spot_img
spot_imgspot_img

අලි මිනිස් ගැටුමට මැදි වූ ගල්කිරියාගම මිනිස්සු

පුවත්

විදෙස්

නයනතාරා ජයතිලක විසිනි,

අලියා පිළිබඳ ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතිය තුළ ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත වූ ආදරණීය හැඟීමකි. නමුත් අලි සිටින ප්‍රදේශවල සිය ජනාවාස කරගත් මිනිසුන්ට නම් අලියා ගැන ඇත්තේ අප්‍රසන්න හා බියකරු අත්දැකීම් සමුදායකි. ඔවුන් අලින්ට ආදරය කරන බව නොරහසකි. නමුත් ඔවුන්ගේ ජීවන අරගලයේ දී වන අලියා මේ මිනිසුන්ට විශාල බාධාවක් වී තිබේ.

නමුත්, අලින්ගේ වන රජදහන හෙළි පෙහෙළි කරගෙන නිවාස හෝ වගාබිම් තනාගත් විට ඒ කිසිවක් නොදන්නා අලි තම පැවැත්ම සඳහා සිදුකරන ක්‍රියා කාරකම් නිසා මේ මිනිසුන් පීඩාවට පත්වන බවට කෙනෙකුට තර්ක කළ හැකිය.

තර්කය කවරක් වුව ද මේ තවමත් නිසි විසඳුමක් නැති හැමදාමත් තාවකාලික පැලැස්තර විසඳුම් ලබාදෙන අලි මිනිස් ගැටුමයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කාලාපයට අයත් ගල්කිරියාගම, නාමල් උයන, කලා වැව් පිටිය බොහෝ සුන්දර මෙන්ම ඓතිහාසික ස්ථානවලින් පරිපූර්ණ ආකර්ෂණීය ග්‍රාමයකි.

ගම්මානයේ සිටින පරිමින්ගෙන් වැඩි දෙනකු ගොවිතැන හෝ හේන් ගොවිතැනෙහි යෙදෙන අතර කාන්තාවෝ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවල හෝ පිරිමින් මෙන් ම කෘෂිකර්මාන්තයේ නිරත වෙමින් ජීවන අරගලයක යෙදෙති.  

බොහෝ අගහිඟකම්වලින් පමණක් නොව විවිධ ආපදා ඇතුළු අනේකවිද අභියෝග ඇත. මේ කර්කෂ ජීවිතය පරම්පරා ගණනාවක් තිස්සේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ගල්කිරියාගම යනු තවත් එක් ගමක් පමණක් ම නොවේ, පුබ්බෝගම, රණව, උඳුරව, උල්පතගම, මොරොත්තේගම, පලාගල, ආඬියාගල, මඩාටුගම වැනි මහවැනි එච් කලාපයේ තවත් ගම් කිහිපයකින් වටවුණු, විවිධ ජාතීන් ජීවත්වන සහ ඔවුන් තම අත්‍යාවශ්‍ය කටයුතු කරගෙන යෑම සඳහා යන එන යම් පමණකින් නාගරීකරණය වෙමින් තිබෙන ප්‍රදේශයකි.

කොරෝනා වසංගතය, ක්ෂුද්‍ර මූල්‍ය ණය, හැමදාමත් හැමදෙනාමත් පීඩාවට පත්ව සිටින දරිද්‍රතාවය, ප්‍රවාහන පහසුකම් නොමැති වීම, පොහොර නොමැති වීම ආදී අනේක ප්‍රශ්නවලින් පෙළෙන මේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන බරපතලම ගැටලුවක් වන්නේ අවසානයක් නැති අලි – මිනිස් ගැටුමයි.

අලි වැට තිබුණ ද දිනපතා විශාල රංචු වශයෙන් ගම් වදින අලි, හවස් කාලයේ දිය මං කඩිති, වැවි පිටිවල සුලබ දසුනකි. දිනපතාම අලින් එළවීමට භාවිත කරන අලි වෙඩිවල ශබ්දය ගම්වැසියන්ට නිවෙසින් එළියට නොයා යුතු බව කියන එක් සංඥාවක් සේම අතපසුවීමකින් හෝ තම හේන, කුඹුර රැකීමට නොහැකි වුවහොත් ඒ වගාවන් සියල්ල විනාශ කිරීමට අලි රංචුවකට ගත වන්නේ කෙටි කාලයකි.  

ගැමි නිවසක්

ජේ. එච්. එම්. සිරිල් ජයසුන්දර මහතා වයස 45ක් පමණ වන ගල්කිරියාගම, උල්පතගම ග්‍රාමයේ මුල්ම පදිංචි කරුවෙකි. වසර 10ක පමණ සිට හේන් ගොවිතැනේ නිරතවන ඔහු හමුවට අලි කොපමණ පැමිණ සිටිය ද ඔවුන්ගෙන් බේරීමට ඔහු සමත්වූයේය. නමුත් වරක් අවාසනාවන්ත ලෙස ඔහු අලියාගේ ප්‍රහාරයට ලක්වූයේ නොසිතූ ලෙසිිනි. මේ ඔහුගේ අත්දැකීමයි.

“මම හේනේ ඉඳන් කඩේට යනකොට තමයි මට අලියා ගැහුවෙ. හරියටම දිනේ කියනවා නම් 2019 ජූලි 28 වෙනිදා දවල් තුනට වගේ. ඉඳිගොල්ලෑව වැව් බැම්ම හරියෙදි. මට ඉස්සරහින් ආපු මනුස්සයා  කිව්වා, අයියා, ඉස්සරහ අලියා ඉන්නවා යන්න එපා කියල. මම බයිසිකලේ අපහු හැරෙව්වා විතරයි. වැඩක් වුණේ නෑ අලියා කොහෙන්දෝ ඇවිත් මට හොඬෙන් ගැහුවා. මම වැව් බැම්මේ පාමුළට කොහොම හරි පැන්නා හැබැයි විනාඩි 5ක් ගියේ නෑ අලියා මාව හොයන් ඇවිත් කෑ ගහල උගේ ඉස්සරහ කකුලෙන් මගේ දකුණු කකුල පෑගුවා”

ජාතික නාමල් උයන

දැන් ඔහුගේ පවුලට හයියක් නැත. වසර එකහමාරක් රෝහල්ගතව රැකියාවක් හෝ ගොවිතැනක් කරගත නොහැකිවීමෙන් දුගී බ‍වේ පතුලටම වැටී ඇති සිරිල්ට තම දරුවන් තිදෙනා පාසල් යැවීම පවා අපහසු වී ඇත. දැන් ඔහු නිවසට පැමිණිය ද වෙනදා මෙන් කය වෙහෙසී වැඩ කිරීමට හැකියාවක් නැත. රෑට හේනට ගොස් යන්තම් හේන රකින සිරිල්ට කළ හැක්කේ තම බිරිඳ වෙහෙසී කරන ගොවැතිනට උදව් කිරීමයි.  සැමියා මෙලෙස එක්තැන්වීමත් සමඟ ඇගේ නන්දාවතී මැණිකේ දැන් සියලු බර කරට ගෙන සිටින්නීය. එහෙත් රෝගී සැමියාට සාත්තු සප්පායම් කිරීමත්, පවුලේ ආර්ථිකය ගොඩනැගීමත් ඇයට පහසු කාර්යයක් නොවේ.

සිරිල් මහතා සහ ඔහුගේ දියණිය

මේ අලි මිනිස් ගැටුම ගැන නන්දාවතී මැණිකේ කියන්නේ මෙවැනි කතාවකි.

“අලින්ගෙ මේ ප්‍රශ්නෙ නිසා ගෑනු අපි තමයි වැඩිපුරම දුක් විඳින්නේ. මහත්තයා අවුරුදු එකහමාරක් වගේ පොළොන්නරුව ඉස්පිරිතාලේ නතර කරල හිටියා. මම ගැහැනියක් කියල හිතල ගෙදරට වෙලා හිටියෙ නෑ. පුළුවන් විදිහට එදිනෙදා වැඩ කරල හේනත් කොහොම හරි වගා කරල දරුවො ඉස්කෝලෙ යවන වැඩත් කරා. දැන් මහත්තයා ආයෙ හේනට යනවා, රෑට පැලෙත් ඉන්නවා. තවම කකුල හොඳ නෑ. මට හරි නින්දක් නෑ. පුදුම හිතේ ගින්දරෙන් ඉන්නෙ. ඇතැම් විට ඔය අලියා අපිට ආයෙ හම්බවෙලත් ඇති පාරේ. හැබැයි අපිට ඌ ගැන තරහ නෑ. ඔය මොනවා කිව්වත් අපි ඉන්නෙ උන් ජීවත් වන කැලෑවල් අල්ලගෙන. ඇත්තටම වැරදිකාරයෝ අපි”

සිරිල් මහතා ජීවත්වන නිවස

එස්. රාජේන්‍ද්‍රන් සහ ඔහුගේ බිරිඳ මනෝරි රාජේන්ද්‍රන් ගල්කිරියාගම, ගල්ලෙනවත්ත පදිංචිකරුවන්‍ ය. ඔවුන්ගේ නිවස පිහිටා ඇත්තේ ගල්ලෙනවත්ත කුඩා වැවක වැව් පිටියට ආසන්නව වන අතර, අලි ඇතුන් මාරු වන ප්‍රධාන මංසන්ධියක් ලෙස හඳුනාගත් ස්ථානයක ය. දරුණු ලෙස වකුගඩු රෝගයෙන් පෙළන රාජේන්ද්‍රන් කුලී කම්කරු සේවයේ නිරත වූවෙකු වන අතර කොවිඩ් 19 වසංගතය නිසා එම රැකියාව ද අහිමිව ගොසිනි. රජරට වකුගඩු රෝගය යනු අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින මේ ජනතාවට ඇති තවත් විශාල අභි‍යෝගයකි.

“මගේ මහත්තයා වකුගඩු රෝගියෙක්. අපිට ඉන්නෙ කෙල්ලොම තුන් දෙනෙක්. මහත්තයා රෝහල් ගත වුණාම අපි හතරදෙනා රෑ ඉන්න ඕනෙ කිසිම පිරිමි පරාණයක් නැතුව. අපේ ගෙදර තියන්නෙ අලි කටේ. හවස හය වෙද්දි අලියා දිය මංකඩෙන් මාරු වෙනවා. ගෙදර ළඟින්ම අලි වැට ගහල තිබ්බත් ගෙදරම ඒකෙන් රැකෙන් නෑ. හවසට එළි පහළියකට යන්න බයයි. මහත්තයාට හදිස්සියේ ඉස්පිරිතාලෙ යන්න වුණොත් වාහනයක් මේ පැත්තට එන්න බයයි. අලියා කොහෙන් එයිද දන්නෙ නෑ. තනි අලියා තමයි ගොඩක්ම භයානක.”  මනෝරි කීවාය.

රාජේන්ද්‍රන්ගේ නිවස
රාජේන්ද්‍රන්ගේ නිවස අසළින්ම යන අලි වැට

තරුණ පරපුරේ ඉරණම

මෙම අලි – මිනිස් ගැටුම නිසා පීඩාවට පත් වී සිටින්නේ ගොවිතැන් හෝ වෙනත් රැකියා කරන පිරිසම නොවේ. තමන්ගේ අනාගතය දිනා ගැනීමට වෙහෙසෙන  තරුණ පරපුරේ ජීවිතද මෙම ගැටලුවෙන් දැඩි පීඩාවකට ලක් වෙයි. මොරොත්තේගම උදානි විමර්ශනා (17) එවැන්නියකි.

“මම වෘත්තීය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේ මැහුම් පාඨමාලාව කරනවා. ගෙදරින් එන්නේ උදේ 6.30ට විතර. ගල්කිරියාගම විතරයි මේ පාඨමාලාව තියන්නෙ. උදේ ගෙදරින් බයිසිකලේ එනකොට උල්පතගම වැව පහුවෙනකොටම අලියා ඉන්නවා. පාරෙ කවුරුත් නැත්නම් මම කරන්නෙ බයිසිකලේ හරවගෙන ආයෙ යන එක. තනි අලියා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ආපහු හැරිලා යනවා. සමහර දවස්වලට අලි 10-15 වගේ හම්බෙනවා. මේ දවස්වල නම් ඉස්කෝලෙ ළමයි අරන් යන අම්මල තාත්තල ඉන්න හින්දා බය අඩුයි. හවසට කලින් ගෙදර යන්න සිද්ද වෙලා තියන්නෙත් මේ හින්දා. මේක හරි පාඩුවක්. අනික  මට විතරක් නෙමේ මැහුම් ඉස්කෝලෙට පුබ්බෝගම ඉඳන් එක ෆාතිමාටත් මේ ප්‍රශ්නෙම තියනවා. අපේ තරුණ ජීවිත හරි අනතුරේ තියන්නෙ මේ ප්‍රශ්නෙ නිසා. පාරෙ තොටේ යන්න පවා අපිට බයක් තියෙනවා.”

මේ ප්‍රදේශ වල අලි – මිනිස් ගැටුම් සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අලි – ඇතුන් ජීවත්වන කැලෑ ප්‍රදේශවල සිදුවන කෘෂිකාර්මික සහ කාර්මික සංවර්ධනයන් ය. වසර 30කට පමණ පෙර වියළි කලාපයක්ව පැවතුන මෙම ප්‍රදේශය මහවැලි ව්‍යාපාරයත් සමඟ අද වන විට සම්පූර්ණයෙන්ම වෙනස් කාලගුණික හා දේශගුණික ලක්ෂණ පෙන්වයි. විශේෂයෙන්ම හේන් ගොවිතැන් සඳහා කැලෑ හෙළිපෙහෙළි කිරීම හේතුවෙන් අලින්ට සිය වාසස්ථාන අහිමිව ඇත.

අලියාගේ හැසිරීම් සහ ගති ලක්ෂණ ගැන ගැමියන්ට එතරම් අවබෝධයක් නැත. ගැහැනු සතුන් හා පැටවුන් රංචු වශයෙන් ජීවත්වීමත්, පිරිමි අලින්ට මද කිපෙන කාලයේ පිරිමි අලි රංචුව හැරගොස් තනි අලි වශයෙන් හුදකලා ජීවිතයක් ගත කිරීමත් වැනි කරුණු කාරණා ඔවුන් දන්නේ නැත. බොහෝ විට මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම් වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ මෙම තනි අලියාගේ පහර දීමයි.  මේ ගැමියන් නිරන්තරව කරන ජීවන අරගලයේ දී ඔවුන්ට එවැනි වැදගත් නමුත් කුඩා කරුණු ගැන සිතීමට වඩා බඩ වියත රැක ගැනීමට සටනක නිරතවන්නට සිදුව ඇත.

ලෝකයෙන්ම පළමු තැන‍

අලි – මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදු වන රට බවට ලංකාව පත්ව ඇතැයි පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් මෑතකදී හෙළිදරව් කරන ලදී.

තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272ක් බවයි, අලි – මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85ක් පමණ බව වාර්තාවල දැක්වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක්, මිනිස් මරණ 113ක් වාර්තා වී ඇත.

2019 වර්ෂයේ දී ඉතා ඉහළ අගයයක් ගෙන ඇත. අලි 407කට ජීවිත අහිමිවී ඇති අතර මිනිස් ජීවිත 122ක් ද මේ නොනවතින අරගලයේ දී අහිමිවී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව අවසාන වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදුව ඇත්තේ 2011 වර්ෂයේදීය. එම සංගණනය අනුව ශ්‍රී  ලංකාවේ වන අලි ගහණයට 5879කි. 

අලි මරණවලට ප්‍රධාන හේතු ලෙස හඳුනා ගෙන ඇත්තේ, ප්‍රධාන වශයෙන්ම වෙඩි තැබීම, හක්ක පටස්, විදුලි සැර වැදීම, වෙනත් මාර්ග අනතුරු, වස දීම සහ ස්වාභාවික මරණයි.

විකල්ප විසඳුම් අසාර්ථක වීම

මෙම ප්‍රදේශය තුළ විදුලි වැට ඉදි කීරීම්, ජීව වැටවල් ඉදි කිරීම, වනාත්තර වැවීම් ව්‍යාපෘති, පවතින වනාන්තර රැක ගැනීමේ ව්‍යාපෘති, වන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකිරීම්, අලින්ගෙන් හානි නොවන බෝග වගා කිරීමට උපදෙස් ලබා දීම ආදී බොහෝ දේ සිදුකෙරුණ ද ඒවා සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට නැත.

එම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව පිරික්සීමට, පසු විපරම් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති බව ද පෙනෙන්නට තිබේ.

මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ වන්නේ නම් ව්‍යාපෘතියේ ඊළඟට වන්නේ කුමක්ද හෝ එය නැවත ක්‍රියාත්මක වේ දැයි යන්න පවා අවිනිශ්චිත බව සිරිල් පවසයි. කෙසේ නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට හා ක්‍රියාත්කම කිරීමට ලෝක බැංකු ආධාර යටතේ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්කම වන අතර එය 2017 වසරේ දී ආරම්භ කර 2022 වසරේ දී අවසන් වීමට නියමිතව ඇති දිගුකාලීන ව්‍යාපෘතියකි. මේ වැඩසහන යටතේ මහවැලි එච් කලාපයේ බොහෝ ගම්මානවල අලි – මිනිස් ගැටුමට ඉක්මන් විසඳුමක් වන අලි වැටවල් ස්ථාපිත කර දී ඇතත් ඒවායේ සාර්ථකත්වය පිළිබඳ ගැටලු බොහොමයක් තිබේ.

කෝපා කමිටුවේ යෝජනා

පසුගිය 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ කෝපා කමිටුව මඟින් අලි-මිනිස් ගැටුම් වලට විසඳුමක් සෙවීම සදහා කඩිනමින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. එම ගිණුම් කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවත් 2019 වසර තුළදී අලි ඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව අනාවරණය කරන ලදි. සාමාන්‍යයෙන් මිය යන මිනිසුන් ගණන 85 ක් වුවත් 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද කමිටු වාර්තාවෙන් හෙළි විය.

අලි-මිනිස් ගැටුම් සදහා කඩිනමින් තිරසාර විසඳුම් සෙවිය යුතු බව එම කමිටුව මඟින් අනාවරණය කල අතර, වැඩිදුරටත් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු විසින් වසර 7 කට වැඩි කාලයක් ගලිගමුව ප්‍රදේශයේ සිදු කරන ලද ප්‍රායෝගික අත්හදා බැලීම් වලින් මෙතෙක් පැවති අලි-මිනිස් ගැටුම් සමනය වී ඇති බව සහ ඊට වැය වූ වියදම ඉතා අඩු අගයක් බව ද වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

කෝපා කමිටුව විශේෂයෙන්ම සඳහන් කර ඇති කරුණ නම්, අලි-මිනිස් ගැටුම් අවම කිරීමට සමාජයෙන් ලැබිය යුතු සහයෝගයේ අවශ්‍යතාවය තදින්ම පවතින බවයි.

මේ වන විට ක්‍රියාත්මක නොවන “ගජමිතුරෝ” වැනි ප්‍රජා සංවිධාන නැවත ක්‍රියාත්මක කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන් ඇතුළු පාර්ශවකරුවන්ගේ දායකත්වය, ජනතාව දැනුම්වත් කිරීම හා විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට ඔවුන් සම්බන්ධ කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන්ද අවධානය යොමු කල යුතු බව කමිටුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අලියා කිසිවිටෙක මිනිසා අයත් ජාතියක් හෝ අදහන ආගමක් ගැන දන්නේ නැත. පුද්ගලයාගේ ජාතියක් ආගමක කුමක් වුවත් කුල්ලපු වූ විට මිනිසුන්ට පහර දෙති, වගාවන් විනාශ කරති, මිනිසුන්ට කායිකව මෙන්ම මානසිකවද හානි ඇති කරති.  හැරත් අලි – මිනිස් ගැටුම යනු ජාති භේදයක් නොසලකා සියලු දෙනාටම එක් රැස් වී විසඳුම් සෙවිය යුතු සහ හැකි ආකාරයේ ප්‍රශ්නයකි. සියලු දෙනාම එකට එක්ව සහජීවනයෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස විසඳුම් සොයන අවස්ථාවකට යොමුවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!