spot_img
spot_imgspot_img

මහින්දයෙන් බිහි වී ක්‍රිකට් ලෝක වාර්තා තැබූ ගාල්ලේ “අමේන්ද්‍ර පවුල”

පුවත්

විදෙස්

(සජීව විජේවීර)

මහින්දීයයකුට තමන් නොහඳුනන මහින්දීයයකු හමුවී කථා බස් කිරීමට ලැබීම ඉතා සොඳුරු අත්දැකීමකි. මට හමුවූ මේ මහින්දීයයා මහින්ද ඉතිහාසයේ පමණක් නොව ලෝක ක්‍රිකට් වංශකථාවේම නොමැකෙන සටහනක් තැබූ අයෙකි.

අමේන්ද්‍ර පවුලයැයි කී පමණින් ගාල්ලේ මිනිසුන්ට ක්‍රිකට් මතක් වන තරමටම අමේන්ද්‍රලා  ක්‍රිකට් හා සම්බන්ධවී සිටිති. අද ගාල්ලේ සිටින්නේ අමේන්ද්‍රලා දෙදෙනෙක් පමණක් වුවද ගාල්ල වක්වැල්ල පාරේ විසූ විලියම් අමේන්ද්‍ර මහතාට දාව නෙලී ද සිල්වා මහත්මියගේ කුසින් උපතලැබූ අමේන්ද්‍රලා නම දෙනෙකු ලෝක ක්‍රිකට් වංශ කථාවේ තම නම සටහන් කර ඇත්තේ කිසිදා කිසිවෙකුට කඩා දැමිය නොහැකි අයුරෙන් අද්විතීය වාර්තා තබමිනි.

මේ පවුලේ බාලම පුතු ඉපදී මාස අටකින් අම්මා මියගියාය. එතැන් පටන් පුතුන් 09 දෙනාම හැදුණේ වැඩුණේ තම පියා සමගිනි.

මව සමඟ මැද ස්ටැන්ලි, දකුණේ සිසිර, වමේ රාජා පාසල් ඇඳුමින් සැරසී

මේ පවුලේ වැඩිමලා වූ  සිසිර අමේන්ද්‍ර මම පළමුවෙන්ම හඳුනාගත්තෙමි. මහින්දයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පළමු අමේන්ද්‍ර ඔහු විය.

ඒ කාලේ මම ක්‍රිකට් ගහනවට අම්මගෙයි තාත්තගෙයි කැමත්තක් තිබුණෙ නැහැ. සමහර දවස් වලට ගෙදරට හොරෙන් තමයි පුහුණුවීම් වලට යන්නේ. ඉතින් මේ විදියට සෙල්ලම් කරද්දී මගේ මල්ලිලත් ක්‍රිකට් පටන් ගත්තා.

1951 දී පුංචි කොළු ගැටයකුව සිටි සිසිරගෙන් ඇරඹි ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගේ සොහොයුරෝ ද එක්වූයෙන් ගාල්ලේ මහින්ද විද්‍යාලයීය පළමු පෙළ කණ්ඩායමෙන් මහේන්ද්‍ර නාමය අවසන් වූයේ වර්ෂ 1973 දීය. ඒ එකම පවුලේ සොහොයුරන් නම දෙනා වූ සිසිර, රාජා, ස්ටැන්ලි, පර්සි, තිස්ස, අසෝක, ඩඩ්ලි, පුණ්‍යා සහ ගාමිණී අඛණ්ඩව වසර 22 ක් එකම මහින්දයේ කණ්ඩායම නියෝජනය කිරීමෙන් අනතුරුවය. මෙය කිසිදා නොබිදෙන වාර්තාවක් වී තිබේ.

අමේන්ද්‍ර පවුල

සිසිර අමේන්ද්‍ර 1951 සිට 1957 දක්වා,

රාජා 1953 සිට 1957 දක්වා,

ස්ටැන්ලි 1954 සිට 1959 දක්වා,

පර්සි 1956 සිට 1961 දක්වා

තිස්ස 1957 සිට 1960 දක්වා

අසෝක 1959 සිට 1965 දක්වා

පුණ්‍ය 1962 සිට 1966 දක්වා

ඩඩ්ලි 1967 සිට 1969 දක්වා

ගාමිණී 1970 සි 1973 දක්වා මහින්දය නියෝජනය කර තිබේ.

අමේන්ද්‍ර පවු‍ල විසින් ලෝක වාර්තාවක් බිහිකළ මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම 1957 වර්ෂය. මෙම ඡායාරූපයේ වාඩිවී සිටින අය අතරින් දකුණේ සිට වෙැනියා සිසිර අමේන්ද්‍ර (නායක) වැම් පැත්තේ පළමු වැනියා රාජා අමේන්ද්‍ර , පිටුපස හිටගෙන සිටින අය අතරින් වම් පැත්තේ පළමුවැනියා ස්ටැන්ලි අමේන්ද්‍ර, දකුණේ පළමුවැන්නා තිස්ස අමේන්ද්‍ර දකුණේ සිට තෙවැන්නා පර්සි අමේන්ද්‍ර (කඩුළු රකින්නා)

මේ සියල්ල අතර සුවිශේෂීතම අවස්ථාව වන්නනේ 1957 වර්ෂයේ සිසිර අමේන්ද්‍ර නායකත්වය දැරූ මහින්ද විදුහල් පළමු පෙළ කණ්ඩායමට ඔහුගේම සොහොයුරන් හතර දෙනෙකුද ඇතුලත් වීමයි. ඒ ලෝක ක්‍රිකට් වංශ කථාවේ එකම තරඟයක දී එකම පවුලේ සොහොයුරන් පස් දෙනෙකු එකම කණ්ඩායමක් නියෝජනය කළ එකම අවස්ථාව විය. එම පාසල් ක්‍රිකට් වාරයේ අමේන්ද්‍ර පවුලට වැදගත් ම තරඟය වූයේ 1957 දී නාලන්දා විද්‍යාලයට එරෙහිව කොළඹ එන්සීසී පිටියේ පැවති තරඟයයි. එහි දී මේ පවුලේ අයියා මලෝ 05 දෙනෙක් ක්‍රීඩා කළහ.

සිසිර (නායක) ස්ටැන්ලි, පර්සි (කඩුළු රකින්නා) රාජා හා තිස්ස මෙම දුර්ලභ වාර්තාවේ හිමිකරුවෝ වෙති.

එකම කණ්ඩායමට එකවිට ක්‍රීඩාකළ සහෝදරයන් 05 දෙනා – 1957

සිසිර, රාජා, ස්ටැන්ලි සහ අශෝක තුන් ඉරියව් ක්‍රීඩක‍ොය්ය. පර්සි කඩුළු රකින්නාය. තිස්ස පිට දඟ පන්දු යවන්නකු වූ අතර ඩඩ්ලි සහ ගාමිණී දකුණත් පිතිකරුවෝ වූහ.

පර්සි අමේන්ද්‍ර කඩුළු රකින්නා ලෙස

මේ සම්බන්ධයෙන් ගිනස් පොතේ නවතම සංස්කරණයක දී වෙනම කොටසක් වෙන්කරන බව දැනටමත් අමේන්ද්‍ර පවුලට දැනුම් දී තිබේ.

අමේන්ද්‍ර පවුලට පසු එවැනි පවුලක් ගැන ලෝක ඉතිහාසයේ සඳහන් වන්නේ එංගලන්තයෙනි. ඒ සවුත්ගේට්හි ජීවත්වූ වෝකර්ස් පවුලේ සහෝදරයන් හත්දෙනකු පිළිබඳවය. මේ හත්දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව ඇතත් ඔවුන්ගෙන් එකම කණ්ඩායමක් එකවිට නියෝජනය කර ඇත්තේ තිදෙනකු පමණි.

මෙවන් සිදුවීමක් කිසිදු රටකින් මෙතෙක් වාර්තා වී නැත. අමේන්ද්‍ර පවුලේ ක්‍රිකට් ඉතිහාසයේ දී එක් වසරක තුළ සොහොයුරන් හතර දෙනකු බැගින් වසර දෙකක් ද, තිදෙනකු බැගින් වසර තුනක් ද, දෙදෙනකු බැගින් වසර හතක් ද නියෝජනය කිරීම මෙහි ඇති තවත් සුවිශේෂී කරුණකි.

“අපි ක්‍රිකට් ගහන්න පටන් අරගෙන වැඩි කාලයක් අම්මා ජීවත් වුනේ නැහැ. තාත්තා කොහොමවත්ම කැමැති වුණේ නැහැ අපි ක්‍රිකට් ගහනවට. නමුත් කොහොම හරි මම නායකත්වය දැරූ වසරේ 1957 මගේ තවත් මල්ලිලා හතර දෙනෙක් සෙල්ලම් කළා.” සිසිර අමේන්ද්‍ර කීවේය.

අමේන්ද්‍ර පවුලේ දස්කම් අතීත පත්තරවල

මේ අමේන්ද්‍ර පවුලේ ක්‍රිකට් නියෝජනය කිරීමේ විශේෂත්වයක් වන්නේ සොහොයුරන් නම දෙනාගෙන් පස් දෙනෙකුම මහින්දයේ පළමු පෙළ කණ්ඩායමට නායකත්වය දී තිබීමයි. එකම පාසලක පළමු පෙළ කණ්ඩායමට එකම පවුලක සොහොයුරන් පස් දෙනෙකු ම නායකත්වය දීමේ අවස්ථාවක්ද මෙතෙක් ලොව කිසිදු තැනැකින් වාර්තාවී නැත. සිසිර 1957, ස්ටැන්ලි 1958 සහ 1959, පර්සි 1961, අශෝක 1964, පුණ්‍යා 1965 මෙසේ තම විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරූහ. එමෙන්ම 1969 දී ඩඩ්ලි සහ 1973 දී ගාමිණී කණ්ඩායමේ උප නායකත්වයට පත්ව සිටියහ.

පාසල් ක්‍රිකට් පිටියේ අමුතුම වාර්තා පිහිටවූ මේ අයිය මලෝ කිසිවෙකුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවී නැත. ඒ පිළිබඳ ස්ටැන්ලි අමේන්ද්‍ර මෙසේ කීවේය.

අපි හුගක් අය පාසල් අධ්‍යාපනයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. ඒ නිසා ඉතින් ජාතික කණ්ඩායමට ඇතුළු වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපි රට යන තුරු මෙහි හිටපු කෙටි කාලයේ දී අන්තර් සමාජ තරඟවලට සහභාගිවී දස්කම් දැකවා තිඛෙනවා.

සිසිර, රාජා සහ අශෝක ගාල්ල ක්‍රීඩා සමාජයට ද, ස්ටැන්ලි බ්ලූම්ෆීල්ඩ් සහ බීආර්සී ක්‍රීඩා සමාජයට ද, පර්සි පානදුර ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කර තිබේ. රාජා අමෙන්ද්‍ර ක්‍රිකට්වලට පමණක් නොව කායවර්ධන ක්‍රීඩාවෙන් ද දස්කම් දක්වා තිබේ. එමෙන්ම ඔහු තරුණ ක්‍රිස්තියාන සංගමයේ කායවර්ධන පුහුණුකරුවා ලෙසත් මොරටුව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසත් කටයුතු කළේය.

පර්සි සහ පුණ්‍ය

අමේන්ද්‍රලා පස් දෙනෙකු එකම කණ්ඩායමක් නියෝජනය කිරීම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පුදුමය දනවන කරුණකි. එකළ මහින්ද කණ්ඩායම සහභාගිවන ක්‍රිකට්  තරඟයක් වේනම් අතුරු සිදුරු නැතිව ප්‍රේක්ෂකයන් පැමිණෙන්නේ මේ අපූරු සොහොයුරන් පිරිස දැකගැනීමේ අපේක්ෂාවෙනි.

මේ සොහොයුරන් නම දෙනා අතරින් තිස්ස අමේන්ද්‍ර වයස අවුරුදු 25 දී දුම්රියක ගැටී මියගොස් ඇත.

ලෝකයේ කිසිවෙකුට කිසිදා බිද දැමිය නොහැකි ආකාරයේ අපූරු වාර්තා තැබූ මේ සොහොයුරෝ තම අභිමානවත් අතීතය අදට ද සතුටින් සිහිපත් කරති.

අමේන්ද්‍ර පවුලේ සහෝදරයන්. වයස අවුරුදු 25 දී මියගිය තිස්ස මෙම ඡායාරූපයේ නැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!