spot_img
spot_imgspot_img

අතුරුදන්වූවායැයි කියූ මහරගම දැරිය, හිතුමතේ ගිහින්. වගකීම් විරහිත ප්‍රචාරය දරුවන්ට හානියක්

පුවත්

විදෙස්

මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටිය දී 15 හැවිරිදි දැරියක් ‍අතුරුදන්ව ඇතැයි රට පුරා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර එම දැරිය මේ වනවිට මව හමුවට පැමිණ තිබෙන බව පොලිසිය පවසයි.

මෙවැනි වයසක දැරියක් අතුරුදන්ව ඇතැයි මවක් කියූ පමණින් එය රට කළඹන පුවතක් බවට පත්කර කුණු රසය ඉස්මතුකිරීම අපගේ මාධ්‍ය සම්ප්‍රදාය නොවන බැවින් එම ප්‍රවෘත්තිය rata.lk අපි පාඨක ඔබ වෙත වාර්තා කළේ නැත.

ජනවාරි 07 වැනි දින සිට තම දියණිය ආගිය අතක් නැතැයි මව පොලිසියට පැමිණිලි කර තිබූ අතර පොලිසිය ද ඒ බව මාධ්‍යයට කීවේය. සියලුම මාධ්‍යයන්ට එය පුවතක් වී තිබිණි.

නමුත් නිවසට පැමිණි දැරිය පවසා ඇත්තේ තමන් කළකිරීම හේතුවෙන් නිවසින් බැහැරව කුරුණෑගල ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා සිටින ස්ථානයක කාලය ගත කළ බවයි.

තමන් ගැන සිදුවන ප්‍රචාරයන් දැනගත් පසු තම දියණිය දුරකථන ඇමතුමක් දී නැවත නිවසට පැමිණි බව මව පොලිසියට දන්වා තිබේ.

මහරගම, නාවින්න ප්‍ර‍දේශයේ පදිංචිව සිටි නිවසින් පළා ගිය මේ දැරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බව ද පොලිසිය පවසයි.

රට කළඹන ආකාරයේ ප්‍රවෘත්තියක් නිර්මාණය වුව ද මෙවැනි සිදුවීම් රට පුරා ඕනෑ තරම් වාර්තා වෙයි. නව යොවුන් වියට පිවිස සිටින මෙවැනි දැරියන් පමණක් නොව මීටත් වඩා බාල වියේ පසුවන දැරියෝ ද නිවෙස්වලින් පලා යති. ඒ ඇතැම් විට තමන්ට ආදරය කරනවා යැයි සිතන අයකු සමඟය. ටික දිනකට පසු එහි භියකරු බව තේරුම්ගන්නා ඔවුන් ආපසු එයි. නැතිනම් රැගෙන පුද්ගලයා විසින් නැවත හරවා එවයි. නැතිනම් රැගෙන යන බව පවසා අතරමංකර දමා යයි. දැරියන්ට සිදුවන්නේ යළි නිවසට පැමිණීමටය.

පසුගිය 07 වැනි දා මේ දැරිය කුරුණෑගල ප්‍රදේශයේ මෙහෙණිවරු සිටින ස්ථානයකට ගොස් එහි රැඳී සිටියා නම් එතැන සිටි මෙහිණි වරු ඇය සම්බන්ධයෙන් නිසි වගකීම ඉටුකර නැත. එවැනි බාලවයස්කාර දැරියක් තමන් සිටින ස්ථානයට පැමිණියානම් ඒ ගැන ‍පළමුවෙන් ම ළඟම ඇති පොලිසියට දැනුම් දිය යුතුය. බාලවයස්කාර දැරියකට තම හිතුමතයට තිරණ ගත නොහැකි බව ඒ මෙහණිවරු දැන සිටිය යුතුය.

දැරියක් නිවසේ නැතැයි මවක් පොලිසියට පැමිණිල කළ පමණින් ඇය අතුරුදන් වී ඇතැයි පවසන මාධ්‍ය මෙහි සැබෑ තත්වය කිසි දිනක හෙළි කරන්නේ නැත.

දිනකට මෙවැනි දැරියෝ පමණක් නොව පිරිමි දරුවෝ ද නිවෙස්වලින් පලා යති. එවැනි අවස්ථා රැසක් පසුගිය දිනවල වාර්තා විය.

මේ සම්බන්ධ විග්‍රහයක් කරන කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ මෙවැනි කතාවකි.

“පසුගිය දිනවල මෙවැනි සිද්ධි රාශියක් වාර්තා වුණා. මේ වගේ සිද්ධි මාධ්‍ය මගින් ප්‍රචාරයවීම, වාර්තා කිරීමත් ‍නැවත නැවතත් එවැනි දේ සිදුවීමට බලපෑමක් වෙනවා. දෙමාපියන්ගේ තරඟකාරී ආර්ථික රටාවත් එක්ක නව යොවුන් වියේ දරුවන්ට අවශ්‍ය අවධානය යොමු වෙන්නේ නැහැ. ඇතැම් අය දරුවන් සමඟ කාලය ගත කළත් දරුවන්ගේ සැබෑ සිතිවිලි සහ අවශ්‍යතාවන් තේරුම් ගන්නේ හෝ එයට සවන් දෙන්නේ හෝ නැහැ. ඒ වගේ ම පසුගිය කොරෝනා කාලයේ දී මේ දරුවන්ට, පාසලේ දී තම මිතුරු මිතුරියන්, ගුරුවර ගුරුවරියන් හමුවීම අඩු වුණා. ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන් ම සමවයස් මිතුරු ඇසුර නොමැතිවීම ගැටලුවක්. මේ අතර විවිධ පෙළඹවීම් මාධ්‍ය මගිනුත් සිදුවනවා. විද්‍යාත්මක නොවන මානසික පෙළඹවීම් සිදුවනවා. විශේෂයෙන් ම ආගමික පෙළඹවීම්. මෙය ඉතාමත් හානිකරයි. විවිධ ව්‍යාජ උපදෙස් දෙන කණ්ඩායම් බිහිවී තිබෙනවා. ඒවාට දරුවන් අනුගත වෙනවා.‍ මේ සිදුවීමත් එවැන්නක් විය යුතුයි. මේ සඳහා උපදේශනයක් අවශ්‍ය වෙනවා. මනෝ වෛද්‍ය විද්‍යාවේ දී සීමාන්තික පෞරුෂත්ව ආබාධය කියලා තත්වයක් තිබෙනවා. යම් යම් දේවලට බියක් දක්වන, සමාජය සමඟ මුසුවීමට බියක් දක්වන දරුවන්ට මේ තත්වය ඇතිවනවා. එවැනි අය ඇතැම් විට සම්පූර්ණයෙන්ම තමන් ජීවත්වන සමාජය ප්‍රතික්ෂේප කරන්න හෝ වෙනත් ස්ථාන සොයා යාම සිදුවිය හැකියි. මෙය සමස්ත සමාජයම, විශේෂයෙන් ම දෙමාපියන් සහ ගුරුවරුන් තේරුම්ගත යුතු දෙයකි. අනවශ්‍ය ප්‍රචාරය මේ වගේ අවස්ථාවන් තවදුරටත් වැඩි කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!