spot_img
spot_imgspot_img

ත්‍රිකුණාමලයේ නම රන්දා, ගාල්ලේ දී අවසන් ගමන් ගිය මාධ්‍යවේදී ගාල්ලගේ

පුවත්

විදෙස්

අභාවප්‍රාප්ත ආනන්ද සරත් ගාල්ලගේ මාධ්‍යවේදියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගියදා ගාල්ල, දොඩන්දූව, කුමාරකන්ද ආදාහනාගාරයේදී සිදු කෙරිණි..

ත්‍රීකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දශක ගණනාවක සිට මාධ්‍යකරණයේ නිරතව සිටි ගාල්ලගේ රාවය, යුක්තිය, ලක්දිව, හිරු යන විකල්ප පුවත්පත්වලට සහ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයට (BBC) ප්‍රවෘත්ති සහ විශේෂාංග සැපයූ මාධ්‍යවේදියෙකි.

90 දශකයේ මුල්කාලයේ ජනතා අරමුදල් එකතු කරමින් පුවත් පතක් (හිරු) ආරම්භ කිරීමට ත්‍රීකුණාමලයේ ප්‍රදේශයේ දී ඔහු නායකත්වය ගෙන ක්‍රියාකළේය.

අගනුවර ඇතුළු රටපුරා මාධ්‍යවේදීන් සමග සමීප සබඳතාවක් පැවැත්වූ සහෝදර මාධ්‍යවේදියෙකුවූ ගාල්ලගේ යුද්ධය පැවැති වකවානුවේ ඒ පිළිබඳව මාධ්‍යවලට තොරතුරු වාර්තා කිරීම සඳහා නැගෙනහිරට ගිය මාධ්‍යවේදීන් සහ යුද්දයෙන් පීඩාවට පත් වැසියන් අතරේ අපූරු සම්බන්ධීකරණයක් කළේය. මේ නිසාම ඔහු නොදත්, ඔහු ඇසුරු නොකළ මාධ්‍යවේදියෙක් රට පු‍රා නොසිටියේය.  

ගාල්ලේ දී, අභාවප්‍රාප්තවූ ඔහුගේ දේහය දොඩන්දූව ගාලුපාරේ පිහිටි දියණියකගේ නිවසේ තැන්පත්කර තිබූ අතර වත්මනෙහි පවතින දුෂ්කරතා හේතුවෙන් ත්‍රීකුණාමලය ඇතුළු පිට පලාත්වල මාධ්‍යවේදීන්ට සහභාගී වීමට නොහැකිවිය. මාධ්‍ය කර්මාන්තයේ නිරත සියලු සහෝදර මාධ්‍යවේදීන් වෙනුවෙන් ගාල්ලගේ මාධ්‍යවේදියාගේ අභාවය පිළිබඳ ශෝකය පල කිරීම එම අවස්ථාවට සහභාගී වූ ගාල්ලේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලදී. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික සමන් සී.ලියනගේ, මාධ්‍යවේදී ජයකාන්ත ලියනගේ සහ මාධ්‍යවේදී නීතිඥ තුෂාර ද සිල්වා මෙම අවස්ථාවට සහභාගී වූහ.

පහතින් පළ කර ඇත්තේ සරත් ගාල්ලගේ පිළිබඳ ඔහුගේ හිතවත් මාධ්‍ය සඟයකු වූ මංගලනාත් ලියනාරච්චි විසින් තැබූ සටහනකි.

ත්‍රීකුණාමලයේ සරත් ගාල්ලගේ නොහදුනනා පත්තර සගයෙකුවේ නම්,ඒ මෑතකදී පත්තර දිවියට ඇතුල්වු අයෙකු හෝ මාධ්‍යවේදීන් ඇසුරු නොකරනෙකු විය යුතුය.අසූව දශකයේ මෙරට බිහිවු ජනතාවාදී මාධ්‍යවේදීන්ට ත්‍රීකුණාමලයේ සරත් ගාල්ලගේ යනු ලෙන්ගතු සොදුරු  මිතුරෙකි.පත්තර කලාව තම උදර පෝෂණය උදෙසා නොව ජනතා අභිලාෂයන්  උදෙසා කැප කල සැබෑ මානව හිතවාදියෙකි.ඒ සරත් ගාල්ලගේ සොයුරා අද දින  සිය දිවිසැරිය අවසන් කර ඇත.ඒ තමා බොහෝ කලක් දිවි ගෙවු ත්‍රීකුණාමලයෙන් බොහෝ දුර බැහැර ගාල්ලේ දොඩන්දූවේවේදීය.

සරත් ගාල්ලගේ සොහොයුරා මා හදුණාගන්නේ,1991 වසරේ මැද භාගයේදීය.ත්‍රීකුණාමලය සංඝමිත්තා විශ්‍රාම ශාලාවේ භාරකරු ලෙස  කටයුතු කරමින් මාධ්‍යකරණයට පන පෙව් සරත් ගාල්ලගේ 88- 89 භීෂණය නිමාවී යටි බිම්ගතව සිටි  තරුණයන්ට නැවත වැඩ ආරම්භ කිරීමට පහන් ටැඹක් වූවා නොවනුමානය.එහෙත්,ඔහු කිසි විටකත්,එම පක්ෂයේ සාමාජිකයෙකු වු බවක් නම් මතකයේ නැත.

ත්‍රීකුණාමලයේ ජනතා සටන්,ජනතා සංවිධාන,විරෝධතා බොහොමයක තිඹිරිගෙය වූයේ ,සංඝමිත්තාවයි.ඒ සෑම කටයුත්තකම යෝද සෙවනැල්ල වූයේ,සරත් ගාල්ලගේ සොහොයුරා බව රහසක් නොවේ.

සංඝමිත්තාවේ සරත් ගාල්ලගේ අතින් පිසු ආහාර වේලක් නොකෑ පත්තරකාරයෙකු නොමැති තරම්ය.කාන්තාවකටත් වඩා ආහාර පිසීමේ කලාව සහජයෙන් උරුමකර ගත් සරත් අය්යාගේ අත් අකුරු මා දැක ඇති සෝභමානම  අත් අකුරු අතරින් අමතක නොවන්නකි. රාවය,යුක්තිය,ලක්දිව,හිරු වැනි විකල්ප පුවත්පත් සියල්ලේ ත්‍රීකුණාමලය නියමුවා වූයේ,සරත් ගාල්ලගේ බව අනූව දශකයේ එම පුවත් පත් මහත් ආශ්වාදයෙන් වැළඳගත් මෙරට සුවහසක් පාඨකයන්ට අමතක නැත.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමයේ තිඹිරිගෙයද   සංඝමිත්තාවයි. මාගේ මතකය නිවැරැදි නම්, එහි ආරම්භක ලේකම්වරයා වූයේද,සරත් ගාල්ලගේ සොහොයුරායි.රාවය පුවත්පතේ ආරම්භක සාමාජිකයන් අතළොස්සෙන් සරත් ගාල්ලගේද අයෙකි.එසේම 89 අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ බිහිවු සෑම විකල්ප පුවත්පතකම ත්‍රීකුණාමලය වෙනුවෙන් පන පෙව්වේ,සරත් ගාල්ලගේය.ඒ මුදල් හෝ වෙනත් ආකල්පයන් මුදුන් පමුණවා ගැනීමේ අරමුනින් නොව,ජනතාවාදී අරමුණු සාක්සාත් කර ගැනීමේ අදහසිනි.

91 වසරේ මැද භාගයේ මා සරත් අය්යා  හදුනා ගන්නේ,හිරු පුවත්පත ගොඩ නැගීම අරමුණු කර ගනිමින්   අරමුදලක් ගොඩනැගීම සදහා ත්‍රීකුණාමලයේ සංවිධානය කල විනි හෙට්ටිගොඩගේ “සිද්ධි” කාටුන් ප්‍රදර්ශනය පැවැත්වීමට හා හිරු පුවත්පතේ මංගල පිටපත ත්‍රීකුණාමලයේ දී එළිදැක්වීමේ කර්තව්‍යයට උර දෙමින් සිටියදීය.ප්‍රභාත්,උපුල්,සමරේ අය්යා,සමන් හේවාමන්න,වීරකෝන් අප සමග සිටි බව මතකය.

ත්‍රීකුණාමලයේ ක්‍රියාත්මක වු බොහෝ  ජනතාවාදි වැඩසටහන් රැසකම මෙහෙයුම් මධ්‍යස්ථානය වූයේ,ත්‍රීකුණාමලය සංඝමිත්තා විශ්‍රාම ශාලාවයි.ජනතා අරමුදලෙන් ගොඩ නැගු “හිරු” පුවත්පතේ මංගල පිටපත ත්‍රීකුණාමලය කල්‍යාණ මංඩපම් හිදී එලි දක්වද්දී සරත් ගාල්ලගේ ද එහි ඉදිරි පෙල කස කරුවෙකු වු බව අපට අමතක නැත.එදා ඊට එක්වු ඇතමෙකු පසු කලක දේශපාලනයට පිවිස මෑතක් වන තෙක්ම මැති ඇමතිකම් දැරීය.ඇතැම්හු විවිධ අමාත්‍යාංශයන්හි මාධ්‍ය ලේකම්වරු බවට පත්විය.රජයේමෙන්ම විවිධ ආයතන වල ඉහල තනතුරු දැරීය.එහෙත් ,කනගාටුවට කාරණය නම්,එදා සරත් අය්යාගේ සංඝමිත්තා අරලිය ගස් සෙවනේ කා බී  මනුස්සත්වය ගැන,සමාජ ප්‍රගමණයන්, විප්ලව ගැන නන් දෙඩු ඔවුන් පසු කලෙක සරත් අය්යාව අමතක කර දැමීමයි.ප්‍රේමදාස පාලනයේ අවසන් මාස කිහිපයේදී ලක්දිව පුවත්පතෙන් ඉවත්ව “හිරු” පුවත්පත වෙනුවෙන් කැපවු විමල් වීරවංශ,සුනිල් මාධව ප්‍රේමතිලක,රෝහිත භාෂණ,මනෝරා අක්කා (සුනිල් මාධව ප්‍රේමතිලකගේ බිරිද)අතුල විතානගේ සහ තවත් නම් හෙලි කිරීමට නොහැකි චරිත රැසකට සරත් අය්යාගේ සංඝමිත්තාව කිසිසේත් අමතක කල නොහැකිමුත්,අවසනාවකට කාරණය නම්,ඒ දෙයම නැවත නැවත  සිදුවීමයි.සරත් අය්යාගේ සංඝමිත්තාවේ එක රැයක් හෝ නොගෙවු පත්තර කාරයෙකු සිටිය නොහැකි තරම්ය.කොළඹ සිට ත්‍රීකුණාමලයට පැමිණෙන  බොහෝ මාධ්‍යවේදීන්ගේ නවාතැන වූයේ,සරත් අය්යාගේ සංඝමිත්තාවයි.ඔහු කිසි විටක ඊට මුදල් අයකලේ නැත.සරත් අය්යාගේ එකම සතුට වූයේ,ඔවුන්ට හොදින් සංග්‍රහ කර පැමිණි කාරිය සාර්ථක කර ගැණීමට උපකාර කිරීමයි.තම කටයුතු පසෙකලා එසේ පැමිණි මාධ්‍යවේදීන් සමග ත්‍රීකුණාමලයේ සැරිසැරීම තරම් ආශ්වාදයක් සරත් අය්යාට නොවු තරම්ය.

සරත් අය්යාගේ භාෂණය සැබවින්ම සුන්දරය.අතිශයින් සුන්දර පත්තරකාරයෙකු වු සරත් අය්යාව අප ඇතුළු බොහෝ දෙනෙකුට පසු කලෙක   අමතකව ගියද,සරත් අය්යාට සැබෑ ලෙසම ආදරය කල සුන්දර මාධ්‍යවේදීන් ද සිටි බව සදහන් කල යුතුය.ඉන් එක් අයෙකු වූයේ,මෑතකදී අපගෙන් සමුගත් ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතායි.ඔහු ත්‍රීකුණාමලයට පැමිණි සෑම අවස්ථාවකම සරත් ගාල්ලගේ දැකීමට අපටත් හොරා සංඝමිත්තාවට ගිය අයෙකි.ඔහුට  සරත් ගාල්ලගේ හමුවන්නේ්ද,රාවයෙනි.සරත් අය්යාට ආදරය කල තවකෙකු වන්නේ,ජයසිරි ජයසේකරය.මෑතකදී ජයසිරි ජයසේකර මහතා ත්‍රීකුණාමලයට පැමිණි අවස්ථාවක සරත් ගාල්ලගේ සෙවීමට උත්සුක වුවද,ඒ වන විටත් ඔහු ත්‍රීකුණාමලයේ කොතනක රැදී සිටින්නේදැයි සොයා ගැණීම අපහසු විය.ඔහු අවසන් කාලයේ, දොඩන්දූවේ විසු බව ඔහු  අප අතරින් සමුගෙන යනතෙක්ම සොයා ගැණීමට උනන්දුවක් ඇති නොවීම සරත් ගාල්ලගේට හිතෛෂී හැමගේ හිතට මහ විශාල කම්පනයක් බව නොකිවමනාය.මාගේ මාධ්‍යාගමනට එක් ඌණපූරණයක් වන්නේද, සරත් ගාල්ලගේ සහෘදයානන් බව සදහන් කරන්නේ,ඉමහත් භක්තියකනි.හැමවිටම ජනතාව පැත්තේ මිස,ආණ්ඩුව පැත්තේ සිට නොගැණීම සරත් ගාල්ලගේ මහතාගේ පත්තර දිවියේ මා දුටු කදිම ලක්ෂණයකි.මොන රජය පැමිණියද,සරත් අය්යා සිටියේ,විපක්ෂයේය. එසේම ජාතීන් අතර සමගිය හා සංහිදියාවට සරත් අය්යාගෙන් ලැබුණේ,නොමද සහයකි.දැඩි යුධ විරෝධියකු වු සරත් ගාල්ලගේ මහතා හමුදාව හා පොලිසිය ඉදිරියේ,සිය පෞරුෂය මනා ලෙස පිලිඹබු කල මාධ්‍යවේදියෙකි.පරිසරයට,සතා සිවුපාවට,ගහට වැල⁣ට ආදරය කල සරත් ගාල්ලගේ සොදුරු පරිසර වේදියෙකි.ත්‍රීකුණාමලයේ නිදහසේ සැරිසරන හා සීග්‍රලෙස වඳවී යාමට ලක්ව සිටින තිත් මුව රංචුව රැක ගැණීමට ස්වෙච්ඡාවෙන්ම වෙහෙස මහන්සිවු අයෙකි.ඔහුගේ මුළුතැන් ගෙයි,ආහාර පිසුනේ ඔහුගේ පවුලේ අයට පමණක්ම නොවන බව සංඝමිත්තාවට නිතර ආගිය අයවලුන්ට අමතක නැත.බල්ලන් බළලුන් දහ දොලොස් දෙනෙකුට නිතිපතා ආහාර සැපයීම සරත් ගාල්ලගේ බරක් ලෙස නොසැලකුවේය.ඊට ඔහුගේ ආදරණීය බිරිඳගෙන් ලැබුනේද මනා පිටිවහලකි.

සරත් ගාල්ලගේට ආදරය කල ත්‍රීකුණාමලයේ බොහෝ දෙනෙකුට ඔහුගේ නික්මයාමට සමුදීමට අවස්ථාවක් නැත.ඒ ඔහුගේ අවසන් කටයුතු හෙට දිනයේ ත්‍රීකුණාමලයෙන් බො⁣හෝ දුර බැහැර දොඩන්දූවේවේදී සිදු කෙරෙන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!