spot_img
spot_imgspot_img

දේව වරම් ලැබූ සමන්ට යක්කු ගහලා. කරාපිටියේ දී යක්කුත් දෙවියෝත් පළායති

පුවත්

විදෙස්

මිතුරන් කිහිප දෙනකු විසින් දැඩි වෙහෙසක් දරමින් ඔහු රැගෙන ආවේය. වරින් වර කලහ කාරී ස්වභාවයෙන් හැසිරෙන හෙතෙම අතට හසුවන දේ පොළොවේ ගැසීමට උත්සාහ ගනී. විටෙක තමන් අසළින් සිටින සමීපතම මිතුරෙකුට පහර දෙන්නේය. තවත් අවස්ථාවක ඔවුන්ට හේතුවක් නැතිව අමානුෂික ලෙස බැන වදියි. එහෙත් ඔහු සමග සිටි සියල්ලෝම ඔහුගේ මේ ක්‍රියාකලාපය ඉවසා සිටියහ.

සියළුම දෙනා සුදු පැහැති ඇඳුමින් සැරසී සිටිති. රැවුල් කපා පිළිවෙලට කොණ්ඩය පීරා සිටින මොවුන් පස් දෙනාම දේවාලයක දේව මෙහෙයකට කැපවූ පිරිසක් වැනිය.

“අනේ දොස්තර මහත්තයෝ අපේ සමන් මේ ලෝකේ හොඳ මිනිස්සු බේරාගන්න නිසා ඒක ඉවසාගන්න බැරි භූතයෝ යක්ෂයෝ මෙයාව පිස්සු වට්ටන්න හදනවා. අපිට අපේ සමන්ව බේරලා දෙන්න. මෙයා බේරිලා හිටියොත් මේ ලංකාවේ හොඳ මිනිස්සු ඔක්කොම බේර ගන්න පුළුවන් වේවි.”

මිතුරන් පිරිසේ ගයාන් එසේ කීවේය.

සමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඈත එපිට ගම්මානයක විසිපස් හැවිරිදි තරුණයෙකි. වෘත්තියෙන් පෙදරේරුවකු වූ හෙතෙම රෝගාතුර වී කලහකාරී ස්වභාවයක් පෙන්වන්නට වී මාසයක් පමණ ගතවෙද්දී කොතෙක් ප‍්‍රතිකාර කළ ද එය සුව වූවේ නැත. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයකු සමන් කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය අංශයට යොමුකළ යුතුයැයි තීරණය කළෙන් මිතුරන් පිරිසක් ඔහු රැගෙන මෙලෙස කරාපිටිය රෝහලට පැමිණියහ.

ඔහු පාලනය කිරීම ඉතා අපහසු කටයුත්තකි. ඒ නිසාම අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම ද කළ නොහැකි බැවින් කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ඔහුට එන්නතක් ලබාදුන්නේය. එන්නත් කිරීමෙන් පසු සමන් දැක්වූ කලහකාරී හැසිරීම ක‍්‍රමයෙන් අඩුවී ගියේය. ප‍්‍රතිකාර ලබාදෙන අතර වෛද්‍යවරයා සමන් සහ ගයාන් ප‍්‍රමුඛ මිතුරන් සමග කතාවට වැටිණි.

“සමන් ආගම දහමට ගොඩක් ලැදිව හිටියා. එයා හැමෝටම උදව් කරමින් කොයි කාගේත් හිත දිනාගෙන හිටියේ. අපේ හොඳම යාළුවා සමන්.” ගයාන් එසේ කීවේය. ඔවුන් සමන් කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයකි.

‘‘මට දේව මණ්ඩලයකින් අමුතු සංඥා ක‍්‍රමයකට පණිවිඩ ලැබෙනවා. එතන ලෝකය පාලනය කරන දෙවිවරු හැමෝම ඉන්නවා. මම පව් නොකරන නිසා එයාලා මාව තෝරගෙන තියෙන්නේ ලෝක විනාශයෙන් මේ රටේ මිනිස්සු බේරගන්න. දෙවිවරු මට කථා කරලා කියනවා ලෝක විනාශයක් වෙනවා කියලා. ඒ විනාශය සිදුවන වෙලාවේ බේරෙන්න පුළුවන් කම තියෙන්නේ හොඳ මිනිස්සුන්ව විතරයි. මම දෙවියන්ගේ උදව්වෙන් හොඳ මිනිස්සු හැමෝම බේරාගන්නවා.’’ යනුවෙන් සමන් සිය මිතුරන්ට පවසා තිබිණි.

ඇතැම් මිතුරෝ මෙය විශ්වාස නොකළහ. සමන්ට පිස්සු හැදීගෙන එනවායැයි අයකු කීවේය. එහෙත් සමන් බොරු නොකියන ආගම දහමට ලැදි අයකු බව දැන සිටි බොහෝ දෙනකු සමන්ව විශ්වාස කළහ. ගමේ කොයි කාටත් උදව් උපකාර කරන සමන් විශ්වාස කිරීමට බොහෝ දෙනෙක් පෙළඹුනහ.

මේ අතර විවිධ රෝගාබාධ වලට ගොදුරුව සිටි ගැමියන් කිහිප දෙනකුට දෙවියන්ගේ අනුහසින් ප‍්‍රතිකාර ලබා දෙන්නට සමන් සමත් වීමත් සමගම මේ පුවත ප‍්‍රදේශයේ ප‍්‍රචලිත විය.

චිත‍්‍ර ශිල්පයට අපූරු දස්කම් දැක්වූ මිතුරෙක් ද සමන් සමග සිටියේය. සමන් තමන්ට පණිවිඩ එවන දෙවියන් වරින් වර පෙනෙනවා යැයි පවසමින් දෙවියන්ගේ හැඩරුව ඒ මිතුරාට විස්තර කළේය. ලලිත් නම් චිත‍්‍ර ශිල්පියා ඒ රූප අපූරුවට සිත්තමට නැගුවේය. හොඬයක් සහිත ඝන දෙවියන් ද, මුහුණු සයක් ඇති කතරගම දෙවියන් ද , නාථ දෙවියන් මෙන්ම ‘කෝමල ඝන දෙවියන්’ නමින් හඳුන්වන ඉතා සුන්දර ලාලිත්‍යවත් ඝන දෙවි රූපයක් ද ඔහු සිත්තමට නැගුවේ සමන් දෙවියන් දෙස බලා පවසන කරුණු සැළකිල්ලට ගනිමිනි. විටින් විට ඔහු අදින රූප සමන්ගේ උපදෙස් අනුව වෙනස් කැරුණි. දෙවියන්ගේ කර්ණාභරණ පවා විස්තර කරන ලද්දේ සමන් විසිනි.

සමන් සොයා ගම් වැසියන් පැමිණ විවිධ තොරතුරු විමසීමත්, රෝගබාධ වලට ප‍්‍රතිකාර අපේක්ෂා කිරීමත් සෙත් ශාන්ති කරවාගැනීමත් නිසා ඔහුගේ ආර්ථිකය ද ශක්තිමත් වන්නට විය. සමන් වටා සිටි මිතුරන්ට ද මේ නිසා බොහෝ ලාභ ප‍්‍රයෝජන ලැබෙන්නට විය. රජයේ හෝ වෙනත් ස්ථිර රැකියාවක් නැතිව සිටි සමන්ගේ හොඳම මිතුරෝ සුදෝ සුදු ඇඳුමට බැස දෙවියන්ගේ ආශිර්වාදය ලැබූ සමන් සමග එක්ව ලෝක විනාශයෙන් මෙරට මිනිසුන් බේරාගැනීමේ කාර්යයට අත ගැසූහ. ගයාන් සමන්ගේ කළමණාකාර වරයා වන්නේ ඒ ආකාරයෙනි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මේ පිළිබඳ මෙසේ කීවේය.

“මෙය ඇත්තටම මානසික රෝගී තත්ත්වයක්. මේ රෝගයට ගොදුරුවන පුද්ගලයන්ගේ මොළයේ ඇතිවන රසායනික වෙනස්කමක් හේතුවෙන් ඔවුන්ගේ පංචේන්ද්‍රිය කිසිදු බාහිර හේතුවක් නොමැතිව උත්තේජනය වනවා. ගඳක් හෝ සුවඳක් නැති තැනදී ගඳ සුවඳ දැනෙනවා. කිසිවක් පෙනේනනට නැති තැන දී විවිධ රූප පෙනෙන්නට ගන්නවා. ඒ වගේම කිසිදු ශබ්දයක් නැති තැන දී යමකු කථා කරනවා සේ දැනෙනවා. එවිට ඔවුන් සිතනවා තමන්ට නොපෙනෙන බලවේග වලින් යම් යම් පණිවිඩ ලැබෙනවා යැයි කියා. ඉතින් අපේ සංස්කෘතියේ දැඩිව විශ්වාසයක් පවතිනවා දෙවියන් ඉන්නවා කියා. ඒ නිසා ඔවුන් කෙලින්ම අර දේව චරිත තමන්ට කථා කරන බවට විශ්වාස කරනවා. ඒ වගේම මෙහිදී ඔවුන් තමන්ට සමීප සිදුවීම් අරගෙන විග‍්‍රහයන්හි යෙදෙනවා. මේ කාලයේ ලෝක විනාශයක් ගැන කථා කරන නිසා ඔහු සිතන්නේ තමන්ට දෙවි වරු ලෝක විනාශය ගැන දැනුම් දෙනවා කියා.”

වෛද්‍ය රූබන් පවසන්නේ නොපෙනෙන බලවේග තමන් සමග කථා කරමින් සන්නිවේදනයේ යෙදෙන බව පවසන මොවුන් Hallucinations හෙවත් භ‍්‍රාන්තිය නැමැති තත්ත්වයට පත්වන බවයි. ඇතැම් අවස්ථාවලදී දෙවියන් විවිධ පණිවිඩ දෙනවායැයි කියන මෙවැනි රෝගීන් දෙවියන් තමන් ගැනම කථා කරනවායැයි විශ්වාස කරන අවස්ථා ද දක්නට ලැබෙන බව වෛද්‍යවරයා පවසයි. දෙවියන්ගෙන් පණිවිඩ ලැබෙනවාට අමතරව දෙවියන් තම ශරීරයට ද විටින් විට ඇතුළු වන බව එවැන්නෝ කියති.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් එය මෙසේ ද විස්තර කළේය.  

“මෙය අපි හඳුන්වන්නේ භින්නෝන්මාදය කියලා. එහි අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒ නිසා අඩු ක්‍රියාකාරී රෝග ලක්ෂණ, ක්‍රියාකාරී රෝග ලක්ෂණ සහ අධි ක්‍රියාකාරී රෝග ලක්ෂණ වශයෙන් මේ රෝගීන් පෙන්වන යම් යම් රෝග ලක්ෂණ කොටස් තුනකට වෙන් කර හඳුනාගත හැකියි. එහිදී මුළින්ම දක්නට ලැබෙන්නේ අඩු ක්‍රියාකාරී රෝග ලක්ෂණ එහිදී කථාව අඩුවනවා. හුදකලාව සිටීමට ප්‍රිතාවක් දක්වනාව. එදිනෙදා කටයුතු අතපසු කරනවා. පසුව ශරීර සෞඛ්‍ය පිළිබඳ සැළකිල්ලක් දක්වන්නේත් නැහැ. ක්‍රමයෙන් මේ තත්තවය වැඩි වීමේදී තමයි දෙවියන්ගෙන් පණිවිඩ ලැබෙනවා කියන්නේ. ටිකෙන් ටික එය වඩාත් දරුණු වනවා.

එවිට ඔහු හිතන්නේ තමන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන නිසා එයට විරුද්ධ බලවේග තමන් මරා දැමීමට උත්සාහ කරන බව. ඒ නිසා ඔහු නිතර ම මරණ බියෙන් පසුවනවා. එපමණක් නොවෙයි ඇතැම් විට සියළු දේ විනාශ වී යනු ඇතැයි බියට පත්වනවා. මේ සියළුම කරුණු හේතුවෙන් රෝගියා දැඩි කළහකාරී ස්වභාවයක් ගන්නවා. සමස්ථයක් ලෙස ඉක්මණින් තරහා යනවා. මෙහි ප‍්‍රතිඵලය වන්නේ දැඩි මානසික පීඩනයකට පත්වීම. දේව බලය ලැබුණු පුද්ගලයා පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයට පත්වුනාම තමයි රෝහලට රැගෙන එන්නේ.”

වෛද්‍යවරයා පවසන්නේ මෙරට සංස්කෘතිය තුළ දෙවියන් ගැන අධික විශ්වාසයක් ඇති බැවින් මෙවැනි රෝගීන් වටා විවිධ පුද්ගලයන් ඒකරාශී වී යම් බලයක් ගොඩනැගෙන බවයි. රෝගියා තමන්ට ඇත්තේ මානසික රෝගයක් බව නොපිළිගන්නා අතරම දුර්වල පෞරුෂයක් සහිත පුද්ගලයන් ඔහු වටා රොක්වී ලැබෙන ගෞරවය හා ලාභ ප‍්‍රයෝජන බෙදා හදා ගැනීමට උත්සාහ ගැනීමත් නිසා දිගින් දිගටම මෙම රෝගය සමග ජීවත් වීම වඩාත් සුවදායක දෙයක් බවට පත්වන ආකාරය මෙම සමාජයේ දක්නට ලැබේ.

නමුත් මෙය ඖෂධ ලබා දීමෙන් සුව කළ හැකි තත්ත්වයකි. හම්බන්තොට සිට පැමිණි සමන් ද ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු ටික දිනකින් සුවපත් වූවේය. ලෝක විනාශයක් ගැන දෙවියන් තමන්ට පවසනවායැයි කියූ සමන් පසුව කියා සිටියේ ලෝක විනාශයක් වෙන්න හැකියාවක් නැතැයි යනුවෙනි. ඔහු වටා සිටි මිතුරෝ ද ලාභ ප‍්‍රයෝජන නොලැබෙන බැවින් සමන් හැරදා ගියහ. සමන් යළි තම සුපුරුදු පෙදරේරු රැකියාව පටන් ගෙන තිබේ.

සමන් වටා සිටි දෙවියෝ ද පළා ගොසිනි. දෙවියන් සමඟ ගනුදෙනු කරන බැවින් ඔහු බිලිගැනීමට ආවා යැයි කියූ යකුන් ද ආගිය අතක් නැත.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මෙය සත්‍ය සිදුවීමකි. නමුත් පුද්ගල අනන්‍යතාව සුරක්ෂිත කළ යුතු බැවින් නම්, ගම් වෙනස්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!