spot_img
spot_imgspot_img

පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී

පුවත්

විදෙස්

පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14)  පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුළු 02ක ජයගත්තේ තරඟාවලියේ පෙරමුණ ගනිමිනි.

ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කලකට පසු ලකුණු 300 සීමාව පැමිණියේ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 86ක ඉනිමෙන් සහ අවශ්‍යම මොහොතේ දී වේගවත් ලකුණු වනිඳු හසරංගගේ ලකුණු 37ත් සමගිනි.

නමුත් ඕස්ට්‍රේලියානු ඉනිමේ අතරමග වර්ෂාව ඇදහැළුණෙන් ඔවුන්ගේ ඉලක්කය පන්දුවාර 44ට ලකුණු 282ක් ලෙස සංශොදනය විය.

කඩුළු එකිනෙක දැවී ගොස් තරඟය ශ්‍රී ලංකාවට ජයගත හැකි මට්ටමකට පැමිණිය ද මුල්පෙළ පිතිකරුවකු වූ මැක්සේවල් 07 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් නොදී දුර්වල පන්දු සියල්ලෙන් ප්‍රයෝජන ගත්තේය.

පන්දු 56 ක දී මැක්ස්වෙල් ලබාගත් ලකුණු 80ට හතරේ පහර 06ක් සහ හයේ පහර 06ක් ඇතුළත් විය. එනම් ඔහුගේ ලකුණු 80න් 60ක් ම ලබාගෙන ඇත්තේ පන්දු 12කිනි. ග්ලේන් මැක්ස්වෙල් 07 වැනි ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණීමෙන් පසු පිටියට පැමිණනි පැට් කමින්ස් 00, ඇස්ටන් ආගර් 03 සහ ජායි රිචඩ්සන් නොදැවී 01යි ලෙස රැස්කර ඇත්තේ ලකුණු 04ක් පමණි. ඇෂ්ටන් ආගර් 08 වැනි කඩුල්ල ලෙස ලකුණු 254 දී දැවී ගිය පසු මැක්ස්වෙල් සහ රිචඩ්සන් අතර වාර්තා වූ ලකුණු 28ක සම්බන්ධතාවයට රිචඩ්සන්ගේ දායකත්වය ලකුණු 01ක් පමණි.

වනිඳු හසරංග කඩුළු 04ක් ද නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුළු 02ක් ද දවාගත් නමුත් ඕස්ට්‍රේලියානුවන් සැළසුම් සහගතව ජයග්‍රහණය කරා ගිය ගමන නැවැත්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවූයේ නැත.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 300 සීමාවට පැමිණියේ අවසන් පන්දුවාර 10 දී ලකුණු 86ක් ලබා ගනිමිනි. ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක දෙකෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 115ක අගනා සම්බන්ධතාවක් එක්කළ ද ධනුෂ්ක ගුණතිලකගේ දුවද්දී දැවී යාමත්, මොහොතකින් පැතුම් නිශ්ශංක දැවී යාමත් හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම සලිත වී ගියේය. නමුත් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක දෙදෙනා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200න් ඔබ්බට තල්ලුකර දැමුවේ පසු පෙළ පිතිකරුවන්ට ලකුණු 300 ඉක්මවීමට ඇති තරම් ඉඩ තබා දෙමිනි.

නමුත්, එක් අවස්ථාවක දී ඕස්ට්‍රේලියානු ආක්‍රමණය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම 280-290 සිමාවේ නතරවන බව පෙනෙන්නට තිබුණ ද 49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජායි රිචඩ්සන්ගේ අවසන් පන්දුවාරයේ වනිඳු හසරංග ලකුණු 22ක් උදුරා ගත්තේ පළමු පන්දු 05 ම හතරේ සීමාව ඉක්මවා යවමිනි.

ක්‍රිකට් විස්තර විචාරකයන් ඊයේත් කියා සිටියේ මෙම තරඟයේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙනු ඇතැයි ද ඔවුහු කී පරිදිම දසුන් ශානක කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව නොපැකිළව පන්දුවට පහරදීම තෝරාගත්තේය.

රාත්‍රී කාලයේ පන්දුවට පහර දීමේ දී දඟ පන්දුයවන්නන් ආධිපත්‍යය දරනු ඇතැයි කරන ලද පුරෝකතනය වනිඳු හසරංගගේ කඩුළු 04 සහ දුනිත් වෙල්ලාලගේ ලබාගත් කඩුළු 02 සාක්ෂියක් වුව ද තරඟය අතරමඟ දී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ හැසිරීමේ ඇති වූ වෙනස දඟ පන්දු යවන්නන්ට යම් තරකමට අවාසියක් වූ අතර එය ඕස්ට්‍රේලියානුවන්ට සැණසිලිදායක කරුණක් විය.

අප rata.lk වෙබ් අඩවිය මෙම තරඟය ආරම්භ වීමට පෙර පැවසූ පරිදිම ලකුණු 300ක් යන්න ඕස්ට්‍රේලියාව හමුවේ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් වූයේ නැත.

තරඟයේ වීරයා ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් නම් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!