spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්

පුවත්

විදෙස්

ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි.

ජනාධිපති ධූරයට ගෝඨාභය රාජපක්ෂ පත්වීමෙන් පසු පවත්වන ලද මහ මැතිවරණයේ දී තනි කණ්ඩායමක් ලෙස ඔවුන්ට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් හිමි වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය ගෙන එමින් ජනාධිපතිවරයාගේ විධායක බලතල ද තවත් තහවුරු කරගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය පැවැති ආකාරය

නමුත් මේ වනවිට ශ්‍රී ලංකාව වසර 70කට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුත ම මූල්‍ය අර්බුදයට ලක්ව සිටී. දිවයිනේ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල මාර්තු මාසයේ දී පඹණක් අවම වශයෙන් 30%කින් ඉහළ ගියේය.

මිලියන 22ක ජනතාවක් සිටින රටේ දැන් මූලික අවශ්‍යතා සඳහා වැයවන මුදල අතිවිශාලය. එය ජනතාවට දරාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

මේ අතර රටේ ඉන්ධන අර්බුදයක් හටගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට විදේශ මුදල් සංචිත නොමැතිවීමෙනි. ඉන්ධන රැගෙන එන නැව් සඳහා මුදල් ගෙවාගත නොහැකිව දින ගණන් එම නෞකා කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා සිටින තත්වයට පත්ව තිබේ. රට පුරා පවතින වියළි කාලගුණික තත්වය හේතුනේ ජල විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් ජල සංචිත නොමැතිවීමත් ඉන්ධන විදුලි බලාගාරවලට ඉන්ධන නෙැලබීමත් හේතුවෙන් පසුගිය දිනවල දී දිනයේ අඩකට වඩා වැඩි කාලයක් විදුලිය නොමැතිව සිටීමට ශ්‍රී ලාංකීය ජනතාවට සිදුව තිබිණි.

ශ්‍රී ලංකාව වැඩිම විදේශ විනිමයක් උපයන්නේ සංචාරක කර්මාන්තයෙනි. නමුත් රටේ ජීවන වියදම බොහෝ දෙනකුට දරාගත නොහැකි වී ඇත. මේ නිසාම ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් සංඛයාත පිරිස් පසුගිය දා රට පුරා දැවැන්ත විරෝධතාවලට වීදි බැස සිටියහ. ඒ විරෝධතා රැල්ල තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මහජන කෝපය හමුවේ සඳුදා අමාත්‍ය මණ්ඩලයේ අගමැතිවරයා හැර අන් සියලු දෙනා ම ඉල්ලා අස්වූ අතර නව මුදල් ඇමතිවරයකු පත්කර ගන්නා ලදී. අඟහරුවාදා ඔහු ද ඉල්ලා අස්වූයේය. මහ බැංකු අධිපතිවරයා ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඉල්ලා අස්වූ අතර මහබැංකු අධිපතිවරයාට රටින් පිටවිම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණි.

ඉල්ලා අස්වූ බව කියූ මුදල් ඇමති අලි සබ්‍රි සිකුරාදා කියා සිටියේ තමන් ඉල්ලා අස්වුව ද වෙනත් අයකු ඒ සඳහා පත්කිරීටම නැති නිසා තමන් තවදුරටත් එම ධූරයේ වැඩ කරන බවයි.

පවතින අර්බුදය සතිය පුරාම විවාදයට ගන්නා බව පාර්ලිමේන්තුව ප්‍රකාශ කළ ද පාර්ලිමේන්තුවේ විවාදවලට සවන්දුන් විට පෙනී ගියේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ නියෝජිතවරු එකිනෙකාට චෝදනා කරගන්නවා හැර මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිදු ප්‍රතිඵලදායක යෝජනාවක් සිදු නොකළ බවයි.

මේ අතර සිකුරාදා දහවල් වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකට අත්සන් තැබීම ආරම්භ කර තිබිණි. පාර්ලිමේන්තුව ද ලබන 19 වැනි දා දක්වා කල් තබා තිබේ.

විරෝධතා කරුවෝ පාර්ලිමේන්තුව රැස්වූ අඟහරුවාදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම පාර්ලිමේන්තු මාර්ගය හරස් කර එය වටකළහ. පොලිසිය ජල ප්‍රහාර සහ කඳළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් මැඩලීමට කටයුතු කරන ලදී.

විදේශ ණය වැඩිවීම

විදේශ විනිමය හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය යන රටවලින් කෙටිකාලීන ණය ලබාගෙන තිබේ. 2021 ජුනි මාස‍යේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ණයට දුන් අතර නැවත දෙසැම්බර් මාසයේ දී එම ණය මුදල අලුත් කළේය.

2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටියේ සිය ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසයි. නමුත් චීනය එය ප්‍රතික්ෂේප කරමින් ණය ගෙවීම සඳහා තවත් ණය මුදලක් ලබාදීමට එකඟතාව ප්‍රකාශ කළේය. ණය ගෙවීම සඳහා චීනයට ම ණය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. පෙබරවාරි මාසයේ දී තෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ණයට ගැනීමට සිදුවිය. මාර්තු 18 වැනි දා ඉන්දියාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ‍සඳහා ගෙවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ණය මුදලක් ලබා දුන්නේය.

පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතවල තිබුණේ ඩොලර් බිලියන 2.31ක් පමණක් බව මහ බැංකුව පවසයි. ජූලි මාසයේදී කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල (ISB) ඩොලර් බිලියන 1 ක් ඇතුළුව – 2022 දී ඩොලර් බිලියන 7 ක පමණ ණය ගෙවීමක් නියමිතව තිබේ. මෙම ගෙවීම් සඳහා ශ්‍රි ලංකාවට ඇති ඩොලර් හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7කි. මේ මුදල ජූලි මාසය වනවිට සොයාගැනීමේ දැවැන්ත ගැටලුවකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අතර දැනටමත් බංකොලොත් වූ ආර්ථිකයක සිටින ශ්‍රී ලංකාවව තවදුරටත් කඩා වැටීම වැළැක්වී පහසු නොවනු ඇත.  

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ශ්‍රී ලංකා ණය ඩොලර් බිලියන 12.55ක් වන අතර චීනය, ජපානය හා ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණයවල ප්‍රධාන කොටස්කරුවන් වෙයි.

පසුගිය මාසයේ රටේ ආර්ථිකය පිළිබඳ සමාලෝචනයක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පැවසුවේ රාජ්‍ය ණය “තිරසාර නොවන මට්ටම්” කරා පැමිණ ඇති බවත් විදේශ විනිමය සංචිත ආසන්න කාලීන ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවන බවත් ය.

ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම

2021 වර්ෂයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍යවල මිල 30.2%කින් වැඩි වී තිබේ. එය තාක්ෂණික වචනවලින් කියන්නේ නම් ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 30.2% කි.

2018 වර්ෂයට සාපේක්ෂව 2019 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සෘණ 1.4%ක් හෙවත් ආහාර මිල 1.4%කින් අඩු වූ බව බොහෝ දෙනකුට දැනී නැත.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දේශීයව නිපදවන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා බොහෝ දෙනකුට දැරිය නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන සුදු සහල්වල මිල 2019ට සාපේක්ෂව 2022 වනවිට 93%කින් ඉහළ ගොස් ඇත.

ආහාර උද්ධමනය
ආහාර උද්ධමනය

මහනුවර නගරයේ වෙසෙන ආබාධිත ස්වයං රැකියාවක නියුක්ත කාන්තාවක් වන නිශා ශාරි පැවසුවේ තමාට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීම අතිශයින් දුෂ්කර බවයි.

“මට ඇවිදීමේ ගැටළු තිනෙ නිසා මට පොදු ප්‍රවාහනය භාවිතා කරන්න බැහැ. ඒ නිසා මම සාමාන්‍යයෙන් එහා මෙහා යාමට ත්‍රිරෝද රථයක් භාවිතා කරනවා. ඉන්ධන මිල ඉහළ ගිය දා සිට නිවසින් නගරයට එන්න රුපියල් 1,000ක් වැය වෙනවා. මේක දරාගන්න පුළුවන් මුදලක් නෙවෙයි.” ඇය පැවසුවාය.

“මට වැඩිහිටි ඩයපර් සහ අනෙකුත් සෞඛ්‍ය උපාංග අවශ්‍යයි නමුත් මේවායින් සමහර ද්‍රව්‍ය දැන් මිලදී ගන්න තැනක් නෑ. මේ තත්ත්වයත් එක්ක පෝෂණීය ආහාර වේලක්වත් ගන්නත් අමාරුයි.”

මෙම අර්බුදය රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ද අගාධයට තල්ලු කර ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් 85%ක් පමණ ආනයනය කරනු ලැබේ.

දිගුකාලීන විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම පවා අපහසු වී ඇත. ඇතැම් රෝහල්වල විදුලි උත්පාදක යන්ත්‍ර නොමැති අතර තිබුණ ද ප්‍රමාණවත් විදුලි බල සැපයුමක් එම විදුලි උත්පාදන යන්ත්‍රවලින් කෙරෙන්නේ නැත.

රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ පමණක් නොව කැතීටර් සහ අත්වැසුම් වැනි අනෙකුත් වෛද්‍ය උපකරණ ද අඩු වෙමින් පවතී.

ඉන්ධන සහ ගෑස් මිල  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2021 වර්ෂයේ දී රුපියල් 137.00 ලෙස තිබූ පෙට්‍රල් ලීටරයක මිල මේ වනවිට රුපියල් 254.00ක් දක්වා ඉහළ නංවා තිබේ. ඩීසල් මිල ද 2021 වර්ෂයේ තිබූ රුපියල් 104.00 සිට රුපියල් 176.00ක් දක්වා ඉහළ දමා ඇත.

කිලෝ ග්‍රෑම් 12.5 ක සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 2021 දී රුපියල් 1,493.00 සිට රුපියල් 2,750.00ක් දක්වා ඉහළ නංවා තිබේ. බොහෝ ශ්‍රී ලාංකිකයන් දර සහ භූමිතෙල් යන විකල්ප වෙත මාරු වෙමින් සිටින්නේ තමන් ආහාර සැකසීමේ කටයුතු දැන් දැරිය නොහැකි තරම් අධික ලෙස ඉහළ ගොස් ඇති බැවිනි.

මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ අධික මිලක් ගෙවා ගන්නා ආහාර ද්‍රව්‍ය තමන්ට කෑමට හැකිපරිදි සාදා ගැනීම පවා අසීරු වී ඇති බවයි. විදුලිය සහ ගෑස් භාවිතා කරන ක්ෂුද්‍ර ව්‍යවසායකයන් ඇතුළු සියලු ව්‍යාපාර දැන් දැඩි දුෂ්කරතාවට ලක්ව සිටින බව ද ඔහු කියා සිටියේය.

“ආර්ථික ප්‍රතිසංස්කරණ වේදනාකාරී වේවි. එබැවින් දිළිඳු ජනතාව ඉහළ යන ජීවන වියදමෙන් ආරක්ෂා කිරීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දුර්වල මුදල් සහ වාර්තාගත උද්ධමනය

ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම විශාල ලෙස කඩා වැටී ඇති අතර එය දැනට ලෝකයේ වඩාත් වේගයෙන් කඩා වැටීමට ලක්වෙමින් තිබෙන දුර්වත ම මුදල් ඒකකය බවට පත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසර දෙක තුළ මුදල් සැපයුම 40%කින් වැඩි කර තිබේ. වෙනත් ආකාරයකින් කියතහොත් ශ්‍රී ලංකා රුපියල් මුද්‍රණය කර වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. මේ නිසාම රුපියලේ වටිනාකම දිගින් දිගටම බාල්දු වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර ආණ්ඩුව රුපියල දැඩි ලෙස අවප්‍රමාණ කළ අතර රුපියලේ වටිනාකම වේගයෙන් අහිමිවී ගියේය.

ශ්‍රී ලංකාව නිල වශයෙන් ඩොලරයක් රුපියල් 310.00කට පමණ මිල දී ගන්නා නමුත් නීත්‍යානුකූළ නොවන වෙළෙඳ පොළෙහි (Black Market) ඩොලරයක් රුපියල් 350.00කට වැඩි අගයක් ගනී.

මාර්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 18.7% දක්වා ඉහළ ගියේය, එය පෙබරවාරි මාසයේ පැවති 15.1% සිට බැලූ විට 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයෙන් පසු වැඩිම උද්ධමනයක් වාර්තා වූ අවස්ථාව ලෙස හඳුනාගෙන තිබේ.

2008 වසරේ සිට ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉලක්කම් දෙකේ සීමාවකට ඇතුළු වී තිබුණේ නැත. ආහාර උද්ධමනය ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දිනක 15% ඉක්මවා නොතිබුණි.

COVID-19 වසංගතය හේතුවෙන් බොහෝ ව්‍යාපාරවලට ආදායම් ප්‍රමාණවත් තරම් නොලැබී ගිය අතර සුළු ආදායම්ලාභී පවුල්වලට ද එය හානිකර ලෙස බලපෑවේය.

වසර ගණනාවක් තිස්සේ උද්ධමනය අඩු මට්ටමක තබා ගැනීමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා යොදා තිබූ මිල පාලනය ඉවත්කිරීමට රජය 2021 ඔක්තෝබර් මාසයේ දී ගත් තීරණනය මෙලෙස සියලු භාණ්ඩවල මිල අධික ලෙස වැඩිවීමට හේතු විය.

2020 මාර්තු මාසයේ දී ආනයනය තහනම් කිරීම, කාබනික කෘෂිකර්මාන්තය වර්ධනය කිරීම සඳහා ‍ගත් අනුවණ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙන්ම ගෝලීය භාණ්ඩ මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ උද්ධමන තව තවත් තීව්‍ර කරන ලදී.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් සෘජු චෝදනා එල්ල වී ඇති ආන්දෝලනාත්මක හිටපු මහ බැකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා අස්වීමත් සමඟ ඉල්ලා අස්වූ අතර දැන් එම තනතුර සඳහා බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල විද්වතකු වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්ව සිටියි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මහ බැංකුවේ විශ්වසනීයත්වය වැඩි කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය වෙත මුදල් අධිකාරිය නැවත පැමිණෙනු ඇතැයි දැන් විශ්වාසයක් ඇති වී තිබේ.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්ව සිටියි.  

ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙස මහජනයාගෙන් කෙරෙන ඉල්ලීම් සඳහා තවමත් ප්‍රතිචාරයක් නැති අතර රට පුරා විරෝධතා දිගින් දිගටම සිදුවෙමින් පවති.

ශ්‍රී ලංකාව ලබන සතියේ සිය සංස්කෘතික සමාජ සංස්ථාවේ විශාලතම උත්සවය වූ  සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට පිවිසෙන නමුත් අහස උසට නැඟෙන මිල ගණන්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් සහ විසඳුම් නොමැතිකම සමඟ ආර්ථික හා දේශපාලන නරාවළෙහි තවදුරටත් පත්ලටම කිඳා බසිනු ඇත.

අලි ජසීරා වෙබ් අඩවියේ පළ වූ ලිපියක් ඇසුරෙන් සජීව විජේවීර විසින් සකසන ලද ලිපියකි.

අල් ජසීරා වෙබ් අඩවියේ පළ වූ ලිපිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!