spot_img
spot_imgspot_img

21‍ වැනි සංශෝධනයට සිදුවන්නට යන දේ මෙන්න. රාජපක්ෂලාට ප්‍රතිසංස්කරණ එපා ද ?

පුවත්

විදෙස්

රටේ ඇති වූ ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය හමුවේ එයට ඉදිරිපත් වූ විසඳුම් අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමේ යෝජනාව ද ඉදිරිපත් විය.

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල වටා බලය කේන්ද්‍රගත වීමට ඉඩ ලබාදුන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ සාධනීය කරුණු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කිහිපයක් ගෙන ඒම මෙම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත්ව තිබිණි.

ඒ අතර විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීම, අගමැති ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයේ බලය වැඩි කිරීම, ස්වාධීන කොමිෂන් සභා යළි බලාත්මක කිරීම හා නව කොමිෂන් සභා කිහිපයක් පිහිටුවීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව අහිමිකිරීම යන කරුණු පිළිබඳ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දක්වා තිබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයේ රාජකාරී බාර ගනිමින් ප්‍රකාශ කළේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මණින් ගෙන එන බවයි. මේ සඳහා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩයාම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ද සහය දෙන බවට ප්‍රකාශ කෙරිණි.

ඒ වනවිට ජනතා උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨය වූයේ ගෝඨා ගෝ හෝම් යන්නයි. අදට ද එම උද්ඝෝෂණය අඛණ්ඩව පැවැත්වෙන අතර රට පුරා නැගී ආ උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් අඩුවීමට ද 21 වැනි සංශෝධනය ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ පවුලේ බලය අඩු කිරීමේ අපේක්ෂාව ද හේතු විය.

ඒ අතර 21 වැනි සංශෝධනය සම්බන්ධ යෝජනාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අද (23) පැවැත්වෙන ගෝඨාභය – රනිල් නව ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීමට ද මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබිණි.

එසේ වුව ද දැන් රට යම් තරමකට සමනය වීමත් සමඟ යළි රාජපක්ෂ කඳවුර 21 වැනි සංශෝධනයෙන් ගෙන එන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට එරෙහිවන බවක් පෙනෙන්නට තිබේ.

එම සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (22)ව්ශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 21 ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත අද ඉදිරිපත් නොකර, තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වූ බව දැනගන්නට ඇත.

මේ අතර ,විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (23) සවස සාකච්ඡාවක් පැවැත්වෙන අතර, නිති විශාරදයන් ලෙස පිළිගැනෙන විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් සහ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ යන ද ඊට සහභාගි නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ජනතා අරගලකරුවන් දිගින් දිගටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටින අතර ඔවුන් සෘජුව කියා සිටින්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදෙන කිසිම මන්ත්‍රීවරයකුට ගමට නො‍එනෙ ලෙසයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වූ අවස්ථාවේ දී රටට, ජනතාවට පොරොන්දු වූ පරිදි 21 වැනි සංශෝධනය සිදු නොවන්නේ නම් රට නැවතත් ජනතා අර්බුදයකට යාම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද අරගලය නැවත තීව්‍ර වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!