spot_img
spot_imgspot_img

සංචාරක වීසා මගින් රට රැකියා සඳහා යවන මිනිස් ජාවාරමේ ආදීනව ඇමති මනුෂ කියයි

පුවත්

විදෙස්

සංචාරක වීසා  හරහා රැකියා සදහා ශ්‍රමිකයින් විදේශ රටවලට පිටත්කර යවන මිනිස් ජාවාරම්කරුවන්ට  එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

සංචාරක වීසා මුවාවෙන් මිනිස් ජාවාරම් කරන මාෆියාකරුවන්ට දැඩි ව නීතිය ක්‍රියාත්මක කරනවා

ඔහු මේ බව කියා සිටියේ අද (17) කොළඹ පැවැති සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාව සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ආගමන විගමන පාලක සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් ද සහභාගී විය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොමැති ආයතන සහ පුද්ගලයන් මෙලෙස මිනිස් ජාවාරමේ යෙදී සිටින බවත්, විදේශ සමාගමක නිසි රැකියා ගිවිසුමක් රහිත ව හෝ ලියාපදිංචි නොමැති කිසිදු පාර්ශ්වයක් හරහා හෝ රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත විදෙස්ගත නොවන ලෙස මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

සංචාරක වීසා මත විදෙස්ගත වී එම රටවල දී රැකියා සොයා ගැනීමට කටයුතු කරන අය බරපතල හිංසා පීඩාවලට ලක්වන බවට අනාවරණය වී තිබේ. ඔවුන්ගේ ජීවිත පවා අවදානම් බවත් ඇතැම් විට සිරගතවිමට පවා සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන් ම මෙය රටේ කීර්ති නාමයට ද බරපතල හානියක් බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කීවේය.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

‘මේ අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකළ සමාගම් සහ පුද්ගලයන්ගේ පොරොන්දු විශ්වාස කරලා විදෙස් සමාගම්වලින් නිසි ගිවිසුමක් හෝ දැනුවත් කිරීමක් හෝ නැති ව, බොහෝ තරුණ තරුණියන් සංචාරක විසා මගින් විදේශගත වෙනවා. එහෙම රස්සාවක් නොලැබෙන, රස්තියාදු වෙන, මුදල් වියදම් වෙන, මාෆියාවලට, ජවාරාම්කාරයන්ට අහුවෙන අවස්ථා දකිනවා. විශේෂයෙන් ම කාන්තාවන් එහෙම ගියාම හිංසාවන්ට ලක්වන බවට අපට වාර්තා වෙමින් තියෙනවා. රටක් විදියටත්, රටේ කීර්ති නාමයටත් මේක බරපතල ප්‍රශ්නයක්. මේ සියල්ල මිනිස් ජාවාරමක කොටස් විදියට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සංචාරක වීසා මගින් රැකියා සදහා විදේශ ගතවීම වැලැක්වීමට, නොයෙක් වංචාකරුවන්ට රැවටෙන එක වැලැක්වීමට අපි ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉදිරි දින කිහිපය තුළ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම් ආරම්භ කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!