කොරෝනා නිසා කොන්වූ, අපේම මිනිසුන් වෙනුවෙන් කළ අපූරු නිර්මාණයක්

පුවත්

විදෙස්

ඔහුට රකින්නට දරු පවුලක් තිබේ.

ඇය සතුව දහසකුත් එකක් බලාපොරොත්තුය.

ඔහුට, දරුවන්ගේ පාසල් වියදම්, කටට රහට ආහාර වේලක් පමණක් නොව දෙමාපියන්ගේ වියදම් ද ‍ගොඩගැසී ඇත.

ඇයට, තම අම්මාත් අප්පච්චී වෙනුවෙන් ඉටුකරන්නට යුතුකම් බොහොමයකි. නංගීටත්, මල්ලීටත් ඉගැන්විය යුතුය. ඒ විතරක් නොව තම අනාගතය ද සැළසුම් කරගත යුතුය.

නමුත් කොරෝනා වයිසරය මේ සියල්ල කණ පිට පෙරළුවේ දින කිහිපයකිනි.

පෑළි‍යගොඩ මාළු පොකුර ඔහු නැත්තටම නැති කළේය

ඇඟළුම් සේවිකාවන් අතරට පැනගත් කොරෝනා මාරයා ඇය මුල්ලකට තල්ලුකර දැමීය

සමාජය බියෙන් සළිත වෙද්දී

මෙතෙක් මාළු රස්සාව කළ ඔහුටත් ඔහුගේ සඟයන්ටත් සියලු ආදායම් අහිමිවිය.

මුහුදෙන් ගෙනා මාළු විකුණාගත නොහැකිව කුණු ‍වී ගියේය. ආදායම් අහිමිවෙද්දී ඔහු සමාජය පුරාම දෝෂ දර්ශනයට ලක්වූයේය.

දිවා රෑ පුරා වෙහෙස නොබළා දහඩියත්, කඳුළුත් හෙළමින් තම වෘත්තිය වෙනුවෙන් පමණක් නොව රටේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙනුත් වෙහෙසුණු ඇය දෙස බොහෝ දෙනා වපර ඇසින් බැලූහ.

මෙය රටේ ආර්ථිකයට වැදුණු මරු පහරකි.

නමත් ඒ සියල්ල සිදුවූයේ ඔහුගේ හෝ ඇයගේ වරදින් නොවේ.

ඔවුන් වසංගතයක් සොය ාගියේ නැත.

සමාජය තුළ පැතිරෙමින් තිබූ වසංගතයක මූල බීජයන් ඔවුන් පිට ජනතාව විසින්ම පටවා තිබිණි.

මේ නිසාම ඔවුන්ට දැඩි මානසික පීඩාවකට පවා පත්වන්නට සිදුවිය.

මෙය නිවැරදි කළ යුතුය.

එය අසීරු වුව ද ඒ කාර්යය බාරගත් අපූරු කලාකරුවෙක් සිටියේය.

ඒ චන්දිමාල් විතානගේ නමැති නිර්මාණ ශිල්පියාය.

“අපිට ලොකු අභියෝගයක් තිබුණා. කොරෝනා සමාජය පුරාම පැතිරෙද්දී ගොඩක් අය මාළු වෙළෙඳාමේ යෙදෙන්නන් සහ ඇඟළුම් සේවිකාවන් දෙස බැලුවේ වපර ඇහින්. මේක ඔවුන්ගේ වරදක් නොවුණත් සමාජය තුළ මුල්බැසගත් මතවාදය එක්ක හැමෝම ඔවුන්ව කොන් කළා. ඒ අයගේ දරුවන් පාසලේ දී, සමාජයේ දී කොන් කළා, පවුලේ අය දිහා වපර ඇසින් බැලුවා. ඒක වැරදි දෙයක්. ඒ නිසා අපිට ඒ වැරද්ද නිවැරදි කිරීමේ අභියෝග පැවරුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඉල්ලීමකට IOM Sri Lanka  සංවිධානයේ අරමුදල්වලින් අපි ICONN MEDIA  අපි විසින් මත්ස්‍ය ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් සහ ඇඟළුම් ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලයන් පිළිබඳ ඇති දුර්මතය දුරකරන්න රූපවාහිනී ප්‍රචාරක දැන්වීමක් නිර්මාණය කළා.”

චන්දිමාල් විතානගේ එසේ කීවේය.

එය සැබැවින් ම දැවැන්ත අභියෝගයකි. කිසිදු වරදක් නොකළ පිරිසක් වසංගතයක් බෝ කරන පිරිසක් ලෙස සළකමින් සමාජයෙන් කොන් කරද්දී ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම භාරගත් චන්දිමාල් විතානගේ ඇතුළු ICONN Media සහ සෞඛ්‍ය ප්‍රවර්ධන (HPB) වෛද්‍ය කණ්ඩායම මේ සඳහා යොදාගත් තේමාවක් තිබිණි.

“මිනිස්කම පෙරදැරිව එක්ව ජයගමු” යන්න ඒ තේමාව විය.

මේ වනවිට නව සාමාන්‍යකරණයකට සමාජය සූදානම් වෙමින් තිබිණි. ලෝක සෞඛ සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ද රටේ සියලු ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීමේ වැදගත්කමත්, රෝගයෙන් ආරක්ෂාවීමේ අවශ්‍යතාවත් අවධාරණය කරද්දී ඔහු අපූරු තේමා ගීතයක් නිර්මාණය කළේය.

“හෝ………. හෝ………….. හෝ………..

සැඩ රළ පරපදා දිවි සවිකළේ නුඹයි

නෙත නිදි නොළඹා නිති වෙහෙසුණේ නුඹයි

මේ ඉර හඳ යට රට සරු කළේ නුඹයි

වරද නුඹේ නොව, ආතුර වුණේ නුඹයි

යනුවෙන් එම ගීතයේ දැක්විණි. කොරෝනා එම වෘත්තියේ නියැළී සිටින අය අතර පැතිරයාමේ වරද ඔවුන් මත පටවන්න එපා යන මේ ඉල්ලීම කරමින් දැන්වීම නිර්මාණය වූයේ ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිිමිනි.

ත්‍රිමාල් ලියනගේ එයට සංගීතය මුසුකළ අතර, පසිඳු ලක්ෂාන් ඒ ගීතය අපූරුවට ගායනා කළේය.

“අපිට කොරෝනා කාලේ මේ පණිවිඩය පටිගත කිරීම දුෂ්කර කාර්යයක් වුණා. එහි දී පසුබිම් කරගත්තේ මත්ස්‍ය කර්මාන්තයේ සහ ඇගළුම් ක්ෂේත්‍රයේ නියැළී සිටින දෙදෙනෙක් නිසා අපි මේ සදහා පසුබිම යොදගත්තේ ගාල්ල.”

චන්දිමාල් විතානගේ ගාල්ලේ අහංගම උපත ලබා ගාල්ල මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ගාල්ලේ පරිසරය පිළිබඳ හොඳින්ම දනී. ඒ නිසාම තම සිතෙහි ඇඳී ඇති නිර්මාණයට සුදුසු පරිසරය ගාල්ල කොටුව අසාන්න රත්ගම වැල්ලේ ඇති බව ඔහු දත්තේය.

“හබරාදුව තල්පේ ප්‍රදේශයේ මුහුද අයිනේ තිබෙන ලෑලි නිවසක් තමයි අපි මේ දර්ශනයේ ධීවරයාගේ නිවස ලෙස යොදාගත්තේ. මේක සෞඛ්‍ය පණිවිඩයක් නිසා අපි‍ මේ දැන්වීමේ තේමා වර්ණය ලෙස යොදාගත්තේ නිල් පාට. මුහුදත් නිල්, අහසත් නිල්, ඒ නිසා අපි මාලු වාඩියත් නිල් පාටින් වර්ණ ගන්වලා යොදාගත්තා. මාළු වෙළෙන්දා මාළු ලෑලි අතර ඇවිදින දර්ශනය, මාළු ගන්නා දර්ශන සියල්ල සඳහා යොදාගත්තේ ගාල්ල කොටුව අසන්නයේ ඇති රත්ගම වැල්ලේ මාළු අළෙවි සැල්. ඒ වගේ ම ඇඟළුම් සේවිකාවන් සඳහා යොදාගත්තේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ මාස් යුනිචෙලා MAS Unichela ඇඟළුම් කම්හල. ඔවුන්ගේ නිල ඇඳුමත් නිල් වර්ණයෙන් තිබෙනවා. මේ විදියට තමයි නිර්මාණය සිදුකළේ.” චන්දිමාල් විතානගේ වැඩිදුරටත් කීවේය.

මාළු වෙළෙඳාමේ යෙදෙන තැනැත්තාත්, ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියාව කරන අයත් රටේ ආර්ථිකයට දක්වන්නේ විශාල දායකත්වයකි. රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් සපුරාලන මත්ස්‍ය කර්මාන්තයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යැපෙති. එමෙන් ම ඇඟළුම් සේවිකාවෝ ද රටට විදේශ විනිමය උපයන්නට අපමණ වෙහෙසක් දරති. ඔවුන් අනෙකුත් කිසිදු රැකියාවකට වඩා උසස් වන්නේ හෝ පහත් වන්නේ නැත. කිසිදු රැකියාවක උස් මිටි කම් තිබිය නොහැක. මේ මිනිසුන්ගේ ජීවන ක්‍රමයේ අඩුපාඩුවක් නැති බවත් ඔවුන්ට සතුටින් සිටිය හැකි බවත් මෙහි දර්ශනවලින් පෙන්වාදීමට ICONN MEDIA කණ්ඩායම කටයුතු කළහ.

එහි දී කැමරා අධ්‍යක්ෂණය කුලරුවන් ගමගේ විසින් සිදුකළ අතර, සිතුම් සමරජීව සංස්කරණ කටයුතු සිදුකළේය. එක් දිනක් තුළ සියලු රූගත කිරීම් අවසන් කෙරුණු අතර එම කාර්යය සඳහා 55 දෙනකු පමණ දායක වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ දර්ශන සඳහා පෙනී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් වීමයි. ඒ සඳහා නළුවන් යොදා නොගෙන සැබෑ සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන තිබිණි. පීසීආර් පරීක්ෂණ සිදුකරන දර්ශන සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියන් යොදා ගැණිනි.

මාළු වෙළෙන්දා, ඔහුගේ බිරිඳ, දියණිය සහ ප්‍රධාන වශයෙන් කැපී පෙණෙන ඇඟළුම් සේවිකාව පමණක් නළු නිළියන් වන අතර අන් සියලු දෙනා ම සාමාන්‍ය පුද්ලයන් ලෙස මෙම නිර්මාණය සඳහා දායක වී තිබීම ද විශේෂත්වයකි.

විනාඩියක්, තත්පර 45ක් සහ තත්පර 30ක් ලෙස විකාශය වූ දැන්වීම් තුනක් ලෙස නිර්මාණය කෙරුණු මෙම පණිවිඩය විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශ කිරීමේ බරපැන ලබා දී ඇත්තේ ලෝක බැංකු අරමුදල විසිනි.

අදටත් එය ජනතාවගේ මතකයේ රැඳුණු දැන්වීමක් වුව ද එහි පසුබිම් කතාව බොහෝ දෙනකු දන්නේ නැත.

මෙම පණිවිඩය නිර්මාණය කිරීමට දායක වූවෝ

නිර්මාණ සංකල්පය සහ අධ්‍යක්ෂණය – චන්දිමාල් විතානගේ

විධායක නිෂ්පාදනය – හර්ෂණී කීර්තිසිංහ

කැමරා අධ්‍යක්ෂණය – කුලරුවන් ගමගේ

නිෂ්පාදන කළමනාකරණය – පාලිත තෙන්නකෝන්

කලා අධ්‍යක්ෂණය – මංගල ප්‍රනාන්දු

සංස්කරණය – සිතුම් සමරජීව

වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර

CG Supervisor – වින්ස්ලි හේමාල්

සංගීතය – ත්‍රිමාල් ලියනගේ

ගායනය – පසිඳු ලක්ෂාන්

වේෂ නිරූපණය – ප්‍රියන්ත දිසානායක

සහය අධ්‍යක්ෂණය – චරිත් ගමගේ

නළු නිළියන් සම්බන්ධීකරණය – දිල්ශා  හංසනී

ගිනුම් කළමනාකරණය – හසිත විදර්ශන

පසුතල සම්බන්ධීකරණය – ශ්‍යාන් විරෝෂිත

චරිත නිරූපණය – මංගල, සුහර්ශිනී, අනගි, ටානියා

දෙමළ පරිවර්ථනය – අශ්වි

දැන්වීම් ආයතනය – ICONN Media (Pvt) LTD

වීඩියෝ ව නිර්මාණය වූ ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
Bestweb