spot_img
spot_imgspot_img

දසුන්ගේ උත්සාහය අපතේ යයි. සිම්බාබ්වේ තරඟාවලිය සම කරගනී

පුවත්

විදෙස්

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක තම දිවියේ පළමු එක්දින ශතකය ලබාගනිමින් ජයග්‍රහණය පෙනෙන මානයට ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලුකරගෙන ගිය ද නිවැරදි එල්ලයත්, නිවැරදි පතිතකිරීමත් හේතුවෙන් සිම්බාබ්වේ පන්දුයවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (18) පැවැති දෙවැනි තරඟයේ පරාජය උරුමකර දුන්හ.

ලකුණු 303ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ ලකුණු 280කින් සෑහීමකට පත්වීමට සිදුවූයේ ලකුණු 22ක පරාජයක් හිමිවෙමිනි.

දෙවැනි තරඟයේත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමු පන්දුවාරයේ දී ම ලකුණු 14ක් රැස්කළේය.  ටකුඩ්වනාශේ කයිතානෝ සහ රෙගිස් චකබ්වා සාර්ථක ආරම්භයක් ලබාගත් අතර ජෙෆ්රි වැන්ඩසේ විසින් කයිතානෝව ලකුණු 26කට පිටියෙන් ඉවත් කෙරිණි. එවිට ලකුණු පුවරුව දැක්වුණේ 59ක් ලෙසිනි. වැන්ඩසේගේ පන්දුවකින් කුසල් මෙන්ඩිස් ස්ටම්කිරීමකට හසුකරගෙන දෙවැනි කඩුල්ල ලෙස චකබ්වා පිටියෙන් ඉවත්කරන විට ඔහු පන්දු 50ක දී ලකුණු 47ක් රැස්කරගෙන සිටි අතර සිම්බාබ්වේ ඉනිමේ පන්දුවාර 15.4ක් අවසන්ව ලකුණු පුවරුව 90ක් ලෙස දිස්විය. සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පන්දු 98කට දී ලකුණු 91ක් රැස්කළ අතර  ඔහු පළමු තරඟයේ ශතකයක් ලබාගත් ෂෝන් විලියම්ස් සමඟ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 සබඳතාවක් ගොඩනැගුවේවය. විිලයිම්ස් ද සිය අර්ධශතකය පෙනි පෙනී ලකුනු 48කට දැවී ගියේ ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස්ගේ ස්ටම්ප් කිරීමකිනි. අවසන් පන්දුවාර 10 දී කණ්ඩායමට ලකුණු 70ක් එකතු කරගත හැකි ආකාරයෙන් වේගවත් ඉනිමක් දියත් කළ සිකන්දරාසා අවසන් පන්දුවේ දී දැවී ගියේ ලකුණු 56ක් රැස්කර සිටිය දීය. ඔහු මුහුණ දී තිබුණේ පන්දු 46කට පමණි.

ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 08 දෙනකු ම යොදා ගත්ත ද පිතිකරුවන් යම් තරමකට හෝ පාලනය කළ හැකි වූයේ මහීෂ් තීක්ෂණට පමණි. වැන්ඩසේට කඩුළු 03ක් හිමි වූ අතර ඉන් දෙකක ම පූර්ණ ගෞරවය කුසල් මෙන්ඩිස්ට හිමිවිය යුතුය.. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පන්දුයවන්නා වන නුවන් ප්‍රදීප් පන්දුවාර 10ම යවා කඩුළු 02ක් දවා ගත්ත ද ඔහුගෙන් ලකුණු 74ක් උදුරාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබිණි.

පන්දුවාර 50 අවසානයේ ලකුණු 302ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට දුන් අභියෝගය නිරන්තරව පන්දුවාරයකට ලකුණු 06ක දළ වේගයක් රඳවා ගැනීමයි.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුනම ඉක්මණින් දැවීයාමත් සමඟ තරඟයේ පාලනය මුළුමනින් ම සිම්බාබ්වේ කණ්ඩායම සතුවිය. මුහුණදුන් පළමු පන්දුවටම උඩ පන්දුවක් ලබාදුන්න ද එය අතහැරීමෙන් ප්‍රයෝජන නොගත් කුසල් මෙන්ඩිස් ඉක්මණින්ම යළි ක්‍රීඩාගාරයට ගිය අතර ඔහු පසු පසින් පැතුම් නිශ්ශංක සහ දිනේෂ් චන්දිමාල් යැවීමට ද පන්දුයවන්නෝ වගබලාගත්හ.

කමිඳු මෙන්ඩිස් සමඟ එක්වූ චරිත් අසලංක ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ දැමුව ද ලකුණු 63ක්ව තිබිය දී චරිත් අසලංක 4 වැනි කඩුල්ල ලෙස දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම නියත පරාජයක් කරා යන බව පැහැදිළි විය.

නමුත් කමිඳු මෙන්ඩිස් සමඟ එක්වූ නායක දසුන් ශානක හිස පහත් කරගෙන දුර්වල පන්දු පමණක් තෝරාබේරා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රමයෙන් ඉහළ දැමුවේ ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු නංවමිනි. ඉනිම ආරම්භබයේ දී වූ පසුබැස්ම ආපසු හැරවීමට දැඩි උත්සාහයක නිරත වූ ඔවුන් දෙදෙනා පන්දු 120ක දී ලකුණු 118ක අගනා සම්බන්ධතාවක් පැවත්වූහ. තම එක්දින ජීවිතයේ ප්‍රථම අර්ධ ශතකය ලබාගත් කමිඳු මෙන්ඩිස් ලකුණු 57කට දැවී යනවිට ඔහු පන්දු 82කට මුහුණ දී තිබිණි. පන්දු ගණන කෙසේ වෙතත් ඔහු ගොඩනැගූ ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව ඉක්මවීම ද අපහසු වීමට ඉඩ තිබිණි. ඉන් අනතුරුව දසුන් ශානකට එක් වූ චාමික කරුණාරත්න ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහළ දැමුවේ ජයග්‍රහණය පහසු ඉලක්කයක් බවට පෙරළා ගනිමිනි. තම පළමු එක්දින ශතකය දර්ශනීය හයේ පහරකින් වාර්තාකළ ශ්‍රී ලංකා නායකයා ඊට ලැබුණු අත්පොළසන් නාදය අවසන්වීමටත් පෙර ඊළඟ පන්දුවටත් වේගවත් පහරක් එල්ල කළ ද එය උඩපන්දුවක් බවට පත්වීමෙන් දැවී යාමත් සමඟ නැවත වතාවක් තරඟයේ වැඩි වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට දෝලනය විය. පන්දු 94කින් වාර්තා වූ ලකුණු 102ක ඔහුගේ ඉනිමට හතරරේ පහර 07ක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය. දසුන් දැවී යන විට ඔහු චාමික සමඟ පන්දු 61කින් ලකුණු 66ක සම්බන්ධතාවක් ගොඩනගා තිබිණි. ඒ වනවිට ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යව තිබුණේ ලකුණු 56ක් පමණි.

චාමික කරුණාරත්න දුවද්දී දැවීයාමත් සමඟ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව ද සුන්වී ගියේය.  

සිම්බාබ්වේ කණ්ඩායම තරඟය ජයගැනීමත් සමඟ තරඟ තුනිකන් සම්නවිත තරඟාවලිය 1-1ක් ලෙස සමත තත්වයට පත්විය. ඒ අනුව ලබන සිකුරාදා පැවැත්වෙන අවසන් තරඟය දෙපිළට ම අතිශය වැදගත් වෙයි.

තරගයේ වීරයා – ක්‍රෙග් අර්වින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!