spot_img
spot_imgspot_img

රට රවටන දේශපාලනය හමුවේ, අලුත් ජනාධිපති සහ අගමැති කවුරුන්ද

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව යනු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍යයකි. සර්ජජන ඡන්ද බලය ලැබූ ජනතාවක් වසන ශ්‍රී ලංකාවේ සියල්ල තීරණය කරනු ලබන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙනි.

ව්‍යවස්ථාධායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන මගන් පාලනය වන රාජ්‍යයේ අවසන් තීන්දුව ගනු ලබන්නේ ජනතාව විසින් වුව ද ඒ ජනතා මතය නිතරම විමසා බැලිය නොහැකි බැවින් ජනතා නියෝජිතයෝ පාර්ලිමේන්තුවට තෝරාපත්කරති. ඒ සංඛ්‍යාව 225කි. එය සමානුපාතික ක්‍රමයට මැතිවරණයෙන් පත්කරන අතර ජනාධිපතිවරයා ද පත්කරනු ලබන්නේ ජනතාවගේ ඡන්දය විමසන ජනාධිපතිවරණයකිනි.

ඒ නිසා පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාධායකයත්, විධායකය හෙවත් ජනාධිපතිවරයාත් සෘජුවම මහජනතාවගේ නියෝජතයෝය. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ එම නියෝජිතයන් විසින් රටේ පාලනයට අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරති.

ශ්‍රී ලංකාවේ සියල්ලට ම වඩා ඉහළින් පවතින නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය වෙනස් කරන ක්‍රමවේදයන් සඳහන් කර ඇති අතර ඒ අනුව කටයුතු කිරීමට සියලුම පුරවැසියෝ විධායකය ද ඇතතුළුව බැඳී සිටිති. එය උල්ලංඝනය කිරීම බරපතල වරදකි. නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් බහුතරයකට මේ ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිළි අවබෝධයක් හෝ දැනුමක් හෝ නැත. නුම්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විධායකයටත් මේ ගැන අවබෝධයක් හා දැනුමක් තිබිය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඔවුන් සියලු දෙනාම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමටත්, එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටිති.

නමුත්, මේ වනවිට රට පුරා දියත්වන උද්ඝෝෂණ මාලාවේ සිටින ඇතැමුන් පවසන්නේ මේ ව්‍යවස්ථාව ඉරා විසිකළ යුතු බවයි. ව්‍යවස්ථාව වැඩක් නැති බවත් අරගලයේ නීතිය රටේ නීතිය විය යුතු බවත් ඔවුහු කියති. එය ඉතාමත් බරපතල ප්‍රකාශයකි. එවැන්නක් කිසිසේත්ම විය යුතු නැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ද ඒ ගැන එසේ කී අයට දැන් අවවාද කර තිබේ.

නමුත් අරගලයේ යෙදෙන පිරිස් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින 225ම අපට එපා යනුවෙනි. මේ 225 දෙනාම පත්වූයේ ජනතාවගේ කරපිටියි. දැන් ඔවුන් එපා කියන්නට ද ජනතාවට ද අයිතියක් තිබේ. නමුත් ඒ එපා කියන කියන විට ඔවුන් එළවා දැමීමට ජනතාවට නීත්‍යානුකූල හැකියාවක් නැත. ජනතා අරගල පවත්වා රටේ මර්මස්ථාන ගිනි තබා, පාර්ලිමේන්තුව කතානායක නිල නිවස වටලා ඔවුන් පළවාහැරීමට හැකියාවක් නැත. එවැනි හැකියාවක් ඇතැයි යමකු සිතන්නේ නම් ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, රටේ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ හය හතර නොදන්නා අය පමණි.

නමුත් ජනතාවට බලපෑම් කිරීමට සැබෑ අයිතියක් තිබේ. එය ජනතාවගේ පරමාධිපත්‍යය පෙන්වන අවස්ථාවයි. මේ බලපෑම් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර  මැතිවරණයකට යාමට හැකියාව තිබේ. ඒ සඳහා ක්‍රම කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

එකක් නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමයි. නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුව පත්වී වසර තුනක් ඉක්ම යා යුතුය. එබැවින් 2023 ‍අගෝස්තු මාසය දක්වා ජනාධිපතිතවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක.

අනෙක් ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් එය විසුරුවාහැරිය යුතු බවට යෝජනාවක් ගෙනවිත් එය 2/3ක වැඩි ඡන්දයකින් සම්මත කර කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. මේ ක්‍රම දෙකෙන් හැර අවශ්‍යනම් ජනමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ ද නැද්ද යන්න ජනතාවගෙන් විමසීමට ද හැකිය.

නැතිව හිතු මතයේ මේ 225ම එපා යැයි කීවොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ගැටලුවක් පැන නගී.

එසේනම් දැන ඇතිවී තිබෙන ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වඩාත් යහපත් ආනාගතයක් යම් පමණකින් හෝ ලබා ගැනීමට නම් පක්ෂ පාට සහ ආගමික බේදයන් අනුව බෙදී වෙන්වී සිටින සමාජයේ තවත් එක් උප කුලකයක් ම වන පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකාවන්ව රට ගොඩනැගීමේ අරමුණට ඒකරාශී විය යුතුය.

නමුත් ජනතාව පවසන්නේ ඔවුන්ට එවැනි වුවමනාවක් නැති බවයි.

රට ගිනිගත් මැයි 09 වැනි දා සිට මාසයක කාලයක් ගත වෙද්දී පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාද, විවාද තුළ දී රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ මන්ත්‍රීවරු කතා කළා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා ඔවුන් කතා කළ මාතෘකා සහ කතා කළ කාලය ගණනය කරමින් අපි ලිපියක් සකස් කළෙමු. එය මෙතැනි කියවීමට පුළුවන. එහි දැක්වෙන්නේ මේ මන්ත්‍රීවරු 225න් අති බහුතරයක් පාර්ලිමේන්තුවේ කාලය හරසුන් දේට වැය කරන බවයි.

ඔවුන් ඉදිරියේ දී හෝ රටට වැඩදායී අර්ථවත් යමක් කරන්නට උත්සාහ ගන්නේ නම් පළමු ව්‍යවස්ථානුකූළව කටයුතු කරමින් පොදු එකඟතාවකට යා යුතුය. ඒ සඳහා එකිනෙකා කෙරෙහි වෛරයෙන්, පැරණි කෝනන්තර අනුව කටයුතු කිරීම කළ යුතු ද යන්න උචිත ද යන්න සොයා බැලීමට අවශ්‍ය වේ.

ජනතාවගේ ප්‍රථම සහ මුඛ්‍ය සටන්පාඨය වූයේ ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි. පසුව එය ගෝඨා සහ මයිනා ගෝ හෝම් බවට පරිවර්ථනය විය. මයිනා යනුවෙන් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයකු වූ ද වර්තාමන පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස ද කටයුතු කළ මහින්ද රාජපක්ෂයි. මැයි 09 වැනි දා සිදු වූ කලබගෑනියත් සමඟ ඔහු ඉල්ලා අස්වූයේය.

ඉන් පසු විවිධ පාර්ශවයන්ට අගමැතිධූරය බාර ගන්නා ලෙස ඉල්ලා සිටිය ද බොහෝ දෙනකු එය කර අරයි. මේ ලියන ලේඛකයා දශක දෙකකට වැඩි කාලයක් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන බැවින් මෙරට ප්‍රධාන පක්ෂ නායකයෝ මෙන්ම අගමැති සහ ජනාධිපති සිහිනය දකිමින් සිටින නායකයන් පුද්ගලිකව හඳුනයි. ඒ නිසාම ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිණි. මේ රටේ අගමැතිධූරය බාර ගත යුතුයැයි විටින් විට යෝජනා කරනු ලැබූ නම් ඇති අය සියල්ලෝම සමඟ සාකච්ඡා කළ විට ඔවුන්ගේ අදහස වූයේ මේ මරාලයට තමන් කර ගසා අනාගතය විනාශ කරගැනීම අනවශ්‍ය වැඩක් බවයි.

මේ අර්බුදය තවත් වසර 05කට හෝ අවසන් නොවන බැවින් මේ අවස්ථාවේ එළියේ සිට වෙනත් අය විවේචනය කරමින් සිට අර්බුදය අවසන්වන කාලයේ දී අගමැතිධූරය බාර ගැනීම ඒ නම් කියැවුණු සැමගේම අභිප්‍රාය වූ බව අපි වගකීමෙන් යුතුව සඳහන් කරන්නෙමු.

නමුත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ මරාලයට කර ගැසුවේය.

ඔහු අගමැතිවනවා යැයි පැතිරගිය ආරංචියත් සමඟම එතෙක් අගමැතිධූරය එපා යැයි කියූ කිහිප දෙනකුම මට කිව්වා නම් ගන්නවා යැයි කඳුළු හෙලන්නට වූයේය. තවත් පිරිසක් කීවේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම නීත්‍යානුකූළ නොවන බවයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඔහුට නොමැති බැවින් ඔහු හොර පාරේ අගමැති වූ බවත්, ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු බවත් කීවේය.

ශ්‍රී ලංකාවේ සියල්ලට ඉහළින් ඇති නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ක්‍රමයට එක්සත් ජාතික පක්ෂයට රට පුරාම ලැබුණු ඡන්ද සංඛ්‍යාව අනුව හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ඔහු පාර්ලිමේන්තුවට පත්ව ආවේය. ඒ නිසා ඒ මන්ත්‍රීධූරය නීත්‍යානුකූලය. අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැත. එය සත්‍යයකි. ඉන්නේ ඔහු පමණි. අපි මේ බව මීට පෙර ද පෙන්වා දී ඇත්තෙමු. එකම එක මන්ත්‍රීධූරයක් ඇති පක්ෂයක එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවක අගමැතිවරයා ලෙස පත්වීම ලෝක වාර්තාවකි.

මෙය හොර පාරේ අගමැතිවීමක් නම් එය අභියෝගයට ලක්කිරීමට පාර්ලිමේන්තුවේ ඔහුට එරෙහි මන්ත්‍රීවරුන්ට අපූරු අවස්ථාවක් තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයක් දිනාගන්නා මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස පත්කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හැකියාව ඇත. ඒ අනුව අගමැතිධූරයට රනිල් වික්‍රමසිංහ පත්කෙරිණි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස ඇතුළු කණ්ඩායම පවසන්නේ එය හොර පාරේ පත්වීමක් සහ ඔහුට බහුතර විශ්වාසය නැතැයි යන්න නම් එය අභියෝග කිරීමට විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතුය.

නමුත් එය කළේ නැත.

කරන්නේ ඒ ගැන මාධ්‍යවලට වොයිස්කට් දෙමින් මෙරට දේශපාලනය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිමය ප්‍රතිපාාදන නොදන්නා ජනතාවට වැරදි මතයක් ජනගත කිරීමම පමණි.

ඉන් පසු සිදුවූයේ ජනතා උද්ඝෝෂණ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අසවන බව ප්‍රකාශ කිරීම සහ ඔහු විදේශ ගත වී වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත්කිරීමයි.

මේ පත්වීම සිදුවන මොහොතේ රැස්වූ පක්ෂ නායකයෝ රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙසත්, කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවටත් තීරණය කර තිබිණි.

පක්ෂ නායකයන්ට ඕනෑම තීරණයක් ගැනීමට හැකියාව තිබේ. නමුත් ඒ තීරණද ව්‍යවස්ථාවට අනුකූළ විය යුතුය. අගමැති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ඒමෙන් වැළකී සිටි පක්ෂ නායකයෝ ඔහුට ඉල්ලා අස්වන්නට යැයි කීව ද අගමැතිවරයා ඉල්ලා අස්වන්නේ නැත. ඒ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ සහය ලැබෙන බැවින් ඔහුට තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව ඔහු දන්නා නිසාය. ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවයයි. 2020 අගෝස්තු මස පැවැත්වූ මහ මැතිවරණයෙන් 2/3ක බලයක් සහිතව ආණ්ඩුවක් පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෝ තමන්ට ජනතාව ලබාදුන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බලය එලෙස භාවිතා කරයි. එය වැරදිද නිවැරදිද යන්නත්, එයින් ජනමතය නියෝජනය වන්නේද යන්නත් වෙනම ම ප්‍රශ්නයකි. නමුත් එය ව්‍යවස්ථානු කූළය.

මේ සම්බන්ධයේන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද විශේෂ නිවේදනයක් නිකුත්කර තිබිණි. ඔහු පවසන්නේ කතානායක ජනාධිපතිවරයා විය යුතු බවයි.

මෛත්‍රීපාල සිරිසේන යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට පොරොන්දු වී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී එම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරමින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කර මේ රටේ රාජ්‍ය පාලනය වියවුල්ල කළ පුද්ගලයෙකි. ඔහු කළේ වරදක් බව අධිකරණයෙන් පවා තීන්දු විය. ඔහු සිටිය යුත්තේ බන්ධනාගාරයේ ය. නමුත් තවමත් නිදැල්ලේ සිටින හිටපු ජනාධිපතිවරයා නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට උපදෙස් දෙයි.

ඔහු පවසන්නේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කිරීම නීත්‍යානුකූළ නොවන බවයි. එබැවින් ඔහුගේ නියෝග නොපිළිපැදිය යුතු බවයි. පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී ද පක්ෂ නායකයෝ එවැනි තීරණයක් ගෙන කතානායකවරයා ජනාධිපති වරයා ලෙස වැඩ බැලීමට පත්විය යුතු යැයි සඳහන් කර තිබිණි.

ජනතාව කියන දේ නිවැරදිය. මේ 225 ම මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හෝ, තමන් ආරක්ෂා කිරීමට බැඳී සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ දන්නේ නැති බව එයින් පැහැදිලි වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37.1 වගන්තියේ මෙසේ දැක්වෙයි.

“ජනාධිපතිවරයා රෝගාතුරවීම නිසා හෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධූරයට අයත් බලතල කාර්යය කර්තව්‍යය ක්‍රියාත්මක කිරීඹ සඳහා ඉටු කිරීමට තමාට නොහැකි වේ යැයි ජනාධිපතිවරයාගේ මතය නම් එම කාල සීමාව තුළ ජනාධිපතිධූරයේ බලතල කාර්යය කර්තව්‍ය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පත්කළ හැකිය”

එසේනම් පක්ෂ නායකයන් කටයුතු කරන්නට උත්සාහ ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු නොසළකා හරිමින් කටයුතු කිරීමටය.

අප දන්නා පරිද රනිල් වික්‍රමසිංහට ජනතා ප්‍රසාදක් නැත. ඔහු නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ එකම මැතිවරණ කොට්ඨාසයක් හෝ ජයගැනීමට නොහැකි වූ අතර දිස්ත්‍රික් පදනමින් එකම මන්ත්‍රීධූරයක්වත් දිනාගත නොහැකි තරමට ජනතා ප්‍රතික්ෂේප වීමකට ලක්විය. නමුත් දැන් ඔහු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පමණක් නොව මේ ලිපිය ලියන ‍මොහොත වනවිට වැඩබලන ජනාධිපතිවරයා බවට ද පත්ව සිටියි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. ඔහු ඒ ධූරයට පත්වූ ආකාරය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි ද යන්න අවශ්‍යනම් අධිකරණයේ දී අභියෝගයට ලක්කිරීමට හැකියාව පවතී. එය මාධ්‍යයට වොයිස්කට් දීමෙන් කළ හැකි දෙයක් නොවේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතර බලයක් හිමිකරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ (ඉන් පිරිසක් ඉවත්ව ඇති බැවින් ඒ බලය සම්පූර්ණයෙන් ම දැන් නැත. නමුත් තවමත් බහුතරය තිබේ) ආශිර්වාදයෙන් බලය අල්ලාගෙන ඇත. එම මන්ත්‍රීකණ්ඩායමේ නියෝජිතයා බවට ඔහු පත්ව සිටීනම් ඒ නියෝජනය වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන්ගේ පරමාධිපත්‍යයේ බලයයි. එය ජනමතය නොවේ යැයි තර්ක කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අභ්‍යන්තර ඡන්දයකින්, අධිකරණයේ දී සහ නැවත ජනතාව විසින් තම කැමැත්ත ප්‍රකාශකරන මැතිවරණයකින් පමණි. එතෙක් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආරවුල බේරාගත යුතුය.

නමුත් ශ්‍රී ලංකාවේ මහජනතාව කියන පරිදිම 225 දෙනා ඊට සූදානම් බවක් පෙනෙන්නට නැත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ඔවුන් අවබෝධ කරගන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන් සාමූශික වගකීම ඉටු කරන බවක් ද පෙනෙන්නේ නැත. මෙය නීත්‍යානුකූළව, ව්‍යවස්ථානුකූලව බේරාගෙන දැන් හෝ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට මේ පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් සහ කණ්ඩායම් කටයුතු කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මී ළඟ ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කරගන්නේ ද නැතිනම් වෙනත් අයකු තෝරාපත්කර ගන්නේ ද යන්න තීරණය කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබේ. සජිත් ප්‍රේමදාස ජනාධිපතිධූරයට නම් කළ යුතුයැයි සමගි ජන බලවේගය යෝජනා කර තිබිණි. ඒ යෝජනාව ස්ථිර කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා පසුව මාධ්‍ය හමුවේ කීවේ තමන් ජනාධිපතිධූරය බාර ගැනීමට කැමති බවයි. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඩලස් අලහප්පෙරුම යෝජනා කරන බවට ද කතාවක් තිබේ. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නට රනිල්ගේ පක්‍ෂයේ වෙනත් කිසිවෙකු නැත. ඔහු යෝජනා කරන්නේ නම් එය වෙනත් පක්ෂයකින් කළ යුතුය.

කෙ‍සේ වෙතත් දැනට ඇති අරංචි අනුව වෙනත් නම් කිසිවක් යෝජනා වන්නේ නම් ඡන්දයකින් ජනාධිපති තෝරන්නේ නම් සජිත් ප්‍රේමදාස තරඟයට ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කර තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස යම් අයකු යෝජනා කර ස්ථිර කළ යුතුය. එය කවුරුන් විසින් කරන්නේ ද යන්න අප දන්නේ නැත.

මේ නිසා දැන් 225 දෙනා කළ යුත්තේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමයි.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෝ, වෙනත් ඕනෑම අයකුට පත්වීමේ අවස්ථාව තිබේ. එය ව්‍යවස්ථානුකූළ ක්‍රමයට සිදුවන්නේ නම් නැවත මැතිවරණයක් පවත්වන තුරු මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පවත්වා‍ගනිමින් අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත්ව රට හැදීම 225 දෙනාගේ ම යුතුමකි. වගකීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!