spot_img
spot_imgspot_img

“ජය-ජය” මූලධර්ම මත පදනම්ව ආර්ථික අර්බුදයෙන් මිදෙමු

පුවත්

විදෙස්

ශිරාන් ඉල්ලන්පෙරුම විසිනි

Belt and Road Initiative (BRI) හරහා තම බාහිර ආයෝජනය “ජය-ජය” මූලධර්මය මත පදනම් වූ බව චීනය දිගු කලක් තිස්සේ අවධාරණය කළා. මෙයින් අදහස් කරන්නේ චීන ආයෝජන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා යොමු වී ඇති බව සහ එය, එක් අතකින් ත්‍යාගශිලීභාවයේ අන්තයටත් තවත් පැත්තකින් සූරාකෑමේ අන්තයටත් නොයා යුතු බවයි.

චීන ආයෝජන, බොහෝ විට සහනදායී වුවද, තවමත් වාණිජමය සහ මූල්‍ය ප්‍රතිලාභයක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන දෙයක්. මේ අතර, චීන ආයෝජන ලබන්නන්ට මුදල් වෙනුවට නව යටිතල පහසුකම් හෝ ස්වභාවික සම්පත් වැනි දිරිගැන්වීම් ලබා දෙනවා. මෙම ව්‍යාපෘති, බටහිර සංස්ථා සහ බහුජාතික ආයතන විසින් ඉතා අවදානම් යැයි සලකන ඒවායි.

ද්විපාර්ශ්වික වශයෙන්, ජයග්‍රහණය මැනිය යුත්තේ ව්‍යාපෘති පදනම මත පමණක් නොව, රටවල් දෙකක් අතර වාණිජ අන්තර්ක්‍රියා වල අවසාන ශේෂ පත්‍ර මතයි. නිදසුනක් ලෙස, චීනය බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වෙළඳ අතිරික්තයක් පවත්වාගෙන ගියද, එහි බාහිර ආයෝජනයන්හි දී, Belt and Road Initiative (BRI) හරහා මෙම ප්‍රාග්ධනයෙන් කොටසක් නැවත සංවර්ධනය වෙමින් පවතින රටවලට බෙදා හැරීම සිදුකරනවා. වාර්ෂිකව චීනය විසින් පවත්වන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) වැනි උත්සව මගින් පෙන්නුම් කරන්නේ චීනය සිය ආනයන වැඩි කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් උනන්දු වන බවයි.

විශාල විදේශ විනිමය අතිරික්තයක් අතිරික්තයක් පවත්වාගෙන යන ඕනෑම රටක් එහි වෙළඳ හවුල්කරුවන්ගේ ආර්ථික කඩාවැටීම හෝ දේශපාලන ගැටුම් වළක්වා ගැනීම සඳහා සැබවින්ම කළ යුත්තේ මෙයයි. චීනයට ප්‍රතිවිරුද්ධව ජර්මනිය, යුරෝපා සංගමය අස්ථාවර කරන දැවැන්ත මුදල් අතිරික්තයක් පවත්වාගෙන යනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වුවද, චීන පාර්ශ්වය ආනයන සීමා කිරීම් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ. නමුත්, මානව හිමිකම් සම්බන්ධ ගැටළු, අමතර – ආර්ථික බලකිරීමේ ක්‍රමයක් ලෙස යොදවමින් යුරෝපා සංගම් නියෝජිතයන් ශ්‍රී ලංකාවට අනතුරු අඟවනවා.

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය

ජයග්‍රාහී ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය කෙබඳු විය හැකිද යන්න සඳහා ලංකා-සීනෝ සබඳතා සාධාරණ සැකිල්ලක් සපයනවා. හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම BRI ආයෝජන ලෙස හඳුනාගත හැකියි. හම්බන්තොට වරාය ලෝකයේ කාර්යබහුල ම නැව් මාර්ගයකින් නාවික සැතපුම් දහයක් ඔබ්බෙන් පිහිටුවන ලද වරායක්. දෙවැන්න ඉන්දියන් සාගරයෙන් කොටසක් ගොඩකර කොළඹ නගරයට ඈඳා ඇති හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක ඉදිකරන ලද සේවා ඉලක්ක කරගත් විශේෂ ආර්ථික කලාපයක් සඳහා සූදානම්කර ඇති ප්‍රදේශයක්.

හම්බන්තොට වරාය, එහි යාබද කාර්මික උද්‍යානය සමඟින් අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන ක්‍රියාකාරකම් උත්පාදනය කරන අතර අසල්වැසි දිස්ත්‍රික්කවලින් කෘෂිකාර්මික අපනයන සඳහා වෙළඳපොලක් ද සපයනු ඇතැයි බලාපොරොත්තු වනවා. වරාය නගරය, දේපළ වෙළඳාම්, මූල්‍ය සේවා, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය කෙරෙහි ඉලක්ක කරනු ඇති. මෙම ව්‍යාපෘති දෙකම ඉහළ මට්ටමේ විදේශ මුදල් උත්පාදක යාන්ත්‍රන වන අතර, පළමුවැන්න ප්‍රාථමික සහ ද්විතියික අංශ කෙරෙහි අවධානය යොමු කරන අතර දෙවැන්න තෘතියික අංශය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මෙම ආයෝජන දෙකෙහි අනුපූරක ලක්ෂණ, ඒවා මූල්‍යකරණය කළ ආකාරය විශ්ලේෂණය කිරීමේදී වඩාත් සිත්ගන්නා සුළුයි. හම්බන්තොට වරායට චීනයේ EXIM බැංකුවෙන් 2%ත් 6.5%ත් අතර පොලී අනුපාත යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක ණය ලබාගෙන තිබෙනවා. මෙම අරමුදල් ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට (CHEC) ගෙවීමට සිදුවනවා.

CHEC කොන්ත්‍රාත්තුවෙන් පසු මුදල් ඉතිරි කළේ නම්, එය වෙනත් ඕනෑම වාණිජ ව්‍යාපෘතියක් හා සමාන වනවා. නමුත් ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස දිගු ඉතිහාසයක් ඇති සමාගම, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය වන Port City Colombo ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක් ආයෝජනය කරමින් ආයෝජකයෙකු සහ ක්‍රියාකරුවෙකු වීමට තීරණය කළා.

ජාතික ගිණුම් ඉදිරි දර්ශනයකින්, ශ්‍රී ලංකාවට ප්‍රධාන අපනයන-අභිමුඛ යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලැබුණේ කිසිවක් සඳහා නොවේ. මක්නිසාද යත්, හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා CHEC ගෙවීමට ගත් ණය මුදලම පසුව CHEC විසින් Port City Colombo ඉදිකිරීම සඳහා නැවත ආයෝජනය කරන ලද බැවින්. ශ්‍රී ලංකා පාර්ශ්වයට ගෙවීමට ඉතිරිව ඇති ශුද්ධ මුදල මුල් ණය මුදලේ පොළියයි.

හම්බන්තොට වරාය සහ පෝට් සිටි ව්‍යාපෘති ණය උගුලකින් බැහැරව, වාණිජ අවශ්‍යතා පවත්වා ගනිමින් රටවල් තම ද්විපාර්ශ්වික ශේෂ පත්‍ර තුලනය කළ හැකි ආකාරය පිළිබඳ ධනාත්මක උදාහරණ ලෙස හැඳින්විය හැකියි.

“ජය – ජය” සංකල්පයට අනුව ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට ආසන්නතම හේතුව COVID-19 වසංගතයයි. එය වසර දෙකක දී අඛණ්ඩව ඩොලර් බිලියන 3 ක සංචාරක ආදායමක් රටට අහිමි කළා. මේ හේතුවෙන් ආනයන සීමා කිරීමට සහ විදේශ මුදල් සංචිත කළමනාකරණය කිරීම සඳහා ද්විපාර්ශ්වික මුදල් හුවමාරු විධිවිධානවල නිරත වීමට රජයට සිදුවනවා.

IMF මග හැරීම සහ එවැනි උපාය මාර්ගයක් පවත්වා ගෙනයෑම සඳහා දැඩි රාජ්‍ය තාන්ත්‍රික බවකින් කටයුතු කිරීම අවශ්‍ය වනවා – එය දුෂ්කර නමුත් එය කළ හැකි දෙයක්. ශ්‍රී ලංකාවේ සංචිතවල හිඟයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ එහි වෙළඳ හිඟය ඩොලර් බිලියන 7 සිට 8 දක්වා ඉහළ යාමයි. ඉන්දියාව සහ චීනය එක්ව ශ්‍රී ලංකාවේ අපනයනවලින් අඩකට හිමිකම් කියනවා. මේ අතර, පිරිපහදු කළ පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ තනි විශාලතම ආනයන භාණ්ඩය වන අතර, එය මුළු ආණයන ප්‍රමාණයෙන් 10% ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මූලික වශයෙන් ඉන්දියාව, සිංගප්පූරුව සහ මැලේසියාවෙන් මෙම තෙල් ලබාගන්නවා.

ජර්මනිය වැනි රටවල් ආනයන සීමා ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීම අසාධාරණ විය හැකි නමුත්, මෙම රටවලට තනිව අභියෝග කිරීමට ශ්‍රී ලංකාව ඇති බලය ප්‍රමාණවත් නැහැ. එයට හේතුව නම් ජර්මනියේ සමස්ත මුදල් සංචිත අතිරික්තයක් තිබියදීත්, ඇඟලුම් අපනයන සඳහා ප්‍රධාන වෙළඳපොලක් වුවත් එය ශ්‍රී ලංකාව සමඟ (සුළු) වෙළඳ හිඟයක් පවත්වාගෙන යනවා. එහිදී ඉහළ මට්ටමේ ජර්මානු භාණ්ඩ ආනයනය කිරීමට ශ්‍රී ලංකාවේ මිලදී ගැනීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතිනවා.

එබැවින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සිදුවන්නේ ඉන්දියාව, චීනය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් සමඟ සමීපව කටයුතු කිරීමටයි. රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් මෙම රටවල් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ වෙළඳ අතිරික්තයන් ණය හෝ FDI ලෙස නැවත ආයෝජනය කිරීමට දිරිමත් කළ යුතු වනවා. ඉන්ධන සඳහා ආනයන ණය සාකච්ඡා කිරීම, දේශීය තෙල් පිරිපහදු කිරීම හෝ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම ප්‍රමුඛත්වය දිය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස හඳුනාගත හැකියි.

“ජය – ජය” සංකල්පය මත පදනම්ව, වෙනත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ බාහිර ශේෂ පත්‍රය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුකිරීම, ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් සැකසීමට උපකාරී වේ. මෙය භූ දේශපාලනික ආතතීන් සමනය කිරීමට ද උපකාරී වනවා. එසේම වෙළඳ හවුල්කරුවෙකු සහ මිත්‍රයෙකු ලෙස රටක කීර්ති නාමයට පමණක් හානි කළ හැකි ප්‍රධාන බල කණ්ඩායම් සමඟ තාවකාලික සහ ප්‍රතිපත්ති විරහිත ප්‍රතිනිර්මාණයන් පිළිබඳ අවබෝධය දුරු කිරීමට ද උපකාරී වනවා.

ලේඛකයා මූල්‍ය සහ කළමනාකරණ උපදේශන සමාගමක් වන Econsult Asia හි පර්යේෂණ විශ්ලේෂකයෙකි

මෙම ලිපිය factum ආයතනය මගින් සපයන ලද ලිපියක සිංහල පරිවර්ථනයකි.

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!