spot_img
spot_imgspot_img

CL Synergy සමාගම මූලික කොටස් නිකුතුවකට සූදානමින්

පුවත්

විදෙස්

CL Synergy සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ අනුමැතිය හිමි වී තිබේ. මෙම කොටස් නිකුතුව 2022 අප්‍රේල් 07 වන දින ආරම්භ වීමට නියමිත ය. CL Synergy ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මෙන්ම මෙරට වේගයෙන්ම දියුණු වන ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා සමාගමක් ලෙස සැලකේ. මෙම කොටස් නිකුතුව තුළදී කොටසක් රු. 14.00 බැගින්, දායකත්වය සඳහා නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 63 ක්ද, අලෙවිය සඳහා දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 28.5 ක්ද නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කරයි.

Acuity Partners (පුද්.) සමාගම මගින් කළමනාකරණය කරනු ලබන මෙම කොටස් නිකුතුවේදී නිකුත් කෙරෙන මුළු කොටස් සංඛ්‍යාව 91,500,000 ක් වන අතර, ඉන් අපේක්ෂිත ආදායම රු. 1,281,000,000 කි. මෙම කොටස් නිකුතුවට පෙර, 2022 මාර්තු මස 24 දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන (Virtual) ආයෝජක සමුළුවට සහභාගී වන මෙන් CL Synergy සමාගම, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනාට ආරාධනා කර සිටී.

මෙම මූලික මහජන කොටස් නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා ක්ෂේත්‍රයේ වසර 17 කට වැඩි පළපුරුද්දක් අප සතුයි. මේ වනවිට අප දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළවල් පුළුල් ලෙස ආවරණය කරන, වඩාත් පරිපූර්ණ විසඳුම් සපයන්නෙකු බවට පත්වී තිබෙනවා. මේ ගමන නොනැවතී ඉදිරියටම යාම අපගේ අරමුණයි. මේ වනවිට ක්ෂේත්‍ර රැසක ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර සමාගම් රාශියක් අපගේ සේවාදායකයන් බවට පත්ව සිටින අතර, සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යමින් විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීම ඔස්සේ ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපගේ වර්ධන ක්‍රමෝපායේ මීළඟ පියවර වශයෙන් මෙම මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත්කිරීමට ලැබීම අපට මහත් සතුටක්. මේ ඔස්සේ අපට වැඩි හවුල්කරුවන් පිරිසක් සමග අත්වැල් බැඳගනිමින් ඉදිරියටම යාමට අවස්ථාව ලැබේවි.”

මේ වනවිට විශාල ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් වන කාර්ය සම්පාදන ක්ෂේත්‍රය නියෝජනය කරමින් කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වීම CL Synergy සමාගමේ අපේක්ෂාව වී තිබේ. ලොව උද්ගත වී පවතින තත්ත්වයන් හමුවේ රටවල් රාශියක් මේ වනවිට කාර්ය සම්පාදන ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇත.

රු. 14.00 ක් වන කොටසක මිල අනුව, ඉදිරි මූල්‍ය වර්ෂය (2023) සඳහා පුරෝකථනය කරන ලද ඉපැයීම් මත පදනම්ව, අපේක්ෂිත මිල-ඉපැයුම් අනුපාතය (PER) 4.6X වේ. CL Synergy සමාගමේ ආදායමෙන් 65% ක්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ලැබෙන අතර ආදායමෙන් 70% ක් ලැබෙනුයේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාදායකයන්ගෙනි. මෙය සමාගමේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරන සාධකයක් බවට පත් වී තිබේ. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් සැලකිය යුතු මට්ටමේ මුදල් හා වෙනත් සම්පත් එකතුවක් සමාගම සතු වන නිසා, මෑතකාලීනව රුපියලේ අගය අවප්‍රමාණය වීම මගින්ද සමාගමට ඉදිරියේදී ප්‍රතිලාභ හිමි වනු ඇත.

මෙම මූලික මහජන කොටස් නිකුතුව මගින් රැස්කරගන්නා අරමුදල් යෙදවීමට බලාපොරොත්තු වන ආකාරය පැහැදිලි කරමින්, රොෂාන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “CL Synergy සමාගමේ කාරක ප්‍රාග්ධනය වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 320 ක්ද, ගෙවිය යුතු දීර්ඝකාලීන ණය ප්‍රමාණය අවම කරගැනීම සඳහා රු. මිලියන 212 ක්ද, ගැනුම්කරු හා සපයාගැනීම් වෙළඳපොළ වල කලාපීය ව්‍යාප්තිය පුළුල් කරගැනීම සඳහා රු. මිලියන 200 ක්ද, ගාස්තු හා වෙන්කරවාගැනීම් පදනම වැනි මූලික ඩිජිටල් පද්ධති වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 150 ක්ද ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

2004 වසරේදී ආරම්භ වූ CL Synergy සමාගම උසස් ප්‍රමිතියෙන් යුත් විශ්වාසනීය සේවාවක් සපයන ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා සමාගමකි. සේවාදායකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන නම්‍යශීලී සේවාවන් කාර්යක්ෂම ලෙස, තරගකාරී මිලගණන් යටතේ සැපයීම සම්බන්ධයෙන් එම සමාගම විශාල ප්‍රසිද්ධියක් උසුලයි. මේ වනවිට කාර්ය සම්පාදන සහ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා ක්ෂේත්‍රයන්හි නියුතු හවුල්කාර සමාගම් කිහිපයක් සමග එක් වී තම ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීමට CL Synergy සමාගම කටයුතු කර ඇති අතර, තවත් නැවුම් ආකාරයේ වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමටද සැලසුම් කර තිබේ.

CL Synergy මූලික මහජන කොටස් නිකුතුවේ සංස්ථා ප්‍රකාශය (Prospectus) සහ අයදුම් පත්‍රය වෙතින් https://ipo.clsynergy.com/ ලබාගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!