spot_img
spot_imgspot_img

ජනපති සටනේ ජය කාට ද ?

පුවත්

විදෙස්

බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තිකයා තෝරාගැනීම මේ වනවිට ඉතා උණුසුම් සටනක් බවට පත්ව තිබේ.

මන්ත්‍රීවරුන්ට ලංසු තබමින් ඔවුන් වෙන්දේසි වන තත්වයට එය මේ වනවිට පත්ව ඇත.

එම ධූරය සඳහා දැනට වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බව ස්ථිර කර ඇති අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් කවුරුන් තරඟකරනු ඇත්ද නොඑසේ නම් වෙනත් අයත් ඉදිරිපත් වනු ඇත්ද යන්න නිශ්චිතව ම දැකගත හැකි වන්නේ ලබන 19 වැනි දා පාර්ලිමේන්තුවේ දී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කිරීමට අදාල නාමයෝජනා කැඳවීම අවසන්වීමෙන් පසුවය. එතෙක් මේ තරඟකරුවන් පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතී.

මීට ඉහත දී මෙවැනි ආකාරයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම සම්බන්ධ ඉතිහාසයක් අප රටට තිබේ.

1993 මැයි 01 වැනි දා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝතානය කිරීමෙන් පසු එවකට අගමැති ඩී.බී.විජේතුංග වැඩබලන ජනාධිපතිවරයා ලෙසත් රනිල් වික්‍රමසිංහ වැඩබලන අගමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම පාර්ලිමේන්තුවෙන් සිදුකෙරුණු අතර එහි දී යෝජනා වූයේ ඩී.බී.විජේතුංගගේ නම පමණක් බැවින් ඡන්ද විමසීමක් නොතබාම ඔහු ජනාධිපතිවරයා ලෙස පත්විය. අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහයි. මෙවර තත්වය ඊට වඩා වෙනස්වනු ඇති බව මේ වනවිට පෙනෙන්නට තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනිකුත් දේශපාලන පක්ෂ නායකයන්ට කලින් පවසා තිබුණේ වෙනත් අපෙක්ෂකයන් එක් අයකු හෝ ඉදිරිපත් වන්නේ නම් තමන් ඉදිරිපත් නොවන බවයි. ඔහුට අවශ්‍යව ඇත්තේ නිතරඟයෙන් ජනාධිපතිධූරයට පත්වීමට බව ඉන් පැහැදිළි වෙයි.

ඊයේ (16) පාර්ලිමේන්තුව රැස්වීමට පෙර මාධ්‍ය හමුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකින් කියා සිටියේ කතානායකවරයා ජනාධිපතිධූරයට පත්කළ යුතු බව වුව ද රැස්වීම අවසන්වීමෙන් පසු එම ස්ථාවරය වෙනස් කළ ඔහු තමන් ද ජනාධිපතිධූරයට තරඟකරන බව කියා සිටියේය.

දැනටමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ තම පක්ෂයේ සහයෝගය කිසිම අපේක්ෂකයකුට ලබා නොදෙන බවයි. එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ද මේ ජනාධිපති සටනට එක්වනු ඇතැයි කලින් දේශපාලන අංශ බලාපොරොත්තුවෙන් සිටිය ද ඔහු මෙතෙක් එවැන්නක් ප්‍රකාශ කර නැත.

තවමත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විශේෂ ප්‍රකාශයක් කරමින් තම පක්ෂය රනිල් වික්‍රමසිංහ සහයෝගය දෙන බව කීව ද පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස් පවසන්නේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. ඔහු කියා සිටියේ තම පක්ෂෙයේ ම සාමාජිකයකු වන ඩලස් අලහප්පෙරුම ජනාධිපතිධූරය ඉල්ලද්දී ඔහුට සහය දීමෙන් වැළකී වෙනත් පිටස්තර අපේක්ෂකයකුට සහය දීමට නොහැකි බවයි. ඉන් නොනැවතුණු ජී.එල්.පීරිස්, සාගර කාරියවසම්ට ලිපියක් යොමුකරමින් රනිල්ට සහය ලබාදෙන බව ප්‍රකාශ කිරීට සම්බන්ධ ප්‍රශ්න 06 විමසා තිබිණි. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැහැදිලි බෙදීමක් සහිත මත දෙකක් ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කර පසුව ස්වාධීන වූ කණ්ඩායමේ අපේක්ෂකයා වන ඩලස් අලහප්පෙරුම මේ වනවිට රෝගාතුරව රෝහල්ගත ව සිටියි.

කෙසේ වෙතත් ඔහුගේ ස්වාධීන කණ්ඩායමේ ද නිශ්චිත තීරණ පිළිබඳ මෙතෙක් පැහැදිළිතාවක් නැත. ඇතැම් කණ්ඩායම් පවසන්නේ ස්වාධීන නොවූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණු මන්ත්‍රීවරු විශාල පිරිසකගේ ද සහයෝගය ඔහු ලැබෙන බවයි.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එම පක්ෂයේ සියලු දෙනාගේ සහය ලැබෙතැයි අපෙක්ෂා කළ ද මනූෂ නානායක්කර සහ හරීන් ප්‍රනාන්දු සිටින්නේ රනිල්ගේ කඳවුරේය. පක්ෂයේ හිමිකාරිනිය ඩයනා ගමගේ ද සිටින්නේ සමගි ජන බලවේගය සමඟ නොවේ. සරත් ෆොන්සේකා අපේක්ෂකයකු වුවහොත් එම පක්ෂයේ ඡන්දවලින් කිහිපයක් සරත් ෆොන්සේකා සමඟ කැඩී යන්නට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේ දී තම පක්ෂයේ සහයෝගය දෙන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳ අද (17) තීරණය කරන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් තම පක්ෂය සහය ලබාදෙන අපේක්ෂකයා පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයිි කීවේය.

ඩලස් අලහප්පෙරුම ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුව ද ස්වාධීණ වූ පක්ෂ නවයේ නියෝජිතයන්ගෙන් වැඩි දෙනකුගෙන් විමසූ විට ඔවුන් පවසන්නේ තමන් ඡන්දය දෙන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳ මෙතක් තීරණයක් ගෙන නොමැති බවයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඉදිරිපත්වන අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කර එම තීරණය ගන්නා බව ද ඔවුහු කියති.

මේ අතර ඊයේ (16) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ජනාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට පක්ෂව ඡන්ද 140ක් ලැබෙන බව සඳහන් කළේය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අපෙක්ෂකයන් රැසක් තම තමන් තරඟයට ඉදිරිපත් වන බව කීව ද අවසානයේ ලබන 19 වැනි දා නිතරඟයෙන් ජනාධිපතිවරයකු තේරී පත්වීමට ද ඉඩ ඇති බවයි.

19 වැනි දා නාම යෝජනා බාරගෙන අවසන්වනතුරු එය තීරණය කිරීමට නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!