spot_img
spot_imgspot_img

රනිල්, ඉල්ලා අස්වීමේ සූදානමක් ගැන කියවෙයි

පුවත්

විදෙස්

ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව ප්‍රතික්ෂේප වූ පුද්ගලයකු දිගින් දිගටම රාජ්‍ය පාලනයට ඇඟිලි ගසමින් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීම හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදු ජන පෙරමුණේ ප්‍රබලයකු වන මේ තැනැත්තා තමන්ගේ බලය සහ මන්ත්‍රීධූරය අහෝසි වීමේ තර්ජනය සහ මෙතෙක් කරන ලද සියලු අක්‍රමිකතා අනාවරණය වීමේ ගැටලුව හේතුවෙන් තවදුරටත් ආණ්ඩුව අපහසුතාවට පත්කරමින් සහ ර‍ට අරාජික කරමින් සිටින බව දේශපාලන විචාරකයෝ කියති.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ අතර එමගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දැරීම් අවස්ථාව හිමි වූ අතර ජනාධිපතිවරයාගේ බලතල ද වඩාත් වර්ධනය කෙරිණි.

‍රටේ ආර්ථික සහ දේශපාලනික අර්බුදයට ප්‍රධාන හේතුව වූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් රාජපක්ෂ පවුල වටා බලය කේන්ද්‍රගත වීම යැයි ජනතාව අතර මතයක් පැතිරගිය අතර ඒ සමඟ රාජපක්ෂවරුන්ට විරුද්ධව විශාල ජනමතයක් ද ගොඩනැගෙන්නට විය.

2019 නොවැම්බර් මාසයේ දී ලක්ෂ 69ක ඡන්දයෙන් ජනාධිපතිවරයා බවට පත්වූ ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන්න යැයි ජනතා උද්ඝෝෂණ ආරම්භ වූ අතර 2005 සිට මෙරට ජනප්‍රියතම දේශපාලන නායකයකු වූ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත අගමැතිවරයා වුවද ඉල්ලා අස්වීමට සිදුවිය. එපමණක් නොව ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ දිනයේ සමස්ථ රටම දැඩි නොසන්සුන්තාවකට පත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහ මඟ ඝාතනය වී දේපළ රැසක් ද විනාශ විය.

රට අරාජික තත්වයට පත්වෙද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිධූරය බාර ගැනිමට කොන්දේසි ඉදිරිපත් කළ අතර ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට අගමැතිධූරය පිරිනමන ලදී. රනිිල් වික්‍රමසිංහ ද අගමැති ධූරය බාරගන්නා ලද්දේ කොන්දේසි කිහිපයකට ජනාධිපතිවරයා එකඟකර ගැනීමෙන් අනතුරුව බව ප්‍රකාශ විය.

මේ අතර 20 වැනි සංශෝධනය බල රහිත කරන 21 වැනි සංශෝධනය ප්‍රමුඛ කාරණයක් විය.

19 වැනි ස‍ංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මේ වනවිට 21 වැනි සංශෝධනය ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය ආයතන විගණනය කිරීම, පොලිස් කොමිසම, ප්‍රසම්පාදන කොමිසම නැවත ස්ථාපිත කිරීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරිම ඇතුළලු කරුණු රැසක් අඩංගු බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය ලබා ගැනීමට පෙර දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ කළ පැය තුනක සාකච්ඡාවේ දී  මෙම සංශෝධනය ගෙන ඒමට ජනාධිපතිවරයා එකගවී ඇතැයි වාර්තා වේ.

අනතුරුව රනිල් අගමැති වී රැස්වූ පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තැනැත්තා තම පක්ෂයේ සහචරයන් සමග ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිසිමට ඉඩ නොදෙමින් නියෝජ්‍ය කතානායක තේරීමේ අවස්ථාවේ පවා ගැටලුවක් බවට පත්කළේ යැයි දේශපාලනඥයෝම කියති. කාන්තාවක් නියෝජ්‍ය කතානයක කිරිමට සියලු දෙනාගේ අනුමැතිය හිමිව තිබිය දී එය නොතකා ඔහු අජිත් රාජපක්ෂගේ නම යෝජනා කර ඔහුට නියෝජ්‍ය කතානායක වීමට අවස්ථාව සළසා දුන් බව දැන් ප්‍රසිද්ධ රහසක් වී තිබේ. එමගින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ රනිල් අගමැති වුව ද තම පදයට නැටිය යුතුය යන අනතුරු ඇඟවීම සිදුකිරීමයි.

මේ වන විටත් 21 වන සංශෝධනයේ වැදගත්ම වගන්ති ඉවත් කිරීමට දැඩි බලපෑමක් එම පුද්ගලයා විසින් මුල් පුරවැසියාට එල්ල කරමින් සිටින අතර ඉහල පුටුව ඔහුට තව දුරටත් අවනත වෙමින් 21 ගෙන ඒමෙන් අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ඉඩ නොදෙන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් අස්වීමට ද නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේ වුවහොත් රටේ දේශපාලනය යළි අරාජික වනු ඇතැයි ද මේ වනවිට ගොඩනැගෙමින් පවතින ජාත්‍යන්තර විශ්වාසය යළි බිඳ වැටෙනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ කියති.

එසේ වුවහොත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින එම දේශපාලනඥයා තවදුරටත් තම කාර්යයන් ඉදිරියට කරගෙන ගිය ද ශ්‍රී ලාංකික ජනතාවට බරපතල ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙපන්වා දෙති.

ඔවුන් පවසන්නේ මේ අවස්ථාවේ රට සහ ජනතාව යන්නට මූලිකත්වය දී සියලු දේශපාලකයන් සහ පක්ෂ කිසිදු බේදයකින් තොරව ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩඒම සඳහා කැපවී කටයුතු කිරීම අවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!