spot_img
spot_imgspot_img

ර‍ටම කියවිය යුතු මැකෝගේ විග්‍රය – අර්බුදය හැදුණු හැටි, ගොඩ එන හැටි පැහැදිළි කරයි

පුවත්

විදෙස්

සීමා නිර්ණය කොමිෂන් සභාවේ වත්මන් සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය (මැකො) කරන ලද ප්‍රකාශයකි

අපේ රට තවම 100%ක් අරාජික වෙලා නෑ. ආණ්ඩුව තියෙනවා. පාර්ලිමේන්තුව තියෙනවා, ජනාධිපති ඉන්නවා, විපක්ෂය ඉන්නවා. නමුත් දැවැන්ත ආර්ථික අර්බුදයකට රට ගිහින් තියෙනවා. ඒ වගේ ම ආණ්ඩු පාලනයට ජනතාවගේ විශාල විරෝධයක් දේශපාලන ආගමික ජාති බේදයකින් තොරව එල්ලවෙලා තියෙනවා.

මේ වගේ තත්වයක් ඇතිවේවි කියලා කවදාවත් හිතන්න නැතිව ඇති 1953 හර්තාලයෙන් පස්සේ තමයි මේ වගේ විරෝධතාවක් දකුණේ ජනතාව දකින්නේ.

මේකට හේතුව වෙන්නේ රටේ දේශපාලන බලය තියෙන අයට හැමදාමත් යම් පිරිසකගේ විරෝධයක් තියෙනවා. මේ ආණ්ඩුවට විශාල බලයක් තිබිය දී ක්‍රමයෙන් ආපු ආර්ථික ප්‍රශ්න හමුවේ රටේ ඇති සැබෑ තත්වය පැහැදිලි නොකිරීම නිසා විශේෂයෙන් ම ජනතාව, වෘත්තීයවේදින්, තරුණයන් කෙරෙහි ඇති වූ පිඩනය මේ පිටවෙනවා. දැන් හැම දේම ගැන විශ්වාසය කඩවෙලා. ඒ නිසා වෙනසක් බලාපොරොත්තු වෙනවා.

මේක රැල්ලක් තමයි නමුත් මෙහෙයවීමක් නෑ. මේ තත්වය පීඩනය තමන්ට එනවිට සිදුවන දෙයක්. තමන්ට ප්‍රශ්න එනකොට මෙහෙම වෙනවා. ආණ්ඩුවේ හොඳ කියපු අය මම දැක්කා, නමුත් ගොයම් කපාගන්න බූතයට ගහන්න ඩීසල් නැති වුණාම ඔවුන්ට ප්‍රශ්නයක් ආවම ආණ්ඩුවට එරෙහි වෙන්න පටන් ගත්තා. මේක පිටිපස්සේ එන්ජීඕ කුමන්ත්‍රණ, බටහිර කුමන්ත්‍රණ, ඉන්දීය කුමන්ත්‍රණ, චීන කුමන්ත්‍රණ මොනවත් නෑ.

වත්මන් ආණ්ඩුව පමණක් නෙවෙයි මේකට වගකියන්න ඕනෑ, හිටපු අගමැතිතුමා කිව්වා වගේ විජය රජ්ජුරුවන් දක්වා යන්න වෙනවා. මේක ටික ටික ඇති වූ දෙයක්. මූල්‍ය කළමනාකරණය නොවීම. පාර්ලිමේන්තුවේ බලය විධායක ජනාධිපති ක්‍රමය හරහා මාරුවීමෙන් ඇති වූ වෙනස් වූ බල කේන්ද්‍රය නිසා පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණය, හිතෙන හිතෙන විදියට රැකියා දීම්, මාරුකිරීම්, ඉඩම් දිම් හැම දේටම දේශපාලනය ඇඟිලි ගැහුවාම, 1988-89 කාලයේ තරුණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම. විභාග වලින් රැකියා නොදීම මේකට හේතුව බව පේනවා. තරුණයන්ට අවස්ථාව දුන්නේ නෑ. දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිවීම තමයි මේකට මුල.

බලය වැඩිවීම නිසා මේක කළමනාකරණය කරන්න බැහැ. එතකොට වැඩේ ෂවුර් කියලා හිතනවා. මේ අසීමිත බලය නිසා වැඩේ වරද්ද ගන්නවා. බලය පවත්වාගෙන යන්න අමාරුනම්, බලය අඩුනම් කල්පනාවෙන් ඉන්නවා. එතකොට හරියට කළමනාකරණය කරනවා. ජනතාවට ඇත්ත කියන්න ඕන. ඇත්ත කිව්වනම් මේ ප්‍රශ්නය නෑ, දැන් පොහොර ප්‍රශ්නයේ දී ඇත්ත කියවුණේ නැහැනේ. ඒ එක්කම අර රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල නිසි ලෙස තෝරාගත් අයට නොදී ගමේ ඉන්න හිතවත් අයට දෙන්න ගත්තා. ලංකාවේ රැකියා දීමේ දී 1991 දී කිව්වා දේශපාලන සුදුසුකම් නැතිව රැකියා දෙන්න ඕන කියලා. ඒකෙන් තරුණ අසහනය නැති කරන්න. දැන් මෙහෙම වුණාම තරුණ අසහනය වැඩි වෙනවා.

ඊළඟට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති ගැටලු, සමූපකාර ක්ෂේත්‍රයේ ඇති ගැටලු ඒවා විසඳුවේ නැහැනේ. ගමේ නිෂ්පාදන අළෙවි කරගන්න ගමත් එක්ක කතා කළේ නැහැනේ. ඒ වගේම පිටරටින් එන ඩොලර් ප්‍රමාණය වැඩිකරගන්නයි. අපෙන් යන එක අඩු කරගන්නයි. අපි ගෙන්වන ඒවට ගෙවන ප්‍රමාණයට වඩා අපේ නාස්තිකාර ඩොලර් වියදම් පාලනය කරන්න පුළුවන්. ඒවා පාලනය නොකිරීම, බදු අඩු කිරීම වගේ දේවල් නිසා මේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටුණා.

කොහෙවත් තිබුණු කොරෝනා කඩා වැටීමත් මේකට බලපෑවා. යුද්ධයකුත් ආවා. නමුත් මේ කරුණු නිසා අපිට අමාරුයි කියලා ජනතාවට කිව්වනම් හොඳයි. මෙවැනි තත්වයක් තිබිය දී විශේෂඥයන්ගේ උපදෙස් ගත්තේ නෑ. ජනාධිපති අගමැති විතරක් නෙවෙයි නිලධාරීන් පවා මේකට වගකියන්න ඕනෑ.

මෙ අරගලය ජනාධිපතිවරයාට එරෙහි සටනක් වෙලා තියෙනවා. මේ ලෝකයම දන්නවා තරුණයන්ට තමයි ලෝකය අයිති. මේ ලෝකය තරුණයන්ගේ. අවසාන විග්‍රහයේ දී මේක තරුණයන්ගේ පමණයි කියලා මාඕ සේතුං පවා කිව්වා. ඒ අයගේ ජීවිතය තව අවුරදුු 20කින් කොහොමද තියෙන්නේ කියලා ඒ ගොල්ලෝ හිතන්න ඕනෑ. පරිසරය විනාශ වීම, ගෝලීය උණුසුම ගැන පවා ලංකාවේ තරුණයන් දන්නවා. ඒ අය අතර සාකච්ඡා වෙනවා. ඒ පීඩනය තමයි පිටවෙන්නේ. ඒක ස්වභාවික එකක්. මේ අරගලය හේතුව ඒකයි

මම කියන්නේ නෑ ජනාධිපති ඉවත්වෙන්න ඕන කියලා. නමුත් ජනතාව කියනවා. ඕනෑම වෙලාවක කතානායකට ලිපියක් ලියලා ඉවත්වෙන්න පුළුවන්. ඉවත් වෙනවා කියන එක උපකල්පනයක්. ජනාධිපතිවරයා විදේශ ගත වුණොත් වැඩබලන ජනාධිපතිවරයෙක් ලෙස අගමැතිවරයා හෝ එතුමාට බැරිනම් කනතානායක පත්කරන්න ඕන. ධූරය හිස්වුණොත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙක් තෝරාගන්නා තුරු අගමැතිවරයා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතුයි. යම් අවස්ථාක දී ජනාධිපතිවරයා ධූරය හිස් කළහොත් එතැන දී වැඩ බැලීමට පත්වන අගමැතිවරයාට ජනාධිපති ධූරයට පත්වූ පුද්ගලයා ධූරයට පත්වන අවස්ථාවේ තිබිය යුතු සුදුසුකම් තිබිය යුතුයි. මා මෙය කියන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත්වේයැයි උපකල්පනය කරලා නෙවෙයි. මෙවැනි අවස්ථාවක දී තීරණය කරන්න වෙන්නේ අපිට නෙවෙයි ව්‍යවස්ථාව ගැන අර්ථ නිරූපනය කරන්න බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණයට. අගමැතිට ජනාධිපතිවරයාගේ වැඩ අවාරණය කරන්න බැරිනම් ඊළඟ අවස්ථාව එන්නේ කතානායකවරයාට. නමුත් පසුව පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තිකයකු තෝරා පත්කරගැනීමට අවශ්‍යයි. කාටවත් මේ ව්‍යවස්ථාවෙන් බැහැර වෙන්න බැහැ.

ජනාධිපතිවරයාට පුළුවන් වසර දෙකහමාරක් ගියාට පස්සේ විසුරුවා හරින්න. තවම පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් ගත වෙලා නෑ. නමුත් හෙට වුණත් බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. ඒ ප්‍රතිපාදන ‍තිබුණත් අපිට මේ වෙලාවේ හදිසි මැතිවරණයට වඩා අවශ්‍ය වන්නේ මේ ආර්ථික අර්බුදය විසඳන වැඩපිළිවෙලක්. අපේ ආර්ථිකය අනුව මේ වෙලාවේ අපිට මැතිවරණයකට යන්න බැහැ.

අන්තර්කාලීන රජයක් හදන්න ගියොත් අපිට මෙච්චර නියෝජිතයෝ ඕන අපිට මේක ඕන මේවා ඕන. අපේ පක්ෂයටත් ඕන. අපිටත් ඕන එහෙම කියාවි. ඒවා නැතිව පොදු එකඟතාවකින් 15ක විතර කණ්ඩායමක් ඇවිත් පාර්ලිමේන්තුවෙන් පිට ඉන්නවනම් මේකට සුදුසු අය ජාතික ලැයිස්තුවෙන් ඒ අයත් පාර්ලිමේන්තුවට අරගෙන හරි අන්තර්වාර ද, භාරකාර ද පරිවාස ද මොකක්ද කියලා මම දන්නේ නෑ. නමුත් පොදු එකඟතාවකට යන්න ඕනෑ.

මට පේන එක විකල්පයක් තමයි තාවකාලික භාරකාර රජයක් අරගෙන ජනමතවිචාරණයකට යන්න පුළුවන්. මම දරන මතයක් තමයි මේ රාමුව ඇතුළේ විසඳුමක් හොයන්න ඕනෑ. පිටතට ගිහින් ප්‍රශ්නය විසඳන්න බෑ. පාර්ලිමේන්තුව එපා 225ම එපා කිව්වම අරාජිකත්වයට යනවා. ඒවට ගියපු රටවල් ඉතා කෲර ඒකාධිපතිත්වයකට ගියා. අපේ හමුදාවට බලය අල්ලන්න අවශ්‍යතාවක් නැති නිසා හමුදා පාලනයක භයංකාරත්වය ගැන බියක් නෑ, නමුත් එහෙම නොවේවි කියලා හිතන්නත් අමාරුයි. මේ ඔක්කොම නරක් වෙලා කිව්වට අපිට පිරිසිදු කරලා තෝරලා බේරලා ගන්න පුළුවන් අය මේ අතර ඉන්නවා. නරක් වෙච්ච අය ඉන්නවානම් ඡන්දයක දී අයින් වේවි.

මේ විරෝධය දක්වන ජනතාවම තමයි ඒ අය පත්කළේ. විදේශිකයෝ නෙවෙයි ඡන්දය දැම්මේ. රටේ ඉන්න සහ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දයෙන් පත් කළේ. මේ අය පත්කිරීමට, අද පත්වෙලා තියෙන තත්වයට ජනතාව වගකියන්න ඕනේ. ජනතාවගේ ඡන්දයේ වගකීමක් තියෙන්න ඕන. මූලික කරුණ වෙන්නේ ජනතාවයි පාලකයයි නිරන්තර සාකච්ඡාවක් පවත්වාගෙන යනවානම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙනානම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.

ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක වෙන්නේ නෑ. නමුත් ඒ ගැන ජනතාව මොනවද කරලා තියෙන්නේ. සහනාධාර දෙනවානම්, මෝටර් සයිකල් දෙනවානම්, වැටුප් වැඩි කරානම් ජනතාව හිතනවා ඡන්දය දෙන්න. ප්‍රතිපත්ති ගැන හොයන්නේ කෑ. එවා කළා ද කියලා හොයන්නේ නෑ.

ඡන්දයක් ආවත් නාවත් ජනතාවගේ මේ නැගිටිම අනාගතයේ යම් දවසක හෝ ශ්‍රී ලංකාවේ පාලන බලය බලාපොරොත්තු වෙන  හැමෝම සැළකිය යුතු පාඩමක් කරගන්න ඕන. හෝදලා තම්බල සුද්ද කරගන්න බැරිනම් විසි කරනවා කියලා තේරුම් ගන්න ඕන.

මේ තත්වය ගැන කණගාටුවක් තියෙනවා. මා දරණ තනතුර නිසා මේ උද්ඝෝෂණවලට යන්න නොහැකි වීම ගැන කණගාටුවක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ සිටිය දී තිබූ දේශපාලන උණ, ගුරු සංගම් ව්‍යාපාරයේ සිටිය දී දේශපාලන උණ තිබුණානම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ රස්සාවට ආවේ නැත්නම්, ජීවිතය නැතිවෙන්න තිබුණා. නමුත් ඒ තැන්වල හිටියානම් මමත් අරගලය තුළ ඉන්නවා.

වත්මන් ජනාධිපතිතුමාගේ නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. ඒ නිසා මට ඒක විග්‍රහ කරන්න බැහැ. කෙටියෙන් ඒ ගැන කියන්නම්.

2015 නොවැම්බර්වලට පෙරනම් මහින්ද දේශප්‍රිය ඒ නාමයෝජනා භාරගැනීමට තනියම වග කියන්න ඕනේ. නමුත් ඊට පස්සේ කොමිසමේ තුන් දෙනාම ගත්තු තීරණයක්. මේකට අදාලව කිසිම තීන්දුවක් බෙදුණු මතයක් තිබුණේ නැහැ. ගැසට් එක තුන්දෙනාම අත්සන් කළා. නාමයෝජනාවලට අදාල නුසුදුසුකම් පරික්ෂා කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්න පුළුවන් ද කියලා බලන්න යැයි මම ඒ ගැන උනන්දුවක් දක්වන අයට කියනවා 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත කියවන්න යැයි මා කියනවා. එදා නාමයෝජනා භාර ගැනීමේ දී බලපෑමක් ආවේ නෑ. මහින්ද දේශප්‍රිය හිටියා, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හිටියා. මහාචාර්ය රත්නජීවන් හූල් හිටියා. මේ කොමිසමේ අය බලපෑම්වලට යටත් වෙන්නේ නැහැ.

අපේ රටේ නායකයෙක් වෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදියෙක් විය යුතුයි. ජාතිවාදියෙක් නො‍වන අයෙක් වෙන්න ඕන, තමන්ගේ ආගමට, ජාතියකට, කුලයට, පාසලට, විශ්වවිද්‍යාලයට තියෙන බැඳීම් නොසළකා වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. මට නායකයෙක් ගැන කියන්න බෑ. ඒක සුදුසු නෑ. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අය අතරත් එහෙම අය ඉන්නවා.

ආණ්ඩුවේ නියෝජිතයන් වෙනස් කරලා විශ්වාසභංග ගෙනවිත් ආණ්ඩුව වෙනස් කිරීම ගැන මට උපකල්පනය කරන්න බැහැ. ජනාධිපතිවරයා ඉවත් කරන්න පුළුවන් වෙන්නේ ‍දෝශාභියෝගයකින් විතරයි. ජනාධිපතිවරණයකට දැන් පවතින ව්‍යවස්ථාව යටතේ යා හැක්කේ අවුරුදු 04කින්. නැතිනම් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන.

මේ ප්‍රශ්නය විසඳන්න මට තේරෙන්නේ නෑ, ක්ෂණික විසඳුමක් නෑ, ජනාධිපති ඉවත්කරන්න කිව්වට, 225ම එපා කිව්වට මටනම් ඒකට විසඳුමක් ලෙස පෙනෙන්නේ නැහැ.

මේ පවතින තත්වය යටතේ මට සාමාන්‍ය සිවිල් මිනිහෙක් වෙන්න පුළුවන්නම් හොඳයි කියලා හිතෙනවා.

හිරු නාලිකාවේ ඇත්ත වැඩසටහනට එක්වෙමින් මෙම ප්‍රකාශය කරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!