spot_img
spot_imgspot_img

මහින්ද විද්‍යාලයේ මුදල් වංචා සිද්ධියට, පොලිසිය මඟහරිමින් සිටි ‘භාණ්ඩාගාරික ගුරුවරියට’ අධිකරණයෙන් ඇප ලැබෙයි

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් වංචා සහගත ලෙස අයථා පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සොයමින් සිටි සැකකාරියක වන එම විද්‍යාලයේ ගුරුවරියක හා පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකවරිය ඊයේ (06) අධිකරණයට භාර වූ පසු ඇප මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.

මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ නාවල කංකානම්ගේ උදානි ප්‍රියංකා නමැති ගුරුවරියකි.

මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් රුපියල් 2,156,200.00ක් වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ඇයගෙන් ප්‍රකාශය ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඇය පොලිසියට පැමිණියේ නැත. පොලිසිය ඇය පදිංචි නිවසට සහ ඥාති නිවෙස්වලට ගොස් සෝදිසි කරනවිට ඇය ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි.

ඉන් පසු ඇය තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පවසමින් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබාගත් ලේඛනයක් මහින්ද විද්‍යාලයීය විදුහල්පතිවරයාට ඉදිරිපත්කර නිවාඩු ඉල්ලා තිබිණි. මේ ලේඛනය පිළිබඳ අප කළ සොයාබැලීමක දී තහවුරු වූයේ ඇය කොරෝනා ආසාදිත නොවන බවට පරීක්ෂණයකින් තහවුරු වී තිබිය දී ඇයට එවැනි ලේඛනයක් නිකුත්කර ඇති බවයි. නමුත් ඒ පිළිබඳ අප විසින් සොයා බැලූ 2021-12-21 වැනි දින බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට නැවත ඇය සහ ඇගේ සැමියා කැඳවා ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ඇය පොසිටිව් බවට වාර්තා කර තිබිණි.

ඉන් පසු පොලිසියට නොපැමිණි මෙම ගුරුවරිය ඊයේ  (06) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූවාය.

සැකකාරිය වෙනුවෙන් ප්‍රසිත වල්ගම සහ ලසන්ත විජේනායක යන නීතිඥවරු පෙනී සිටි අතර එහි දී ඔවුන් කියා සිටියේ තම සේවා දායිකාව පරීක්ෂණ කටයුතුවලට කිසිදු බාධාවක් කර නොමැතිවීම සහ ඇය කොරෝනා ආසාදිතවීම හේතුවෙන් නිරෝධායනය වී සිටීම යන කරුණු සැළකිල්ලට ගෙන ඇප ලබා දෙන ලෙසයි.

ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක උදයකාන්ත විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර ඉල්ලා සිටියේ මෙම මුදල් වංචා සිද්ධියේ ඇය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බැවින් ඇයට ඇප ලබා නොදෙන ලෙසයි.

පැමිණිල්ල වෙනුවෙන් ඒ.සී.ඩී.සී.දර්ශන සහ රජිත් ක්‍රිස්තොම්බු යන නීතිඥවරු පෙනී සිටියහ.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල රුපියල් 25,000.00ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එම ගුරුවරිය මුදාහැරීමටත් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමටත් නියෝග කළේය. එමෙන් ම සෑම මසකම අවසන් ඉරු දින ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයට වාර්තා කරන ලෙස ද නියෝග කළේය.

මෙම මුදල් වංචාව සම්බන්ධ නඩු විභාගය මාර්තු 21 වැනි දින නැවත කැඳවීමට නියමිතය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!