spot_img
spot_imgspot_img

ඖෂධ පෝළිම් ඇති නොවීමට නම් කළ යුතු දේ

පුවත්

විදෙස්

අද වෙනකොට පෙට්‍රල්,ඩීසල් සහ භූමිතෙල් දවස් ගානක පෝලිමක ඉඳලා හරි ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.හැබැයි ගෑස්වල තත්ත්වය මීට වඩා වෙනස්. ගෑස් සමාගම්වල බලධාරීන් කියන විදිහට ලංකාවට ගෑස් සැපයුම සාමාන්‍යකරණය වෙන දවස නිශ්චිතව කියන්න බැහැ.  දැනට ලංකාවට එන්නේ සීමිත ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණයක්. ඒවා බෙදා හැරීම සිද්ධ කරන්න වෙන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව. ඒ අනුව රෝහල්, ව්‍යාපාරික ස්ථාන, හෝටල් සහ ආදාහනාගාරවලට බෙදා හැරීමෙන් අනතුරුව සීමිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් තමයි වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව ලැබෙන්නේ. මේ නිසා තට්ටු නිවාසවල ජීවත්වන ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා. ඒ වගේම නිවෙස් ආශ්‍රිතව  පවත්වාගෙන ගිය ආහාර සකස් කිරීමේ ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නැතිවෙලා තියෙනවා.

රජයේ මැදිහත්වීම මත සිදුවන සියලුම  ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්පූර්ණයෙන්ම පාහේ අර්බුදයට   ලක්වෙලා තියෙනවා. හැබැයි ගෑස් සමාගම් කියන විදිහට ඔවුන්ට මිල වැඩි කරලා හරි අදාළ භාණ්ඩ ගෙන්වීමට අවසර ලබා දෙනවා නම් වෙළඳපලේ මේ හිඟය ඇති වෙන්නේ නෑ . වර්තමාන වෙළඳපල ක්‍රමය තුළ ඔවුන් මේ දරන මතය නිවැරදියි.

මේ වෙනකොට ලංකාවේ ආනයනය මත පදනම්ව ක්‍රියාත්මක වන භාණ්ඩ හා සේවා අතරින් අර්බුදයට ගිහිල්ලා නැති එකම   ක්ෂේත්‍රය වන්නේ ඖෂධ සැපයීමේ  ක්ෂේත්‍රය. වැඩි මිලට හෝ ඖෂධ සැපයීම ක්‍රමානුකූලව සිදු කිරීමට පෞද්ගලික ඖෂධ ආනයනකරුවන් සමත් වෙලා තියෙනවා. ඒ රජය මගින් සිදු කරනු ලබන ඇතැම් ඖෂධ සැපයුම් අඩාලව ගොස් තිබෙන පසුබිමකයි.

මේ ඖෂධ මිල වැඩිකිරීම පිළිබඳව ඖෂධ සමාගම්වලට ඇතැම් අය දෝෂාරෝපණය කළත් කරුණු සොයා බැලීමේදී එම මිල වැඩි කිරීම් සඳහා අදාළ ඖෂධ සමාගම්වලට කිරීමට කිසිදු දෙයක් නොමැති බව පැහැදිලි වෙනවා. ඊට බලපා තියෙන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඩොලරයේ අගය ඉහළ යෑම සහ රුපියල අවප්‍රමාණය වීම. දැන් ඔබ කල්පනා කරන්න පුළුවන් රුපියල   අවප්‍රමාණය වීම මේ විදිහට ම හැමදේට ම බලපාන්න පුළුවන්ද කියලා. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කිරීමේදී ණයවර ලිපියක් නිකුත් කරන්න වෙනවා. මේ ණයවර ලිපි සඳහා ගෙවීම් කටයුතු කරන්න ඕන අදාල ණයවර ලිපියේ එකඟ වී තිබෙන ණය කාල සීමාව ඉක්මවීමෙන් පස්සේ. මේ නිසා ණයවර ලිපිය විවෘත කරද්දී  එහි සඳහන් වන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් රුපියල  අවප්‍රමාණය වීම නිසා අර කලින් කියපු කාල සීමාව අවසන් වෙද්දී  ගෙවන්න වෙනවා. මේ නිසා ඖෂධ මිල ගණන් වෙළඳපලට නිකුත් කිරීමේදී මිල වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේ හේතුව නිසා එකම නිෂ්පාදිත දිනය සහිත එකම  කාණ්ඩයේ ඖෂධවල මිල පවා එකිනෙකට වෙනස් අගයක් ගන්න පුළුවන්.

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය වල මෙවැනි අවස්ථා කීපයක් ගැන වාර්තා වෙලා තිබ්බා. ඒ අවස්ථාවල බොහෝ දෙනෙක් සුපුරුදු විදිහට වැඩිදුර සොයා බැලීමක් නැතිව අදාළ ඖෂධ සමාගම්වලට බැණ වැදිලා තිබ්බා. නමුත් ඖෂධ සමාගම් මගින් මේ විදිහට හරි ලංකාවට ඖෂධ ගෙනාවේ නැත්තන් මීට වඩා අවාසනාවන්ත තත්වයකට රට පත්වෙන්න පුළුවන් කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ඒ වගේම ලංකාවේ නීතිමය රාමුව ඇතුළෙ ඖෂධ සමාගම්වලට  ඖෂධ වල මිල තීරණය කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. ඒ සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටියක් පවතිනවා. ඒ වගේම ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය තුළ ඖෂධ මිල හැකිතාක් අඩුවෙන්  රෝගීන්ට ලබා දීම ප්‍රමුඛතාවයක්.

කොහොම වුණත් ඖෂධ මිල අඩු කර ගැනීම සඳහා අපිට දිගුකාලීන වැඩපිළිවෙලකට යෑම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. ඒ සඳහා අපේ රටේ ඇතුළෙම ඖෂධ නිෂ්පාදනය අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම කරගැනීම ඉතා වැදගත්.විශේෂයෙන්ම නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉහළ ගුණාත්මකභාවයක් පවත්වාගෙන ආයතන මෙරට ඖෂධ නිෂ්පාදනාගාර සඳහා ආයෝජනය කිරීමට දිරිමත් කළ යුතුයි. ඔවුන්ට ඒ සඳහා බදු සහන සහ මේකෙත් සහන සැපයීමට රජය මැදිහත් විය යුතුයි. හැබැයි කොයි තරම් දුරට රජය මේ ගැන අවධානය යොමු කරයි ද කියන එක නම් ඉතින් උත්තරයක් නැති ප්‍රශ්නයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!