spot_img
spot_imgspot_img

එළොව ගිහින් මෙ‍ළොව ආ, ගාල්ලේ දරුවෙක් වෛද්‍යවරුන්ගේ වික්‍රමයක් ගැන කියන කතාව

පුවත්

විදෙස්

“මම හිතුවේ ඒක මැණිකක් කියලා. හෝදලා බැලුවම ලස්සනට නිල් පාටට දිළිසෙනවා. අනිත් යාලුවන්ට කිව්වාම එයාලා උදුරන්න වගේ මගේ පැත්තට ආවා. මම ඒක අරන් දුවගෙන යන ගමන් කටේ දාගත්තා. ඒක හිරවුණා. විනාඩි කිහිපයකින් මට සිහිය නැති වුණා. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ.” යැයි වීදුරු බෝලයක් හිරවීමෙන් හුස්මගත නොහැකිව මරණාසන්නව දින තුනක් දැඩි සත්කාර ඒකකයේ සිට එක්මෝ ප්‍රතිකාර ක්‍රමය හේතුවෙන් දිවි ගලවාගත් බටපොළ චිරාන් ඉඳුවර පවසයි.

තවමත් 12 හැවිරිදි වියේ සිටින චිරාන් ගාල්ලේ බටපොළ පදිංචිකරුවෙකි. තම මව, පියා සහ එකම සොහොයුරිය සමඟ ජීවත්වන ඔහු පසුගිය දෙසැම්බර් 27 වැනි දා සවස මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී හදිසියේ ම තරමක දුරුවර්ණ වූ නිල් පැහැති කුඩා බොලයක් වැනි යමක් දැක තිබේ. එය ටීක් බෝලයක් නොවන බව දැනගත් ඔහු අසළ තිබූ කරාමයකින් එය සේදුවේය. සෝදනවිට ඉතාමත් දීප්තිමත් වූ එය මැණිකක් යැයි සිතූ ඔහු ඒ බව මිතුරන්ට කෑ ගසා කීවේය. මිතුරෝ ද මේ අරුමය බැලීමට දිව ආහ.

මිතුරන් අතට මෙය පත්වු‍ණහොත් තමන්ට එය අහිමිවනු ඇතැයි සිතූ චිරාන් මැණික රැගෙන දිව යන්නට විය. මිතු‍රන් ඔහු පසුපසය. දිව යන අතරතුර දී ම ඔහු එය තම කටට දමාගත්තේය. ඒ සමඟම ඔහුට ගිලිනි. නමුත් එය උගුරේ හිරවන බව දැනගත් චිරාන් මහත් අපසුවෙන් මෙන් තම මිතුරන්ට කීවේ මට ඒක ගිලුණා යනුවෙන් පමණි.

ටිකෙන් ටික අප්‍රාණික වූ චිරාන් සිහි නැතිව ඇදගෙන වැටිණි.

“ඒ වෙලාවේ අපේ ඥාතීන් කිහිප දෙනෙක් එකතුවෙලා මගේ පුතාව බටපොළ රෝහලට පුළුවන් තරම් ඉක්මණට අරගෙන ගියා. බටපො‍ළ රෝහලෙන් කිව්වා අපිට කරන්න බෑ ඉක්මනට ඇල්පිටියට යවමු කියලා. ඇල්පිටියට ගියාම එතැනින්න වෛද්‍යවරයෙක් එක්ක ඇම්බියුලන්ස් එකක දාලා පුතාව පුළුවන්තරම් ඉක්මණින් කරාපිටිය රෝහලට එක්කගෙන ගියා. හැමෝම හිතුවේ පුතාගේ ජීවිතය නැතිවේවි කියලා. එයි ගිලපු දේ උගුරේ හිරවෙලා ඇති කියලා තමයි කිව්වේ.”

කරාපිටියට ගෙන එනවිටත් ඔහු අප්‍රාණික වි තිබිණි. මේ දරුවා බේරාගැනීමට වෛද්‍යවරු නොගත් උත්සාහයක් නැත. කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහ ඔහු පරීක්ෂා කළේය. අවසානයේ තීරණය වුණේ මෙම දරුවා විසින් මැණිකක් යැයි පවසමින් ගිලින ලද යමක් ඔහුගේ ශ්වසනමාර්ගය ඔස්සේ ගමන් කර පෙනහලු දෙකට ශ්වසන මාර්ගය බෙදී යන ස්ථානයට තරමක් උඩින් හිරවී ඇති බවයි. දරුවාගේ ජීවිතය බේරාගැනීමට නම් එය ඉවතට ගත යුතුය. මෙහි දී නමුත් එය ඉතාමත් අපහසු සහ සංකීර්ණ කාර්යයකි.

මේ කාර්යයට සම්බන්ධ වූ විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය ටෝළූෂා හරිස්චන්ද්‍ර මෙසේ කීවාය.

“මට විශේෂඥ වෛද්‍ය වික්‍රමසිංහ මේ දරුවා ගැන කිව්වා. ශල්‍ය කර්මයක් සිදුකරලා හෝ මේ හිරවී තිබෙන දේ එළියට ගන්න ඕනෑ කියලා. නමුත් ඒ සඳහා කිසියම් වේලාවක් ගත වෙනවා. එතෙක් දරුවාගේ ජීවිතය බේරාගැනීමට කරන්න තිබුණු එකම දේ තමයි හිරවී තිබෙන දේ තවත් ටිකක් පහළට යවලා මේ දරුවාගේ එක පෙනහැල්ලක් පැත්තට එය තරමක් තල්ලු කිරීම. එතකොට අනෙක් පෙනහැල්ලට හොඳට වාතය ගමන් කරනවා. අවසානයේ එදා ඒ දේ කළා.”

ටෝළූෂා හරිස්චන්ද්‍ර මෙරට සිටින එකම හෘද ශල්‍ය වෛද්‍යවරියයි. ඒ ගැන අපි rata.lk මීට ඉහත විශේෂ සටහනක් තබා ඇත. එම සටහන මෙතැනින්.

ඇගේ සැමියා රංජිත් ජයවීර මාතර රෝහලේ විශේෂඥ උගුර, කන හා නාසය පිළිබඳ වෛද්‍යවරයෙකි. ‍වෛද්‍ය ටෝළූෂා තම සැමියා ද සමඟ මේ දරුවා පරීක්ෂා කළේ වෛද්‍ය වික්‍රමසිංහ ද වෛද්‍ය ටෝළූෂාට මෙන් ම ‍ඇගේ සැමියා රංජිත් ජයවීරට ද මේ රෝගියා ගැන පවසා තිබූ බැවිනි. ඒ හේතුවෙන් ඔහු ද මේ කාර්යයට එක්වූයේය.

“අපිට මේක ලොකු අභියෝගයක් වුණා. මේ හිරවූ දේ නැවත එළියට ගැනීමට ශල්‍ය කර්මයක් නොකිරීමටත් අපි තීරණය කළා. එ් වනවිට දරුවා සිටියේ දැඩි සත්කාර ඒකකයේ. එක පෙනහැල්ලක් ක්‍රියාකරමින් තිබුණා. නමුත් හිරවූ දේ උඩට ගන්නාවිට එය නැවත හිරවුණොත් දරුවාගේ ජීවිත අවදානමක් තිබෙනවා. මේ නිසා අපි එක්මෝ ප්‍රතිකාරය ලබාදෙන්න තීරණය කළා. දරුවාට අවශ්‍ය ඔක්සිජන් එක්මෝ යන්ත්‍රය හරහා රුධියට එකතු කරමින් හිරවූ දේ එළියට ගැනීම තමයි අපේ සැළසුම වුණේ. එය ඒ සැළසුමේ ආකාරයට ම කළා. අපිට හැකිවුණා එය එළියට ගන්න. එළියට ගත්තාම තමයි හැමෝම දැනගත්තේ මේ දරුවා මැණිකක් කියලා හිතාගෙන ගිලලා තියෙන්නේ මාල ඇටයක් කියලා. එයා ඒක ගිල්ලේ දුවන ගමන් නිසා එය ශ්වසන මාර්ගයේ ගමන් කරලා.” විශේෂඥ වෛද්‍ය ‍ටෝළූෂා විස්තර කළාය.

ඇය පවසන්නේ එක්මෝ ප්‍රතිකාරය මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට මහත් උපකාරයක් වූ බවයි.

හිරවූ දෙය එළියට ගත්තේ 29 වැනි දා වුව ද ඔහුට දැඩි සත්කාර ඒකකයේ 31 වැනි දා දක්වා සිටීමට සිදුව තිබිණි. 31 වැනි දා වාට්ටුවට මාරු කර යැවූ චිරාන් 03 වැනි දා රෝහලේ සිට නිවසට ගියේය.

දැන් ඔහු කිසිදු ගැටලුවක් නැතිව සාමාන්‍ය පරිදි කටයුතු කරයි.

කොහොමද ඔයාගේ මැණික ? යැයි ඇසූ විට

“ මම රැවටුණේ මාල ඇටයකනේ. දොස්තර මහත්වරුයි නෝනලයි නිසා බේරුණා. නැත්නම් අද මම ජීවතුන් අතර නෑ.” යැයි කියයි.

ඔහුගේ මව පවසන්නේ තම පුතාගේ ‍ජීවිතය බේරාගත් විශේෂඥ වෛද්‍යවරුන් වන ටෝළූෂා හරිස්චන්ද්‍ර, අනුරුද්ධ වික්‍රමසිංහ, රංජිත් ජයවීර ඇතුළු වෛද්‍යවරුන්ටත්  රෝහල් කාර්ය මණ්ඩලයටත් තමන් සදාකාලික ණය ගැති බවයි. ඇය ඔවුන්ට නොසෑහෙන්න ස්තූති කරන්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!