spot_img
spot_img

කූරගල “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කරති

පුවත්

විදෙස්

ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියේ ඉදිකරමින් පවතින “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කිරීම ඊයේ (16) සිදුකෙරිණි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම කාර්යය සිදුකෙරිණි.

ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මෙම ස්ථානය වර්තමානයේ කූරගල ලෙස හැඳින්වුව ද එය අතීතයේ “පූනගල” ලෙස හැඳින්වුණු බවට වංශකතා සාධක ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සිට කිලෝ මීරට 30ක් පමණ දුරින් කල්තොට නිම්නයේ කඳුගැටයක් මත මේ ඓතිහාසික පුදබිම පිහිටා ඇත. තැන තැන හමුවන බෞද්ධ ආරාමයක නටඹුන් සහ ගල්ලෙන් 13ක් මේ භූමියේ දක්නට ලැබෙයි.

සෙල්ලිපි සහ ගිරිලිපි සහිත මේ පුදබිම අනුරාධපුර මුල් යුගය දක්වා ඈතට දිවයන බවට විශ්වාසයක් පවතී. අදින් දශක කිහිපයකට පෙර මෙම භූමියේ ජීවත් වූ ඉස්ලාම් භක්තික මව්ලවි කෙනකු මියයාමෙන් පසු ඔහුගේ සිරුර එහි තැන්පත් කර එම ස්ථානය ඉස්ලාම් ආගමික ස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

එම සොහොන තවමත් මෙම භූමියේ පසෙකින් පිහිටා ඇත. එහි ඇති විශාල ගල්ලෙනක් තුළ මේ වනවිට ඉස්ලාම් ආගමික දේවස්ථානයක් ඉදිකර පවත්වාගෙන යයි. නමුත් පුරාවිද්‍යාත්මක දත්ත අනුව පැහැදිලි වන්නේ එම ගල්ලෙන ද පැරණි බෞද්ධ ආරාම සංකිර්ණයේ කොටසක් බවයි.

වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් බෞද්ධයින්, යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව කූරගල කඳු මුදුණේ පිහිටි ගරාවැටී නටඹුන්ව තිබූ පැරණි ඓතිහාසික දාගැබක් පිහිටි ස්ථාන අසළ නව දාගැබ ඉදිකිරිම ආරම්භ කෙරිණි.

පන්සියයක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පෙර දින පැවැති සෙත් පිරිත් දේශනාවකින් පසු ඊයේ (16) යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ධාතු නිදන්කිරීමේ උත්සවය පැවැත්විණි. ඒ සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ‍ලොකුපෝතාගම ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සවස ජනාධිපති ගෝඨාභය රාජක්ෂ ද මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අතර නව චෛත්‍යයේ ධාතු ගර්භයට පිවිස පුෂ්පෝපහාර දැක්විම ද සිදුකෙරිණි.

2022 වර්ෂයේ ජාතික වෙසක් උත්සවය කූරගල දී පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එම උත්සවයේ සමාරම්භක අවස්ථාවේ දී නව දාගැබේ කොත නිරාවරණය කිරීමට ද සැළසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!