spot_img
spot_imgspot_img

අවසන් තරඟය ජයගනිමින් කැන්ගරුවෝ සිය ගෞරවය රැකගනිති

පුවත්

විදෙස්

දුර්වල විනිසුරු තීරණ හා නිසි අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි විනිසුරුවරයාගෙන් විමසීට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඊයේ (24) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරඟය ඕස්ට්‍රේලියාටව පහසුවෙන් ජයගත හැකිවිය.

ආරම්භයේ දී ම කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වෙමින් තරඟයට ජීව ගුණය ලබාදීම හේතුවෙන් ම පරාජිත කණ්ඩායමේ වුවත් තරඟයේ වීරයා වීමට සුදුසුකම් ලැබූ චාමික කරුණාරත්න නිසාම ශ්‍රී ලංකාවට ලකුණ 160ක් දක්වා යාමට හැකිවිය..

කෙසේ වෙතත් මෙම ඉලක්කය ඕස්ට්‍රේලියාවට පහසු ඉලක්කයක් විය හැකිව තිබුණ ද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියානු පිිතිකරුවන් ඇදබැද තබා ගනිමින් ඔවුන් පසු පාදයට ගෙන ගියේ ජයග්‍රහණය වරින් වර දෙපසට දෝලනය කරමිනි. නමුත් 161ක ඉලක්කය කඩුළු 06ක් බිඳ වැටී පන්දු 63ක් ම ඉතිරිව තිබිය දූ ජයගැනීම පහසු ජයග්‍රහණයක් ලෙස ලිඛිතව සටහන් වුව ද එය ඕස්ට්‍රේලියානුවන්ට පහසු ජයග්‍රහණයක් නොවූ බව තරඟය නැරඹූ පිරිස දනිති.

ඇලෙක්ස් කේරි සහ මානස් ලබුෂේන ඉතාමත් ඉවසිලිවන්තව මේ ඉලක්කය හඹා යද්දී ඔවුන්ට එල්ල වූ පීඩනය අති දැවැන්ත විය.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු 3 ම ලකුණු 19 කදී බිඳ හෙළීමට මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාගේ සමත්වූහ. පන්දු 4 ක් තුළ ආරම්භක පිතිකරුවන් දෙදෙනාව දවා ගන්නා විටත් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 14 ක් ලෙස සටහන් විය. නැවතත් ක්‍රියාත්මක වුණු තීක්ෂණ යළිත් මංගල තරගයට සහාභාගි වූ ජොස් ඉංග්ල්ස්ගේ කඩුල්ල දවා ගනිමින් ඔස්ට්‍රේලියානුවන් තවත් අසරණත්වයට පත් කළේය.

නමුත් මේ අතරතුර දී පිත්තේ වැටී කඩුළු රකින්නා අතට ඇදීගිය උඩපන්දු සඳහා ඉල්ලීම් නොකිරීමත් පා ආවරණයේ වැදුණු පන්දුවට විනිසුරුගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප අවස්ථාවේ දී එය තුන්වැනි විනිසුරුවරයාට යොමු නොකිරීමත් කැපී පෙණිනි. අනවශ්‍ය අවස්ථාවල දී තෙවැනි විනිසුරුවරයාගේ සහය ඉල්ලීමෙන් විතීවි අවස්ථා දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම නිරපරාදේ අහිමිකරගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින වරම් ලද වේග පන්දු යවන ප්‍රමෝද් මදුශාන් මිචෙල් මාෂ්ගේ කඩුල්ල දවා ගනිමින් ඔස්ට්‍රේලියානු පිල වෙත තවත් පීඩනය එල්ල කළේය.

ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූයේ දුනිත් වෙල්ලාලය. පන්දුවාර 10 කදී ලකුණු 43 කට කඩුලු 3 ක් ලෙසින් සිය පන්දු අවසන් කළ දුනිත් වෙල්ලාලගේ මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වූයේය. තරඟ 05ට ම ක්‍රීඩාකළ වෙල්ලාලගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.32ක් විය. ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 09කි.

මිචෙල් මාෂ්ගේ දැවී යෑමෙන් පසු කේරිට එක්වූ මානස් ලබුෂේන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් රැස් කළේ ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ල රැක ගැනීමට වැඩි තැනක් ලබා දෙමිනි. කඩුල්ල රැකගෙන ඕනෑ තරම් වේලාවක් පිටියේ රැඳී සිටීමට තරම් කුඩා ඉලක්කයක් ලැබී තිබීම නිසා ඔවුන්ට මෙය පහසුවක් විය. දුනිත් වෙල්ලාලගේ මානස් ලබුෂේන් (31) වත් ග්ලෙන් මැක්ස්වෙල්වත් (16) දවා ගත්තත් සිය අන්තය ආරක්ෂා කර ගත් ඇලෙක්ස් කේරි තරඟය අවසන්වනතුරුම පිටියේ රැඳී සිටියේ පන්දු 65 කදී ලකුණු 45 ක් ලබාගනිමිනි.

ඉදිරිපෙළ සහ මැදපෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී චාමික කරුණාරත්න පසුපෙළ සමඟ පිටියේ තනිවූයේය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100කට අඩුවෙන් දැවීයන බව පෙනෙන්නට තිබිණි.

නමුත් 08 වැනි කඩුල්ලත් ලකුණු 85 කදී බිඳ වැටුණු අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ බර තනිවම කරටගත් චාමික කරුණාරත්න නවක ක්‍රීඩක ප්‍රමෝද් මධුශාන් සමඟ 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩනගන ලද්දේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමිනි.

එම ලකුණු 58 ට ප්‍රමෝද්ගේ දායකත්වය ලකුණු 15ක් පමණි. නමුත් නවක පන්දුයවන්නකු ලෙස තම මංගල තරඟයට ක්‍රීඩා කළ ප්‍රමෝද් පන්දුව අතටගැනීමටත් පෙර පිත්තෙන් දැක්වූ දායකත්වය ජාත්‍යන්තර විචාරකයන්ගේ පවා පැසසුමට ලක්විය. ඔහු එක් අන්තයක් ආරක්ෂා කරමින් තම ජ්‍යෙෂ්ඨයාට පහරදීමට අවස්ථාව ලබාදුන්නේ සියලු කීඩකයන්ට ආදර්ශයක් වෙමිනි.

චාමික කරුණාරත්නත් මංගල තරගයට සහභාගි වුණු ප්‍රමෝද් මදුශානුත් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 58 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ලකුණු 161 ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණි.

ප්‍රමෝද්ගේ දැවීයාමෙන් පසු ප්‍රහාරය වඩාත් දැඩි කළ චාමික කරුණනාරත්න පැට් කමින්ස්ගේ පන්දුවකට එල්ලකළ පහරක් වැර දී යාමෙන් ඔහු අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය. ඒ වනවිට හයේ පහර 02ක් සහ හතරේ පහර 08ක් ඔහු එල්ල කර තිබිණි.

මෙම තරඟයේ දී ඕස්‍ට්‍රේලියානුවන්ගේ පන්දු යැවීම ඉතාමත් නිවැරදි ඉලක්කයට විය. ශ්‍රී ලංකාව මුහුණ දුන් පන්දුවාර 43.1 දී ඔවුන් ලබා දී තිබුණේ අතිරේක ලකුණු 03ක් පමණි. ඒ තුනම වයිඩ් පන්දු වූ අතර නිලකුණු පන්දුවාර 08ක් ම සටහන්ව තිබිණි.

ලකුණු 34ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් ම බිඳ වැටී තිබිය දී පිටියේ එකතු වූ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින ක්‍රීඩකයන් දෙදෙනකු නිසා ශ්‍රී ලංකා ඉනිම ගොඩනගනු ඇතැයි බොහෝ දෙනකුගේ විශ්වාසය වුව ද චරිත් අසලංක ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි පන්දු යොමුකිරීමක් හමුවේ දැවී ගියේය. අනතුරුව කුසල් මෙන්ඩිස් ද පසු පාදයට ගොස් පහරක් එල්ල කිරීමට යාමේ දී ඔහුගේ පාදය කඩුල්ලේ වැදී “හිට් විකට්” වී දැවී ගියේය. මේ දැවීයාම් දෙකත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට යළි හිස එසවීමක් නොමැති බව පෙනෙන්නට තිබුණ ද චාමිකගේ වික්‍රමය ක්‍රීඩාලෝලීන්ට ජීව ගුණයෙන් පිරුණු තරඟයක් දැකබලා ගැනීමට අවස්ථාව උදා කළේය.

ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථිික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් තරඟ සංචාරය අවලංගුකිරීමට පවා තීරණය කර තිබිය දී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රණාමය පුද කිිරීම සඳහා ඊයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ දහස් ගණනක් තරඟය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු වර්ණවලින් සැරසී පිටියට පැමිණ සිටියහ. එමෙන් ම ඕස්ට්‍රේලියානුවන්ට ස්තූතිකරමින් විවිධ පුවරු ද ඔවුන් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි.

1995 දී ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුත්තයියා මුරලිදරන්ට පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල කිරීම සහ 1996 ලෝක කුසලාන තරඟවල දී ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවේන ශ්‍රී ලංකා ප්‍රේකෂකයෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව සෑම අවස්ථාවක දී ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් ජයඝෝෂා නැගීමට සූදානම්ව සිටියහ. මේ නිසාම ඕස්ට්‍රේලියානු කණ්ඩායම හැමදාමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දරුණු ප්‍රතිවාදියකු ලෙස හැඳින්විණි.

නමුත්, ඊයේ ඒ සියල්ල වෙනස් වී තිබිණි. අසීරු අවස්ථාවක දී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට කෘතගුණ දැක්වූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ස්තූති කරමින් තරඟයෙන් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායම ක්‍රීඩාපිටිය වටා ගමන් කළේ ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් නාදය ද සමගිනි.

තරඟයේ වීරයා සම්මානය චාමික කරුණාරත්නට හිමි වූ අතර, තරඟාවලියේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!