spot_img
spot_imgspot_img

පාසල්, පන්සල්, පල්ලි ජනතාව මරණ මංචකයට දක්කන හැටි

පුවත්

විදෙස්

ඝෝෂාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර සහ රථවාහන හෝන් ශබ්දය සියලු ජනතාවට අහිතකර බවත්, එය රෝගාබාධ රැසකට හේතුවන බවත් විශේෂඥ හෘද රෝග වෛද්‍ය ඩී.පී.අතුකෝරළ පවසයි.

ඝෝෂාකාරී ශබ්දයට දවසේ විනාඩි කිහිපයක් වුව ද ගොදුරු වන්නේ නම්, ශබ්දය නිසා ඇතිවන බිහිරි බවට (Noise Induced Deafness හෝ Acoustic Truma) ගොදුරු වීමට ඉඩ තිබේ.

ශබ්දය වාතය හරහා ගමන් කිරීමේදී ඊට වායු අංශු ද සම්බන්ධ වන අතර වායු අංශු චලනය වෙමින් යම් තැනකට පීඩනයක් ද ඇති කරයි. අධික ශබ්දයක් වේ නම් එය මිනිසුන්ගේ යහපත් සෞඛ්‍යයට හොඳ නැත.

එතරම් විශාල ශබ්දයකට යම් පුද්ගලයෙක් මුහුණ දුන්නේ නම් පළමුවෙන් තාවකාලික බිහිරි බව ඇති වේ. ස්ථිර බිහිරි බව ඇති වන්නේ වැඩි තීව්‍රතාව ඇති ශබ්දයට කීපවරක් නිරාවරණය වීමෙන් පසුවය. මෙවිට කනේ ස්නායුවලට හානි වීමත්. කනේ ඇති කෝටි අවයවය නම් විශේෂ සංවේදී ප්‍රදේශයට හානි වීමත් සිදුවන අතර එය බිහිරි බවට පාර කපයි.

ඩෙසිබල් අනුවක තීව්‍රතා වයට වඩා වැඩි ශබ්දයට බොහෝ පුද්ගලයින් නිරාවරණය වන්නේ ඔවුන්ගේ වැඩ පොළ වලදීය හමුදා භටයින්ටත් මේ අත්දැකීමට මුහුණ පාන්නට සිදුවේ.

නිතරම වැඩි තීව්‍රතාවක් ඇති ශබ්දය උපදින්නේ නැති තැන්වලදී යම් යම් කාරණා නිසා ශබ්දය උපන් විට එතැන සිටින්නන්ගේ සෞඛ්‍යයට එය බරපතල හානි ඇතිකරයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියලු පාසල්වල උදෑසන වැඩසටහන්, සීනුව නාද කිරීම, මුස්ලිම් දේවස්ථානවල ආගම ඇදහීම සඳහා දිනකට වාර කිහිපයක් සිය ආගමිකයන් කැඳවීම, බෞද්ධ විහාරස්ථානවල දිනපතා පිරිත් සජ්ජායනය කරන්නේ ලවුඩ්ස්පීකර භාවිතා කරමිනි.

ශබ්දයේ තීව්‍රතාව මනිනු ලබන්නේ වායු කම්පනය සිදුවන ආකාරය අනුව ඩෙසිබල් නමැති ඒකකයකිනි. සාමාන්‍ය නිර්දේශය වන්නේ කිසිම ස්ථානයක ඩෙසිබල් 60 ඉක්මවූ ශබ්දයක් නොතිබිය යුතු බවයි. ඩෙසිබල් 90 ශබ්දයකට සුළු මොහ‍ොතකට හෝ නිරාවරණය වීම බිහිරි බව ඇතුළු රෝගාබාධ රැසකට හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ කර ඇත. එසේ වුව ද පන්සල්, පල්ලි සහ පාසල්වල භාවිතා කරන ලවුඩ්ස්පීකරයකින් නිකුත් කරන ශබ්දය ඩෙසිබල් 120ක් පමණ වේ. එනම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කලාතුරකින් හෝ දැරිය හැකි ශබ්දයේ තීව්‍රතාව මෙන් දෙගුණයක් ඔවුන් විකාශය කරනු ලබයි. එමගින් බරපතල හානි ඇති වේ. බිහිරිබව පමණක් නොව තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු ඇතිකරයි.

දිනකට විනාඩි කිහිපයක් ‍හෝ මෙවැනි ශබ්දයකට නිරාවරණය වන දරුවන් පොත්පත් කියවීමට නැඹුරුවන්නේ අඩුවෙන් බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මේ වැඩි තීව්‍රතාවයකින් යුතු ශබ්ද නිසා දරුවන් පමණක් නොව වැඩිහිටියන්ටත් මානසික රෝග වැළ‍ෙඳෙන බව ද මේ වනවිට පර්යේෂණවලින් තහවුරු වී තිබේ.  පර්යේෂකයින් සොයා

දැන් අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරන්නේ දරුවන් පොත්පතින් ඈත් කරවන වැඩකි. සෑම දිනකම උදෑසන පාසල ආරම්භවීමට පෙර පැයක පමණ කාලයක්, පිරිත්, ගීත හා ජාතික ගීය වැනි වැඩසටන් ද ආගමික වතාවත් ද ඩෙසිබල් 120ක තීව්‍රතාවකින් යුතු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් විසුරුවා හරියි. ඉන් පසු පාසල පැවැත්වෙන සම්පූර්ණ කාලයේ දී ම වරින් වර පාසලේ කාල පරිච්ඡේද සඳහා සීනුව නාද කරන්නේ ද මේ ලව්ඩුස්පීකර් වලිනි. ජාත්‍යන්තර පර්යේෂකයන් පෙන්වාදෙන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය අධික ශබ්දය විකාශය කිරීමෙන් දරුවන්ගේ කියවීමෙන් ඈත් කරයි. පන්සල්, පල්ලි ඇතුළු සියලු ආගමකි මධ්‍යස්ථාන ද ගම පුරා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් සිය ආගමික ප්‍රචාරය කරමින් සමස්ත ජනතාවටත් අවට ජීවත්වන දරුවන්ටත් දැඩි විනාශයක් සිදුකරයි.

ශ්‍රී ලංකාවේ නිවෙස්වල පවත්වන සාදවලදීත්, සංගීත සංදර්ශනවලදීත්, භාවිතා කරන ශබ්දයේ තීව්‍රතාව ඒ අසළ සිටින අයට කොතරම් හානිදායක ද යන්න කිවයුතු නැත.

මහමග යන වෙළෙඳුන් ද, ත්‍රිරෝද රථවල දී ද විශේෂයෙන්ම පෞද්ගලික බස් රථවලදී ද ශබ්දය පාවිච්චි කරන්නේ ද සෞඛ්‍ය සම්පන්න සීමාව ඉක්මවා යමිනි. පුද්ගලික බස් රථයකට ගොඩවන කෙනෙකුට හිසරදයෙන් පෙළෙමින් බසයෙන් බැස යන්නටත්, ත්‍රිරෝද රථයකට නැගී යන රෝගියෙකුට තම රෝගය උග්‍ර කරගෙන ඉන් බැස යන්නටත් සිදුව තිබේ. ඒ ශබ්ද දූෂණය පාලනය කරන්නට දැඩි ක්‍රියාමාර්ග අප රටේදී නොගන්නා නිසාය. අඩුම තරමින් මහමග යන ලොතරැයි වෙළෙන්ඳකුගේ ස්පීකරයේ ශබ්දය වුවත් ඩෙසිබල් 100ට වැඩි බව ස්ථිරය

මෙවැනි ශබ්ද නිසා රෝගීවන පුද්ගලයන් ගැන හොඳින් ම දන්නේත් ඒ පිළිබඳ වැටහීමක් ඇත්තේත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ටය. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස අපට ද ඒ පිළිබඳ අත්දැකීම් තිබේ.

අධික ශබ්දයට විනාඩි කිහිපයක් හෝ නිරාවරණය වීමෙන් හෘද රෝග උත්සන්න වූ අය ගැන මට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. ඒ අනුව බැලූ විට මේ අය රෝගී වන්නේත්, මිය යන්නේත් මිනිසුන්ගේ ම වරදක් හේතුවෙනි. වළක්වාගත හැකිව තිබූ මරණයක් සිදුවෙයි. තම ආගමික ප්‍රචාරයන්, අනවශ්‍ය ලෙස ශබ්දය විකාශය කිරීම නිසා බොහෝ දෙනකු රෝගීන් බවට පත්වන අතරම අකාලයේ මිය යාම ද සිදුවෙයි. මේ හැම දෙයක්ම වෙදකම් කිරීමකින් තොරවම වළක්වා ගන්නට පුළුවන් ඒවා බව තේරුම්යත්ම එම සිදුවීම් කෙතරම් ඛේදජනක

අප හැම දෙනා ඒ ගැන. කල්පනා කිරීමට ශබ්ද දූෂණය නිසා සමාජයට වන අනර්ථය වළක්වා ගන්නට හොඳ ආරම්භයකි.

වෙළෙඳාම. විනෝදය හා ආගමික කටයුතු වෙනුවෙන් කෙරෙන මෙවැනි ශබ්ද දූෂණ යකට වගේම ඉන් සිදුවන සෞඛ්‍ය හානියට ඇමෙරිකාව, එක්සත් රාජධානිය වැනි රටවලදී කිසිම ඉඩක් නැත. අපේ රටේ මෙන් නොව ඒ රටවලදී කෙතරම් වැදගත් උත්සවයකදීවත් මහා ජනයාට හානි වන තරම් තීව්‍රතාවයකින් ශබ්දය යොදාගන්නට ඉඩ නොදේ. එය නීතියෙන් තහනම්ය.

ශ්‍රී ලංකාවේ ද ඒ සම්බන්ධ නීති අණ පනත් කොතෙකුත් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවක් ද තිබේ. නමුත් ඒවා ක්‍රියාත්මක කළ යුතු ආයතන ඒ ගැන කිසිසේත්ම තැකීමක් කරන්නේ නැත.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ද දරුවන් රෝගී කරන ශබ්ද විකාශන යන්ත්‍ර දිනපතා පැය ගණනක් භාවිතා කරයි. අධ්‍යාපන බලධාරීන් ඒ ගැන තැකීමක් නැත. බෞද්ධ විහාරස්ථානවල ද ජනතාවට සෙත් ශාන්තියක් වන්නට යැයි කියා පැය ගණන් ගමට ඇසෙන්න පිරිත් විකාශය කරයි. එයින් ජනතාවට සිදුවන සෙතක් නැත. සිදුවන්නේ හානියක් විනාශයක් පමණි. මුස්ලිම් පල්ලි ද දිනපතා අවස්ථා කිහිපයක් ම කිලෝ මීටර ගණනක් දුරට ඇසෙන්නට මහා ශබ්දයෙන් ආගම ප්‍රචාරය කරන්නේ අසල්වාසී සැවොම රෝගීන් බවට පත්කරවමිනි. කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ද ලව්ඩ්ස්පීකර් යොදා ගීතිකාකීම සහ පූජා පැවැත්වීම දැන් මෝස්තරයක් බවට පත්වෙමින් තිබේ. හින්දු පූජාවලදී ද වර්තමානයේ ලවුඩස්පීකර් භාවිතා කරන අයුරු දක්නට ලැබෙයි.

මෙය වහාම නැවැත්විය යුතු දෙයකි.

විශේෂඥ හෘද රෝග වෛද්‍ය ඩී.පී.අතුකෝරළ පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!