spot_img
spot_imgspot_img

“සිම්බාබ්වේ මෙන් සල්ලි ගෝනි ගෙන යාමට සිදුවිය හැකියි. අපි ඒ බව දන්නවා” – මහ බැංකු අධිපති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2021 වර්ෂයේ දී පමණක් රුපියල් බිලියන 1,400ක මුදලක් අලුතෙන් මුද්‍රණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ඒ.අනිල් පෙරේරා පවසයි. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ රටේ ගෝනිවලින් සල්ලි රැගෙන යන තත්වයට පත්වීමේ අවදානමක් ඇති බවයි.

ඔවුන් දෙදෙනා  මේ බව කියා සිටියේ දෙරණ මාධ්‍ය ආයතනයේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමිනි.

එය මෙතෙක් වර්ෂයක් තුළ නිකුත් කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය ලෙස ඉතිහාසයට එක්වෙයි. ඒ ආකාරයෙන් මුදල් නිකුත්කිරීමට සිදුවීම සම්බන්ධයෙන් අනිල් පෙ‍රේරා මෙසේ කීවේය.

“රජයට භාණ්ඩාගාර බිල්පත් අරගෙන ප්‍රාථමික  වෙළෙඳ පොළෙන් මහ බැංකුව රුපියල් බිලියන 1,400ක් පමණ මුදල් නිකුත් කළා. මෙය රහසක් නෙවෙයි. අපි නිකුත් කරන්නේ මුදල් පදනම මගින්. අපිට විදේශ විනිමය ගැනීමේ ගැටලුවක් තිබුණා. ඒ නිසා විදේශ විනිමය ලැබුණා අඩුයි. රජයට ණය දීමෙන් තමයි මේ මදුල් වැඩි ප්‍රමාණයක් නිකුත් වුණා. ඒකත් අපි මිල දී ගත්තු භාණ්ඩාගාර බිල්පත් වලින් ග්‍රොස් එක. මේක මහ බැංකුවේ ප්‍රසිද්ධ දත්ත. ඇත්තටම භාණ්ඩාගාර බිල්පත් වැඩිවෙලා තියෙන්නේ බිලියන 700ක් වගේ ප්‍රමාණයක් පමණයි. මහ බැංකුවෙ පදනම් මුදල තියෙන්නේ රුපියල් බිලින 1,200ක් වගේ එය විශාල වශයෙන් වැඩි වෙලා නැහැ.  කාසි සහ නෝට්ටු වශයෙන් තියෙන මුදල් සහ වාණිජ බැංකුවල ඇති සංචිත මුදල් ප්‍රමාණය ගත්තොත් විශාල වැඩිවීමක් නැහැ.

ඉතිහාසයේ කිසිම දිනක මේ තරම් ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා නැහැ නොවේ දැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් මාධ්‍යවේදියා විමසූ විට කබ්රාල් මෙසේ කීවේය.

“එ් වගේ මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා නෑ. මේක මුළු ලෝකයටම සිදුවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ට්‍රෙෂරි බිල් හෝල්ඩ්න්ස් වැඩි වුණ තත්වයක් තමයි මේ තියෙන්නේ. ඇමෙරිකාව ඇතුළු සෑම රටකම වගේ මෙහෙම වැඩිපුර මුදලක් මහ බැංකු විසින් නිකුත් කරලා තියෙන්නේ. ඒ කාලය තුළ දී ඇතිිව පීඩනය ජනතාවට ප්‍රේෂණය නොකර එය දරා ගැනීමට තමයි මේක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක කෙරුවේ නැත්නම් ඊට වඩා ලොකු පීඩනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා.”

මාධ්‍යවේදියා එහි දී ප්‍රශ්න කර සිටියේ අපේ රටත් සිම්බාබේ වගේ වෙයි ද සුපර් මාර්කට් යන විට සල්ලි ගෝනියක් රැගෙන යන්න සිදුවේවිද යනුවෙනි.

එයට පිළිතුරු දුන් කබ්රාල‍් පැවසුවේ මෙවැනි කතාවකි.

“අපි මේ කරන්නේ තාක්ෂණික ක්‍රියාවලියක්. අපි ඒ තාක්ෂණික ක්‍රියාව නොකෙරුවානම් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. ඔබතුමා කියන රිස්ක් එක තියෙනවා. ඒක නැතිව නෙවෙයි. ඒ රිස්ක් එක දැන දැනම සමහර වෙලාවට ඒක කරන්න සිදුවෙනවා. ශල්‍යකර්මයක් සමහර වෙලාවට කරන්න වෙනවා ලෙඩාව බේරාගන්න. අපි මේ වෙලාවේ දී යම් වැඩිපුර මුදලක් නිකුත් කරලා තිබුණත් ඊළඟ මාස කිහිපය තුළ දී අලුත් මුදල් රටට ගලා ඒමට පටන් ගනිද්දී අපි දැනටමත් අච්චු ගහලා තියෙන සල්ලිවලින් රුපියල් බිලියන 500ක් නැවත අඩු කරන්න සැළසුම් කර තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ දී ෆේස්බුක් එකෙන් විතරක් බලලා කලබල වෙන්න එපා කියලයි. මේ තීරණ ගන්න අපේ මහ බැංකු නිලධාරීන් ලෝකේ හොඳම විශ්වවිද්‍යාලවලින් ඉහළම අධ්‍යාපනයක් ලැබූ අය. හැමෝටම ෆස්ට් ක්ලාස් තියෙනවා. අපිප මහ බැංකුවට ගන්නේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් දක්වන පළමු 100 හෝ 200 අතරින් පමණයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!