spot_img
spot_imgspot_img

අරගලයට දින 100යි

පුවත්

විදෙස්

ගාලු මුවදොර අරගලය ආරම්භ වී අද (17) දිනයට දින 100 සම්පූර්ණ වෙයි.

පසුගිය අප්‍රේල් මස 09 වැනි දා ගාලු මුවදොර පිටියේ දී “ගෝ හෝම් ගෝඨා” කියමින් ආරම්භ වූ උද්ඝෝෂණයකින් පසු එතැනින් ඉවත්ව නොගිය අරගල කරුවෝ එම ස්ථානයේ කඳවුරු බැඳ ගත්හහ. එදින රාත්‍රී වනවිට එය ‍”ගෝඨා ගෝ ගම” බවට පත්වූ අතර වෛද්‍ය හා ප්‍රථමාධාර මධයස්ථාන, පුස්තකාල, කලා ගාර, මාධ්‍ය හා තොරතුරු ඒකක, නීති සේවා මධ්‍යස්ථාන, රංග භූමි පමණනක් නොව වගා භූමිවලින් පවා මේ ගම්මානය සමන්විත විය.

පුරා දින 100ක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන ගිය අරගල භූමිය අදට ද අඛණ්ඩව එහි පැවැත්වෙයි.

ගෝඨාගෝ ගම ශාඛා, ගාල්ල, මහනුවර, මාතර යන ප්‍රධාන නගර රැසක ද පසුව ආරම්භ වී ඇති අතර ඒවා ද මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යයි. පසුව මේ ගෝඨා ගෝ ගමට සමගාමීව කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහින්ද රාජපක්ෂ එවකට අගමැතිවරයාට විරෝධය දක්වමින් “මයින‍ා ගෝ ගම” ආරම්භ කෙරිණි.

මැයි 09 වැනි දා මයිනාගෝ ගම සහ ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට එල්ල වූ අමානුෂික මැර ප්‍රහාරයත් සමඟ රටම ගිනි ඇවිලී ගිය අතර අගමැති මහින්ද රාජපක්ෂ එදින රාත්‍රියේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළේය. පසුව මැයි 13 වැනි දා අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමඟ අරගල භූමියේ අරමුණ නැවත වෙනස් කෙරිණි.

එයි ගොඨා – රනිල් ගෝ ගම යනුවෙන් ද  නෝ ඩීල් ගම යනුවෙන් ද හැඳින්වෙන්නට විය. නමුත් දිගින් දිගටම ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය ජූලි 09 වැනි දා දස දහස් සංඛ්‍යාත පිරිස් කොළඹට පැමිණි අතර එම විරෝධතා මධ්‍යයේ විවිිධ කණ්ඩායම් විසින් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ද බලය අල්ලා ගන්නා ලදී. මේ වනවිට එම සියළු පරිශ්‍රයන් ආපසු බලධාරීන්ට බාර දී ඇත.

මේ විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පැනගත් අතර ඔහු 14 වැනි දා සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ දැන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.

තවමත් විරෝධය අවසන් නැත. අරගලකරුවන් ඉල්ලා සිටින්නේ රටේ ප්‍රශ්නවලට හේතු වූ දේශපාලන ක්‍රමවේදය විශාල වෙනසකට භාජනය කළ යුතු බවයි. ඔවුවන් ඒ සඳහා රජයට යෝජනා මාලාවක් ද ඉදිරිපත් කර තිබේ.

අද අරගලයට දින 100 සැමරීමට අරගල භූමියේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ ද විශේෂ වැඩසටහන් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!