spot_img
spot_imgspot_img

ඔබට තෙල් ලැබෙන දිනය ගැන, ඇත්ත මෙන්න

පුවත්

විදෙස්

ඉන්ධන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකික ජනතාව පෝළිමවල දින ගණන් ගතකරමින් සිටිති. රජයේ විවිධ පුද්ගලයෝ වරින් වර නානාප්‍රකාර නිවේද නිකුත් කරමින් ඉන්ධන ලබාදිය හැකි දින ගණන් ගැන කීව ද ඒ සියලු කරුණු දැන් අසත්‍ය බව ජනතාවට පසක් වෙමින් තිබේ.

නමුත් තම අවශ්‍යතා වෙනුවෙන් ජනතාව තෙල් බලාපොරොත්තුවෙන් තවමත් පෝළිමිවල රැඳී සිටිති. කොහේ හෝ ඇති තෙල් තම අත පොවන මානයේ ඇති ඉන්ධන පිරවුම්හළක් වෙත එනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය නියෝජිතයෝ තමන්ට කියන්නේ ඇත්ත කතාවක් යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි.

නමුත් සැබෑ යතාර්ථය එය නොවේ. අවසන්වතාවට පසුගිය 24 වැනි දා ඉන්ධන නැවක් එන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ස්ථිරව ම කියා සිටිය ද ඒ නැව ආවේ ද නැත. නැව නොපැමිණෙන බව තහවුරු වූ පසු අමාත්‍යවරයා කීවේ නැව ප්‍රමාද වන බවයි. නමුත් ඔහු අවසානයේ ජනතාවගෙන් සමාව ගත්තේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් කියූ දෙයක් තමන් පැවසූ බව කියා ඔහු ඇඟ බේරාගත්තේය.

ඉන් පසු කටාරයට ඉගිලී ගිය ඇමතිවරයා මෙතෙක් ත්‍රස්තවාදී සංවිධානයක් බවසමින් මෙරට තහනම් කර තිබූ එක්තරා අරමුදලක තහනම ඉවත්කරන බවටත් පොරොන්දු වූයේ කටාර් රාජ්‍යයෙන් තෙල් ගැනීමේ අපේක්ෂාවෙන් විය යුතුය. එහි සිට ට්විටර් පණිවිඩ නිකුත්කළ අමාත්‍ය කංචන දැන් මාධ්‍යයේ පෙනෙන්නට නැත. කියන්නට කිසිවක් නැති නිසා ඔහු මාධ්‍ය සාකච්ඡාවලට නොපැමිණෙනවා විය යුතුය.

මේ අතර ජූලි 10 වැනි දා තෙල් නැවක් පැමිණෙන බවට තොරතුරක් ඇතත් ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක දී තහවුරු වූයේ එවැන්නක් ගැන තවමත් ස්ථිරව කිව නොහැකි බවයි. ලංකා අයිඕසී සමාගම ත්‍රිකුණනාමලයේ තෙල් ටැංකිවල ගබඩා කර තිබූ තෙල් තොග තම ඉන්ධනහල් 150ක් වෙත මුදා හැරීමෙන් තෙල් තිබෙන බවක් රටේ ජනතාවට ඒත්තු ගන්වා තිබේ. සැබැවින්ම ශ්‍රී ලංකාව සතුව දිනකට ප්‍රමාණවත් තරම්වත් ඛනිජ තෙල් නැත.

මේ නිසා සැබෑ යතාර්ථය නම් ශ්‍රී ලංකාව ඉබේම වැසී ගිය රටක් බවට පත්වී සම්පූර්ණ ක්‍රියාදාමය ම අක්‍රිය වන බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ජූලි මාසය සඳහා තෙල් නැව් තුනක් පැමිණීමට නියමිත බවයි. නමුත් නැව් තුනක තෙල් ශ්‍රී ලංකාවට කිසිසේත්ම ප්‍රමාණවත් නැත. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැවක් ජූලි මස 11-15 අතරත්, බොරතෙල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නැවක් ජූලි 14-15 අතරත් ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන්න 35,300ක් රැගත් නැවක් ජූලි මස 22-23 අතරත් ලැබෙනු ඇතැයි සංස්ථාව දැනුම් දෙයි.

නමුත් මේ කිසිම නැවකට මෙතෙක් මුදල් ගෙවීම් කර නැත. බැංකුවලින් ණයවර ලිපි ද නිකුත් කර නැත. ශ්‍රී ලංකා රජය ඉන්ධන මිල දී ගැනීම ශ්‍රී ලංකා රුපියල්වලින් සිදුකිරීමට අපේක්ෂා කළ ද ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී තිබේ.

පසුගිය මාස කිහිපයේ ම ශ්‍රී ලංකාවට තෙල් සපයන සමාගම්වලින් ණයට තෙල්ගත් ශ්‍රී ලංකා රජය දැන් ඒ ණය බොල් ණය බවට පත්කර තිබෙන බැවින් ණය ගෙවනතුරු සමාගම් 07ක් ම මෙරටට තෙල් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම සමාගම්වලට ගෙවීමට ඇති හිඟ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 655කි. ඒ සමාගම් 07 අතරින් එක් සමාගමකට පමණක් ඩොලර් මිලියන 300ක් ගෙවිය යුතුය. ඉතිරි 355 ම අනෙකුත් සමාගම් 06 ගෙවීමට ඇත.

තෙල් සපයන ජාත්‍යන්තර සමාගම් පවසන්නේ එම ණය මුදල් ගෙවා දැමීමෙන් පසු ඉදිරි ඇණවුම් සම්බන්ධයෙන් සළකා බලන බවයි. ඒ ඇණවුම් සඳහා ද තෙල් ලබාදීමට නම් බැංකු ණයකර ලිපි නිකුත් කිරීටම ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ. නමුත් ඩොලර් නොමැති වාතාවරණයක දී එවැනි ණයකර ලිපි නිකුත් කිරීමට හැකියාවක් නැත. මේ වනවිට ණය ගෙවීම් පැහැරහරින බව නිල වශයෙන් පවසා ඇති ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිම බැංකුවක් අදාල සමාගම්වලට ණයවර ලිපි නිකුත් කරන්නේ නැත.

එවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ බල මහිමයෙන් තනතුරු හොබවන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාාවේ නිලධාරීන් නැව් එන බවට දින වකවානු කියන්නේ ඒ වනවිට මේ ගැටලු නිරාකරණය කර ගත හැකියැයි සහින දකිමින් විනා සැබැවින්ම නැවක් එන බවට තහවුරු කරගෙන නොවේ. ඔවුන් කරන්නේ දිනෙන් දින ප්‍රශ්නය කල් තැබීම පමණි.

ජනතාවට බොරු බලාපොරොත්තු දීම පමණි. නැවක් පැමිණෙන දිනයක් ගැන කිව නොහැකි බව මේ පොරොන්දු දෙන නිලධාරීන් ම හොඳින්ම දනිති.

දැනට IOC විසින් පෙට්‍රල් නිකුත් කරන්නේ මෝටර් රථ/වෑන් සඳහා රුපියල් 7,000කට, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,500කට සහ යතුරුපැදි සඳහා රුපියල් 1,500ක සීමාවක් යටතේය. ලංකා අයිඕසී සමාගම පවසන්නේ එම සමාගම අගෝස්තු 15 වැනි දා වනවිට පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා වූ නැව් තුනක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි. නමුත් ඒවා ද ස්ථිර නැත.

මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුසියාවෙන් තෙල් ගැනීමේ උත්සාහයක ද නිරතවිය. ශ්‍රී ලංකාව සතුව ඩොලර් නැත. රුපියල්වලින් රුසියාවට ගෙවා රුසියාවට රුපියල් වැඩක් නැත. නමුත් රුසියාවෙන් ඉදිරිපත් වූ යෝජනාවක් වූයේ රුසියාවේ රූබලය මෙරට භාවිත මුදල් ඒකකයක් කරන ලෙසයි.

එවිට රුසියාවෙන් ශ්‍රී ලංකාව පැමිණෙන සංචාරකයන්ට මෙරට දී රූබල්වලින් ගනුදෙනු කළ හැකි බවත්, ඉන් පසු මෙරට එකතුවන රූබල්වලින් තෙල් මිල දී ගත හැකි බවත් යෝජනාව විය. නමුත් මෙය තෙල් අර්බුදයට ක්ෂණික විසඳුමක් නොවේ.

මේ අතර තෙල් ව්‍යාපාරයේ යෙදී සිටින ජාත්‍යන්තර සමාගම්වලට ඉන්ධන පිරවුම්හල් බදු දීමේ ක්‍රමයක් ගැන ද රජයෙන් යෝජනා කර තිබිණි. එවිට එම සමාගම්වලට මෙරට ජනතාවවට ඉන්ධන සැපයීමේ අවස්ථාව උදාවෙයි. ඉන් මෙරට ජනතාවට අවශ්‍ය තෙල් ලැබෙනු ඇතැයි රජයේ අපේක්ෂාව විය. නමුත් බංකොලොත් රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ එම යෝජනාව පිළිගැනීමට කිසිදු සමාගමක් මෙතෙක් ඉදිරිපත් වී නැත. එම යෝජනාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති ද සිය විරෝධතාව ප්‍රකාශ කර තිබේ.

දැන් අවශ්‍ය වන්නේ තවත් මාස කිහිපකින් අවශ්‍යවන තෙල් සඳහා සැළසුම් සකස් කිරීම නොව අද අවසන්වන තෙල් වෙනුවට හෙට තෙල් තොගයක් ගෙන ඒමයි.

ඒ සඳහා විසඳුමක් තවමත් පෙනෙන තෙක් මානයක නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!