spot_img
spot_imgspot_img

රාජපක්ෂ ආණ්ඩුව, රට බංකොලොත් කළ හැටි මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි ද ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීමෙන් විශාල රාජ්‍ය ආදායමක් අහිමිවීමෙන් රට බංකොලොත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙද්දී වැරදි දේශපාලන තීන්දු සහ දේශපාලකයන්ගේ හිතවතුන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රට බංකොලොත් වූ ආකාරයට අද (25) කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ රාජපක්ෂ රජය IMF යාමේ අවශ්‍යතාවක් නැතැයි ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ සිට රටට ප්‍රකාශ කරමින් තම ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට කටයුතු කළ ද ඔවුන් හොර රහසේ ම 2020 වර්ෂයේ ම IMF ගොස් ඇති බවයි.

මෙය රටේ ජනතාවත්, පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන් ම නොමඟ යැවීමක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

“2020 මුල සිටම එවකට හිටපු මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය දිගටම කියලා තියෙනවා IMF යන්න කියලා. නමුත් IMF ණය තිරසාර නෑ කියන නිසා මේ අය IMF එක ගැන උනන්දු නොවී රටට බොරු කියලා. ඒ නිසා තමයි අද මේ තත්වයට රට ඇද වැටිලා තියෙන්නේ” ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කිවේය.

අද කෝප් කමිටුවට පැමිණි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියා සිටියේ 2020 මාර්තු – අප්‍රේල් කාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය පහසුකම් ගැනීමට ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇති බවයි. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ණය තිරසර බවක් නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුද ශ්‍රී ලංකාවට ලිඛිතව දන්වා ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුව හමුවේ කියා සිටියේය.

IMF සහය ගැනීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබී ඇත.

“මේ තීරණ අදාල තාක්ෂණික සාකච්ඡාවලින් පස්සේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන්ට අදාළල තාක්ෂණික කාරණා නිර්දේශ කරලා යවා තිබෙනවා. නමුත් අවසාන තීරණය ගන්නේ මුදල් ඇමතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින්”

ශ්‍රී ලංකවේ ආර්ථික අර්බුදය වඩාත් දරුණු වීම සඳහා පසුගිය කාලයේ විනිමය අනුපාතිකය බලෙන් ස්ථායී ලෙස රඳවා තබාගැනීම හේතුවක් යැයි සමාජයේ ඇති මතය ගැන ද මේ අවස්ථාවේ කෝප් කමිටු සභාපති චරිත හේරත් විමසා සිටියේය.

එහි දී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බවයි.

එවකට මුදල් මණ්ඩලයේ සමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ කියා සිටියේ මහබැංකු සංචිත යොදා ගනිමින් විනිමය අනුපාතිකය එලෙස ආයාසයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන ඒබ ලිඛිතව දැනුම් දුන් බවයි. නමුත්මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රඳවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහ බැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලස සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවත් ඇය අනාවරණය කළාය.

වත්මන් ආර්ථික අරුබුදය සඳහා හේතු සාධක මෙන් ම ඊට අදාළව සිය වගවකීම් පැහැර හරින ලද නිලධාීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් නිර්දේශ කළේය.

ආර්ථිකය මෙහෙයවූ කිහිප දෙනකුගේ තීරණ නිසා මුළු රටක් සහ ජනතාවත් විශාල අර්බුදයකට පත්ව ඇති බැවින් එය අපරාධයක් ලෙස සළකා කඩිනමින් මේ පිළිබඳ ක්‍රියාකළ යුතුයැයි ද හෙතෙම කීවේය.

දේශපාලන බලපෑම්වලින් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනිමේ බලය මහ බැංකුව වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහි දී කෝප් කමිටුව අවධාරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!