spot_img
spot_imgspot_img

JAT Holdings සම්මානයෙන් පිදුම් ලබයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර සමාගමක් වන JAT Holdings PLC, මෙවර SLIM National Sales Congress (NASCO) සම්මාන උළෙලේදී සම්මාන 9ක් දිනාගැනීමට සමත් විය.

මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) විසිනි. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මුහුණ දීමට සිදුවූ දැවැන්ත අභියෝග හමුවේ නොසැලෙමින්, විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට JAT Holdings PLC සමාගමට උපකාරී වූ විකිණුම් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙම සම්මාන උළෙලේදී රන්, රිදී සහ ලෝකඩ සම්මාන වලින් පිදුම් ලැබූහ.

SLIM NASCO සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 21 වන වරට ය. මෙම සම්මාන උළෙල, මෙරට විකිණුම් ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කරන ප්‍රමුඛතම සම්මාන උළෙල ලෙස සැලකෙන අතර, SLIM NASCO  සම්මාන දිනාගැනීම යනු මෙරට විකිණුම් අංශ වල වෘත්තිකයන්ට හිමිවන ඉහළම ගෞරවයක් ලෙස සැලකේ. මෙවර සම්මාන උළෙල ‘Warriors of the New Wave’ යන තේමාව යටතේ පැවැත්වුණු අතර, මෙහිදී JAT Holdings PLC වෙත සම්මාන 9 ක් හිමිවීම, රටේ පැවති තත්ත්වය හමුවේ උද්ගත වූ අවදානම් පවා නොසලකමින් සමාගමේ විකිණුම් කාර්ය මණ්ඩලය සිදුකළ කැපවීම වෙනුවෙන් ඔවුන්ට ලැබුණු වටිනා ඇගයුමක් ලෙස හැඳින්විය හැක. එමෙන්ම එය JAT Holdings PLC හි මූල්‍ය ශක්තියට හා ස්ථාවරත්වයට මනා සාක්ෂියක්ද වේ.

“ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙලේදී අපගේ කාර්ය මණ්ඩලය මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. ඒ වෙනුවෙන් අප ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයට ස්තූතිවන්ත වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ විකුණුම් වෘත්තිකයන් අගයන එකම සම්මාන උළෙල මේ ආකාරයට වාර්ෂිකව පවත්වමින්, රටේ විකුණුම් ක්ෂේත්‍රය නංවාලීමට දක්වන දායකත්වය වෙනුවෙන් අප එම ආයතනයට කෘතඥ විය යුතුයි. අපගේ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් පසුගිය කාලය පුරාම, තම රාජකාරියේ සම්මත සීමාවන්ගෙන් ඔබ්බට යමින්, සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළා. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ මුහුණ දීමට සිදුවූ අභියෝග ජයගනිමින්, නව ක්‍රමවේදයන්ට නොපමාව අනුගත වෙමින්, ඔවුන් නැවත නැවතත් තම විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වී තිබෙනවා. මෙවැනි කණ්ඩායමක් අප සමග සිටීමට අපට ආඩම්බරයක්. ඉදිරියේදී ඔවුන් තව-තවත් විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කරගනු ඇති බවට සැකයක් නැහැ.” JAT Holdings PLC හි අධ්‍යක්ෂ – විකුණුම් හා තාක්ෂණ, වසන්ත ගුණරත්න පැවසී ය.

මෙම සම්මාන උළෙලේදී කර්මාන්ත, නිෂ්පාදන හා බලශක්ති කාණ්ඩය යටතේ බුද්ධික චතුරංග සහ ආර්. එම්. හිරන්ත ලක්ෂාන් රත්නායක රන් සම්මාන දිනාගත් අතර, හර්ෂ දේශප්‍රිය මල්වත්ත, දෝන දිලිනි කෝෂලී රණසිංහ සහ පී. ජී. නුවන් නිරෝෂන් වෙත රිදී සම්මානද, ඩී. එන්. ලොරෙන්සුහේවා සහ සුපුන් මධුශංඛ මාතරගේ වෙත ලෝකඩ සම්මානද හිමි විය. අලෙවිසැල් හා ප්‍රදර්ශනාගාර කාණ්ඩය යටතේ කේ. තිසාරා දමයන්ති පෙරේරා වෙත රිදී සම්මානයක් හිමි වූ අතර, කේ. ටී. ඩී. පී. එස්. අමරතිස්ස වෙත ලෝකඩ සම්මානයක් හිමි විය.

1993 වසරේදී ආරම්භ වූ JAT Holdings PLC එදා පටන්ම වේගයෙන් වර්ධනය වන සමාගමක් ලෙස මෙන්ම, දැව ආලේපන සඳහා මෙරට වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් විය. LMD මගින් අඛණ්ඩව වසර 4 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම 100 අතරට නම්කර ඇති JAT Holdings PLC, Brand Finance හි විශිෂ්ටතම සමූහ ව්‍යාපාර 20 ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ. තවද අඛණ්ඩව වසර 5 ක් පුරා Moody වෙතින් ICRA “A+ Stable” ශ්‍රේණිය පවත්වා ගැනීමටද JAT Holdings PLC සමත් විය.  මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීමත් සමග, ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ජාත්‍යන්තර සමාගම් අතරින් එකක් ලෙස JAT Holdings PLC සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වී තිබේ.

අධ්‍යක්ෂ – විකුණුම් හා තාක්ෂණ, වසන්ත ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!