spot_img
spot_imgspot_img

මනිපූර් නායෑමෙන් මියගිය සංඛ්‍යාව 42ක් දක්වා ඉහළට

පුවත්

විදෙස්

ඉන්දියාවේ ඊසාන දිග මනිපූර් ප්‍රාන්තයේ සිදුවූ දැවැන්ත නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 20 දෙනකු පමණ තවමත් අතුරුදන්ව ඇති බව ගලවා ගැනීමේ සේවකයෝ පවසති.

පසුගිය බදාදා (29) දුම්රිය ඉදිකිරීම් ස්ථානයක සිදුවූ මෙම නාය යාමෙන් දැවැන්ත හානියක් ඇතිවිය. අනතුරට ලක්වූයේ කම්කරුවන් පිරිසක් සහ ඉන්දියානු හමුදාවේ ස්වේච්ඡා බලකායේ සාමාජිකයින් පිරිසකි. අධික වර්ෂාව සහ තවදුරටත් සිදුවන නායයෑම් හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා වී ඇති බව නිලධාරීහු පවසති.

සති අන්තයේ දී පුද්ගලයන් 18 දෙනෙකු අනතුර සිදු වූ ස්ථානයෙන් පණපිටින් පිටතට ගෙන ඇත. එම ස්ථානයේ ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය සහ පසෙහි තෙත් බව හේතුවෙන් විපතට පත් වූවන් සෙවීමට බර යන්ත්‍ර යොදා ගැනීමට අපහසු වී ඇති බව ඔවුහු පැවසූහ. ගලවා ගැනීමේ සේවකයින් ඒ වෙනුවට රේඩාර් තාක්ෂණය භාවිතා කරමින් සුන්බුන් අතර තවමත් වැළලී ඇති පුද්ගලයින් සෙවීමට කටයුතු කළහ.

නාය යෑම සිදුවූයේ, මනිපූර් හි ජිරිබාම් දිස්ත්‍රික්කය සහ ඉම්ෆාල් ප්‍රාන්ත අගනුවර සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ කොටසකය.

නායයෑම සිදු වූ අවස්ථාවේ ඉදිකිරීම් භූමියේ ආරක්ෂාව සඳහා ඉන්දියානු හමුදාවේ ස්වේච්ඡා බලකායක් යොදවා තිබුණි. සුන්බුන් අතරින් ගොඩගත් සිරුරු 42 න් 27 ක් හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 15 දෙනා අතර කම්කරුවන්, දුම්රිය සේවකයින් සහ ගම්වාසීන් ද සිටිති. ප්‍රදේශවාසීන් බීබීසීයට පැවසුවේ කම්කරු කඳවුරේ නම් නොදන්නා සහ ලේඛන නොමැති වෙනත් ප්‍රාන්තවල කම්කරුවන් ගණනාවක් සිටින බවයි.

මනිපූර් ප්‍රධාන අමාත්‍ය එන් බිරෙන් සිං ඛේදවාචකය හැඳින්වූයේ ප්‍රාන්ත “ඉතිහාසයේ අවාසනාවන්තම සිදුවීමක්” ලෙසිනි.

මෝසම් වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවල, විශේෂයෙන් ඇසෑම්, මනිපූර්, මේඝාලය සහ ත්‍රිපුර යන ප්‍රදේශවල දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අසෑම් ප්‍රාන්තයේ පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් මිය ගිය ගොස් මිලියන ගණනක් අවතැන් වී ඇත. පසුගිය සතියේ මනිපූර් හි නෝනි දිස්ත්‍රික්කයේ සිදු වූ නායයාමට හේතු වූයේ නොනවත්වා ඇදහැලුණු වැසි බව රජයේ නිලධාරියෙක් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

https://www.bbc.com/news/world-asia-india-62033004

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!