ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙන්ට් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ අත්හැර දමා ගිය ලොරියක සිරවී සිටි අයගෙන් 46 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ලොරියේ සිටි ළමුන් සිව් දෙනෙකු ඇතුළු 16 දෙනෙකු ද රෝහල් ගත කර ඇත.
දිවි ගලවා ගත් අය දැඩි උණුසුම හේතුවෙන් ආඝාත තත්ත්වයට පත්ව සිටි බව වෛද්‍යවරු පවසති.
ඇමරිකා එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමාවේ සිට කිලෝමීටර් 250ක් (සැතපුම් 150ක්) දුරින් පිහිටි සෙන්ට් ඇන්ටෝනියෝ, මිනිස් ජාවාරම්කරුවන් සඳහා ප්‍රධාන සංක්‍රමණ මාර්ගයකි.
මිනිස් ජාවාරම්කරුවන් බොහෝ විට ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් ඇමරිකාවට ගෙන එන අතර ග්‍රාමීය ප්‍රදේශ වලදී ප්‍රවාහනය කිරීමට ලොරි භාවිතා කරයි.
සෙන්ට් ඇන්ටෝනියෝ නගරාධිපති රොන් නිරෙන්බර්ග් පැවසුවේ “එය බිහිසුණු, මානව ඛේදවාචකයක්” බවයි. රියදුරු විසින් අතහැර දමා ගොස් ඇති මෙම වාහනයේ ක්‍රියාකාරී වායු සමීකරණයක් නොතිබූ බවත් එහි ඇතුළත පානීය ජලය නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ගිම්හාන මාසවලදී සෙන්ට් ඇන්ටෝනියෝ දේශගුණය උණුසුම් වන අතර, සඳුදා වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.4 (F) දක්වා ඉහළ ගොස් ඇති අතර, විපතට පත් වූවන් තාපය, විඩාව සහ විජලනය හේතුවෙන් මිය ගිය බවට සැක කෙරේ.
මෙක්සිකෝවේ විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්රාඩ් පැවසුවේ රෝහල් ගත කළ අය අතර ගෝතමාලා ජාතිකයන් දෙදෙනෙකු සිටින බවයි. අනෙක් වින්දිතයින්ගේ ජාතිකත්වය පැහැදිලි නොමැති බවද හෙතෙම පැවසීය.
සිද්ධිය සම්බන්දව පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනය ෆෙඩරල් නියෝජිතයින්ට භාර දී ඇත.
සෙන්ට් ඇන්ටෝනියෝ හි මෙම කොටස බොහෝ දුරට ග්‍රාමීය ප්‍රජාවන් ජීවත් වන සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක් නිසා එවැනි ලොරියකට නොපෙනී යාම පහසු බව පොලිසිය පවසයි. සෙන්ට් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ 2017 දී සිදුවූ මෙවැනිම සිද්ධියක දී ලොරියක් තුළ 10 දෙනකු මියගොස් සිටියදී හමුවිය.