spot_img
spot_imgspot_img

ජනපති ඉවත් නොවනවා නම්, කරන්න ඕනෑ දේ රනිල් වික්‍රමසිංහ කියයි

පුවත්

විදෙස්

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳ බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ ආර්ථික අර්බුදය විසඳීමේ පූර්ණ වගකීම දැරිය යුත්තේ පාර්ලිමේන්තුව බව ඔහු පෙන්වාදෙයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ සඳහා යෝජනා 12ක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ඉවත් නොවන්නේ නම් ජනතාවට කරන දේ කියන්න

දැන් ජනතාවට ජනාධිතිවරයා ගැන විශ්වාසය නැති‍ වෙලා. ඒ නිසා ජනාධිපතිවරයා තමන් ඉවත් වන්නේ නැතිනම් මේ විශ්වාසය ඇතිවෙන්න තමන් කරන්නේ මොනවා ද ? ගන්න පියවර මොනවා ද කියා ජනතාවට පැහැදිලිව ඇත්ත කිව යුතුයි. ඒ කරුණු සම්බන්ධයෙන් ජනතාව සෑහීමකට පත්වෙනවා නම් ප්‍රශ්නය එතැනින් ඉවරයි.

කැබිනට් මණ්ඩලය

කැබිනට් මණ්ඩලයක් ඉක්මණින් පත්කරන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශ්වාසයක් දිනාගත හැකි කැබිනට් මණ්ඩලයක් අපිට අවශ්‍යයි. විශ්වාසය නැතිනම් මේ මොනවත් කරන්න බැහැ.

සිවිල් කටයුතු සඳහා හමුදාව යොදාගන්න එපා

ශ්‍රී ලංකාව තුළ සිවිල් බලය තියෙනවා. එය බිඳ වැටී නැහැ. ඒ නිසා ජනතාව පාලනය කරන්න හමුදාව යොදවන්න එපා. හමුදාව කැඳවන්න ඕනෑ කරන්නේ සිවිල් බලය නැති අවස්ථාවක දී. අපේ හමුදාවට ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළ නොහැකි බව අපි දින 52ක කාලයේ දී දැක්කා

මුදල් බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවට ගත යුතුයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 යටතේ මුදල් පාලනය කරන්න ඕනෑ පාර්ලිමේන්තුව. මූලික වශයේන මේ වගකීම් යන්නේ කැබිනට් මණ්ඩලයට. ඔවුන්ට ඒක ප්‍රශ්නයක් නම් එය පාර්ලිමේන්තුවට ගන්න 148 වගන්තිය අනුව පුළුවන්. මේ රටේ මුදල් පාලනය කරන්න යෝජනා ගේන්න පුළුවන්. අද මේ ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ නිලධාරීන් දෙතුන් දෙනකු නිසා. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් අපිට මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන සැළැස්මක් හදන්න පුළුවන්

පාර්ලිමේන්තුවෙන් දඩුවම් ලැබිය යුතු නිලධාරීන්

මේ ප්‍රශ්න ඇතිවුණේ කොහොම ද කියලා පාර්ලිමේන්තුව සොයා බැලිය යුතුයි. ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්න. කවුද ඩොලරය පා කරන්න මේ වොවේ තීරණය කළේ. රුපියල් ඩොලරයට සාපේක්ෂව 50%කින් විතර අවප්‍රමාණ වෙලා තියෙනවා. නමුත් එම ප්‍රමාණය 5%කට වඩා වෙනස් වෙනවානම් එවැනි තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුයි. එහෙම අනුමැතියක් ගත්තා ද ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කීවා මේ සඳහා කාලයක් අරගෙන කරන්න කියලා. නමුත් මේ තීරණ මූල්‍ය මණ්ඩලය දන්නෙත් නෑ. මේ තිරණ ගැන මුදල් කාරක සභාවට කියලත් නෑ. මේවට වගකියන්න ඕනෑ කවුද ? මේ නිසා ආර්ථිකය නැත්තටම නැති වුණා. මේ තීරණ ගත්තු අයට පාර්ලිමේන්තුවෙන් දඩුවම් ලබාදිය යුතුයි.

IMF යන්න එපා කිව්වේ කවුද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න එපා කිව්වේ කවුද කියා සොයන්න තේරීම් කාරක සභාවක් පත්කළ යුතුයි. අපි මේවා හොයන්න ඕනෑ. 2021,2022 වර්ෂවල ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන්, ඉතිරි කිරීමේ බැංකුවෙන් ආදායම් පෙන්වන්න රුපියල් ට්‍රිලියනයක් විතර අරන් තියෙනවා. ඒක හරියට බංකොලොත් සමාගමක් කරනවා වගේ. අද මොකක් ද වෙලා තියෙන්නේ අද ආර්ථිකය දුවන්නේ රිම් එකෙන්. මාසයක් විතර යනකොට රිම් එකෙන් යන්නත් බැරිවෙයි.

ඉන්දියාවෙන් ගත් ණය අවසන් වූ විට ?

ඉන්දියාවෙන් දෙන මුදල් අවසන් වූ විට නැවත අපිට අමාරු වෙනවා. ඉන්ධන හිඟය නැතිකරන්න නම් එකවර නැව් 04ක් අවශ්‍ය වෙනවා. ඉන්දියාව දුන් ඩොලර් මිලියන 500න් මිලියන 250ක් දැනටත් අවසන් වෙලා. අපිට ජූළි මාසයේ ඩොලර් බිලියනයක් ආපසු ණය ගෙවන්න අවශ්‍ය වෙනවා. මැයි මාසයෙන් පසු ගෙවන්න මුදල් නෑ. පුද්ගලික අංශයත් වහන්න වෙනවා. මේ නිසා මුදල් වගකීම ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුව භාර ගත යුතුයි.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම අවශ්‍යයි. ඔවුන්ට මේ සම්බන්ධයේන අත්දැකීම් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව පැත්තෙන් යවන කෙටුම්පත මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න. අපේ රට දුවන්න මුදල් නෑ. ‍ලෝක බැංකුව එක්ක, ආසියානු සංවර්ධන බැංකුව එක්ක අපි හොඳ හිතින් සාකච්ඡා කරන්න ඕනෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න පියවර ගන්නා විට ඔවුන් තුළත් විශ්වාසයක් ගොඩ නැගේවි. ඔවුන් හරහා ඩොලර් මිලියන 500ක් 600ක් හොයාගන්න පුළුවන්.

ආධාර සමුළුවක් ගැන යෝජනාවක්

අපිට පුළුවන් ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, යුරෝපා සංගමය වැනි අපට හිතවත් රටවලින් ආධාර ගැනීම සඳහා සමුළුවක් කැඳවන්න. ඒ සඳහා ලෝක බැංකුවත් උදව් කරාවි. අපි ඒ සඳහා ඉල්ලීමක් කරමු

අසල්වැසි රටවලින් ආහාර ඉල්ලමු

දැන් බරපතල ම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ආහාර හිඟය. අපි මෙයට විසඳුම් සෙවිය යුතුයි. සාක් පාර්ලිමේන්තුවට ගිහින් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රවටලින් ආහාර ඉල්ලන්න. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපිටත් කරන්න පුළුවන් දෙයක්. ඉන්දියාව චීනය වගේ කිහිප ගුණයකින් වැඩි විශාල ජනගහණයක් ඉන්න රටවලට අපිට උදව් කිරීම පහසු දෙයක්. ඔවුන් එය කරාවි

අනවශ්‍ය වියදම් නැති කරන අයවැයක්

රජය අලුත් සහන අයවැයක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. අනවශ්‍ය සංවර්ධන වියදම් නවතා දමලා රාජ්‍ය මූල්‍ය කමිටුව තවත් ශක්තිමත් කරන්න ඕනෑ. ආදායම් වැඩි කිරීමේ වෙනම පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතුයි.

ණය කළමනාකරණ වැඩසටහනක් අවශ්‍යයි

දැන් ණය ගෙවා ගන්න නොහැකි වී තිබෙනවා. මේ නිසා ණය ගත් රටවල් සහ ආයතන සමඟ සාකච්ඡා කරලා මේ ණය නැවත කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට අපි යා යුතුයි.

අලුත් මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් දෙන්න

‍මන්ත්‍රීවරුන් අවිශ්වාස කරන්න එපා. පසුපෙළ මන්ත්‍රීවරු ඇයි අවිශ්වාස කරන්නේ. ඔවුන්ට වගකීම් දෙන්න. කමිටු 20ක් විතර පත්කරන්න. මන්ත්‍රීවරුන්ට ඒවායේ වැඩ කරන්න දෙන්න. ඒ කමිටුවලින් බහුතරයක සභාපතිකම් බහුතරයක් ආණ්ඩුවට ගන්න. අලුත් මන්ත්‍රීවරු 60-70ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවන්ට කිසිදු වගකීමක් නෑ. දුක හිතනෙවා ඒ ගැන. ඔවුන්ට වගකීම් දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!