට රැවටී ඇත්තේ ගාල්ලේ දරුවන් පමණක් නොවේ. පිටපළාත්වලට ගොස් රටපුරා බෞද්ධ විහරස්ථාන කේන්ද්‍රකරගනිමින් ඔහු සිදුකරන සමාජ සත්කාර කාර්යයන්ට සම්බන්ධවන දරුවන් මෙලෙස බිළිගෙන ඇත.

ඔහු කර ඇත්තේ දරුවන් බිළිගැනීම විනා සමාජ සත්කාරයක් නොවේ. ඕනෑම දේවාල කපුවකු පැමිණි විට බුදු දහමේ ඉගැන්වීම් පවා අමකර කර ඔවුන්ගේ මුදලට, යාන වාහනවලට රැවටෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද තම ගම්වල ජීවත්වන අසරණ අහිංසක දරුවෝ මේ කපුවාගේ බිල්ලක් වන බව නොදන්නට ඇත. නමුත් මෙවැනි කාමතුරයන්ට ඉඩ ප්‍රස්ථා සැපයීමෙන් ඔවුන් කර ඇත්තේද බරපතල වරදකි.

දේවාලයක් මුවාවෙන් මැටරඹ කීර්ති කුමාර කරන්නේ ජාවාරමක් බව ගමේ බොහෝ දෙනකු දැන සිටියහ. නමුත් ගමේ පොදු කටයුතුවල දී අතදිගහැර වියදම් කරන. පොලිස් නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට වියදම් කරන, ගමේ පන්සලේ ඕනෑම කටයුත්තකට ලක්ෂ ගණනින් මුදල් දෙන කීර්ති කුමාර බටගොඩ ප්‍රභූ තත්වයෙන් ඔසවා තැබීමට ඔහු වටා සිටි පිරිස් සමත්වූහ. ඒ නිසාම ඔහු ගැන දැන සිටි අයට ද ඔහුට එරෙහිවන්නට ශක්තියක් තිබුණේ නැත.

සිංහල හින්දු අලුත් අවුරුද්දට මුළු ගමටම බඩු මළු බෙදන කපුවා වෙසක් ‍උත්සවය වෙනුවෙන් වෙසක් කලාපයක් ම සංවිධානය කරයි. වාර්ෂික පෙරහැර පවත්වන්නේ ද කෝටි ගණනක් මුදල් වියදම් කරමිනි.

කීර්ති කුමාරගේ කෙරුවාවට පොලිසියෙන් ලැබී ඇත්තේ අපූරු සහයෝගයකි. පොලිසිය ඔහුගේ දේවාලය අසළට නිතරම නිලධාරීන් එවයි. ඔවුන්ට පඬුරු පාක්කුඩම් ලැබන අතර දෙසැම්බර් 31 වැනි දා ට මෙන්ම අවුරුදු උත්සවයට ද මේ කපුවාගෙන් පොලිසි කිහිපයක නිලධාාරීන් බඩු මළු ලැබෙයි. එපමණක් නොව ඉහළ පොලිස් නිලධාරීන්ගේ විවිධ අවශ්‍යතා වෙනුනේ මුදල් පරිත්‍යාග ද ලැබෙයි. එපමණක් නොව ගාල්ලේ එක්තරා පොලිස් ලොක්කෙකුට අධි සුඛෝපභෝගී රථයක් පරිහරණය සඳහා ලබා දීමට ද මේ කීර්ති කුමාර බටගොඩ කපුවා කටයුතු කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ හොර කපුවා කුදලාගෙන ගොස් කූඩු කළ විට විස්සෝප වූ ඒ පොලිස් ලොක්කා පරීක්ෂණ කරන නිලධාරීන්ට සය වතාවක් බලපෑම් කර තිබිණි. අධිකරණයේ දී ඇප ලැබෙන ලෙස වාර්තා සකස් කරන ලෙස ද ඉල්ලීම් කර තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කරන තුරු කූඩු නොකර මාංචු නොදම වාහනයක් ඇතුළේ රඳවන ලෙස ද ඉල්ලා තිබිණි. මේ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර අප දන්නා පරිදි ඒ සම්බන්දයෙන් දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ විසින් විශේෂ පරීක්ෂණ ද ආරම්භ කර තිබේ.

චැනල් වන් නාලිකාවෙන් සහ ස්වර්ණවාහිනී නාලිකාවෙන් සිය මිත්‍යාව ජනතාව අතරට සමාජ ගත කළ කීර්ති කුමාර එම නාලිකාවලින් තමන්ට නොමිළයේ ලැබෙන ගුවන් කාලයට අමතරව මුදල් ගෙවා ගුවන් කාලයකත් ලබාගෙන වැඩසටන් ඉදිරිපත් කළේය. මීට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ ද දැවැන්ත ප්‍රචාරයක් ගෙන යාමට ඔහු සමත්ව සිටියේය. මේ සියල්ලෙන් ඔහු තමන්ගේ බොරුවට වංචාවර තව තවත් මිනිසුන් හසුකර ගත්හ. කිසිදු විචාර බුද්ධියක් නැතිව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සෑම දෙයක් පසුපසම වැටෙන ශ්‍රී ලංකා ජන සමාජය ඔහු වටා ගොනු වීම පුදුමයක් නොවේ.

සිකුරාදා සහ අඟහරුවාදා දිනවල ඔහුගේ හොර දේවාලයේ විශේෂ පුද පූජා වැඩසටහන් ආදිය පවත්වන ලදී. අණවින කොඩිවින පමණක් නොව, දේව පූජාද පවත්වයි. කිසිවෙකුට පූජා භාණ්ඩ පිටින් ගෙන එන්නට බැරිය. ඒවා මිලදී ගත යුත්තේ එතැනින්මය. ඔහුගේ පවුලේල අය ම මේ ව්‍යාපාරය කරයි. ඉතාමත් අනර්ඝ ලෙස පෙනෙන පළතුරුවලින් පූජා වට්ටිය සකසා ඒවා දහස් ගණනකට අළෙවි වෙයි. කීර්ති අතට ඒ පූජාවට්ටිය පත්වූ පසු වෙනත් මාර්ගයකින් එය නි‍වසේ ඉහළ මහළට යැවෙයි. එතැන දී එම පළතුරු තවත් වට්ටියක දමා නැවත පහළට එවයි. මේ ආකාරයට පළතුරු තොගය පූජා වට්ටි රැසක තබා මුදල් ගැරීම කිර්ති බටගොඩගේ පවුලේ අය විසින් ම සිදුකරයි.

දරුවන් රැසක් බිළිගත් මේ කාමතුරයාට රැවටෙන් අන්ධ භක්තිකයෝ වන්දනා නමස්කාර කරති. නමුත් ඔවුන් තමන්ගේ දරුවන්ටත් එවැනිම අන් දරුවන්ටත් මොහු කරන හදිය දන්නේ නැත. ඔවුන් ඔහුගේ ප්‍රතිරූපයට රැව‍ටී සටියි.

අඟහරුවාදා සහ ‍සිකුරාදා දිනවල දී ගාල්ලේ බැංකුවකින් විශේෂ ආරක්ෂාවක් සහිතව වාහනක් එවා එ් දිනවල දේවාලයේ එකතුවන මුදල් රැගෙන යයි. බැංකුවත් මේ හොර කපුවට සැළකුම් කරන්නේ ඒ ආකාරයෙනි. ඒ දිනවල දී පොලිසියේ කොස්තාපල්වරයාගේ සිට ඉහළ නිලධාරීන් රැසක් දේවාලයට පැමිණෙයි.

පොලීසියේ උදවිය පමණක් නොව තරු පළඳින හමුදා නිලධාරීන්ද මෙහි නිතර එන යන අනුගාමිකයන් වෙයි.  පාතාල අපරාධකරුවන් කිහිප දෙනකු ද කීර්ති සොයා පැමිණ වෙඩි නොවදින සුර සාදා ගත් බවත්, නමුත් ඔවුන් වෙඩි කා මියගිය බවත් ප්‍රදේශයේ ප්‍රකට කතාවකි. ඒ පාතාල නායකයන් නැවත කීර්ති සොයා විත් අපිව රැවටුවායැයි කීර්තිට වෙඩි තියන්නේ නැති බැවින් කීර්තිට ගැටලුවක් නැත. එවැනි බොරු සුරයක් වෙනුවෙන් කීර්ති ලක්ෂ ගණනක් අයකරන බවනම් තතු දන්නෝ කියති. ඒ ගණන ලක්ෂ 40ක් පමණ වෙයි.

කීර්තිගේ මේ ළමා අපචාර අනාවරණය වී ඇත්තේ අද ඊයේ නොවේ. ඔහුට ගොදුරු වූ දෙවැනි දරුවාගෙන් ම මෙය අනාවරණය වි ඇත. ඔහුගේ පියා ඒ ගැන පොලිසියට පැමිණිලි කළ විට පොලිස් ලොක්කෝ නීතිය ක්‍රියාත්මක කළේ නැත. සියලු තොරතුරු කීර්තිට පවසා ඒ දරුවාගේ පියාට මුදල් දිගුකර සිද්ධිය යටගසා ගෙන තිබිණි.

එදා කීර්ති බේරාගැනීමට කටයුතු කළ පොලිස් ලොක්කන් ගැන ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පිරිමි දරුවන් අපයෝජනය කළ මේ කපුවාගේ පළමු කසාදය අතරමග නැවතී තිබිණි. ඔහු අත්අඩංගුවට ගන්නා විට නිවසේ සිටියේ ඔහුගේ දෙවැනි බිරිඳයි. මේ කපුවා අත්අඩංගුවට පත්වීමටත් පෙර පටන්ම ඔහුගේ මේ අපරාධ ගැන බිරිඳට ඉව වැටී තිබෙන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය කරයි. ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ පිරිමි දරුවන් සමඟ එකට සිටින දර්ශන බිරිඳ දුටු පසු කීර්ති විසින්ම ඒවා මකා දමා ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ කීර්ති කුමාර බටේගොඩ සතු වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 100 ඉක්මවන බවයි. ඒ බැංකුවේ ඇති මුදල්වලට අමතරවය. ඔහුගේ සිරුරේ පැළඳ සිටි රන් භාණ්ඩ පමණක් රුපියල් කෝටියකට අධික වටිනාකමක් සහිත බව ද අනාවරණය වී තිබේ.

ඔහුගේ හිතවත්, ඔහු ආරක්ෂා කිරීමට කටයුතු කළ පොලිස් ලොක්කාට දී තිබූ සුඛෝපභෝගී රථයට අමතරව ‍ඩිෆෙන්ඩර් රථ දෙකක්, ප්‍රාඩෝ රථයක්, බීඑම්ඩබ්ලිව් රථ දෙකක්, පමණක් නොව ඇඳන්, නානකාමර සහිත නිවසක් ලෙස සැකසූ අධි සුඛෝපභෝගී බස් රථයක් ද ඔහු සතුව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව පවසන්නේ එම බස්රථය තුළ දී ද දරුවන් අපයෝජනයට ලක්කර ඇති බවයි.

මැටරඹ සිය පියාගෙන් උරුම වූ ඉඩමක ගොඩනගා ඇති නිවස සහ දේවාලයට අමතරව අතුරුගිරියේ සුවිසල් වත්තක් මැද පිහටි දැවැන්ත මන්දිරයක් ඔහු සතුය. ඊට අමතරව තවත් නවීන නිවාස දෙකක් කොළඹ ස්ථාන දෙකක ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර ඔහු කළු සල්ලි සුදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නට ඇතැයි ද හෙළි නොවූ තවත් දේපළ ඔහු සතුව ඇතැයි ද මේ සම්බන්ධ විමර්ශන කරන කණ්ඩායමේ විශ්වාසයයි. එබැවින් කීර්ති කුමාර බටේගොඩ සතුව ඇති මේ මහා ධනස්කන්ධය උපයාගත් ආකාරය පිළිබඳ දැන් තවත් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ

නමුත් මේ විමර්ශන සඳහා බාධා කිරීම් අපමණය. දේශපාලකයෝ ද, පොලිස් නිලධාරීන් ද, රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ආගමික නායකයෝ ද අගතියට පත් දරුවන් වෙනුවෙන් නොව දරුවන් අපයෝජනයට ලක්කළ මේ කපුවා වෙනුවෙන් පෙනී සිටිති.

පසුගිය දා මේ දරුවන්‍ගේ දෙමාපියන් හමු වී ඇදහිය නොහැකි තරම් විශාල මුදල් ත්‍යාග ලබා දී සාක්ෂිවලින් දරුවන් ඉවත්කරවීමේ ව්‍යාපාරයක් ද දියත් වූ බව අනාවරණය විය.

දරුවන්ට ඇත්තේ නීතියේ රැකවරණය ම පමණි.

අපරාධයේ සැකකරුවා වෙනුවෙන් පෙනී සිටින්නට නම් ඕනෑ තරම් පිරිස් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!