spot_img
spot_imgspot_img

සංගීතයත්, ක්‍රීඩාවත් ගෝලීය දේශපාලනයේ දිශානතිය තීරණය කරයි

පුවත්

විදෙස්

චාමර සුමනපාල විසිනි

කැරිබියන් දූපත් රාජ්‍යයක් වන බාබඩෝස් ජනරජයක් බවට පත්වුණේ 2021 නොවැම්බර් මස 30 වැනි දා. බ්‍රිතාන්‍ය කිරීටය සමඟ එම රාජ්‍යයේ තිබූ අවසන් ව්‍යවස්ථාපිත බැඳීමත් එදින ඉවත් වුණා.

මෙම අවස්ථාවේ දී ගෝලීය වශයෙන් සුප්‍රසිද්ධ පොප් තාරකාවක් වන රොබින් රිහානා ෆෙන්ති නව ජාතික වීරයකු ලෙස නම් කළ අතර බාබඩෝස් ජාතික වීරයකු සඳහා වන පුළුල් විවාදයක් ඇතිකිරීමටත් එය හේතුවක් වී තිබෙනවා.

ඇතැම් පුද්ගලයන් ජාතික වීරයන් ලෙස අදහස් කරන්නේ සන්නද්ධ අරගලයක දී හෝ දේශපාලන ක්ෂේත්‍රයේ දී ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කළ අය පමණයි. බාබඩෝස් රාජ්‍යයේ ද එවැනි ජාතික වීරයන් සිටිනවා. හයිටි විප්ලවයෙන් ආශ්වාදය ලබා අසාර්ථක නැගිටීමක් මෙහෙයවූ වහල් නායකයකු වන බුසා එවැනි අයෙක්. ඔහු එරට පිළිගත් ජාතික වීරයන් අතර එක් අයෙක්.

නමුත් රිහානා එම ගණයට අයත්වන්නේ නැහැ. එබැවින් ඇය ජාතික වීරයෙක් ලෙස පිලිගැනීම ඇතැම් විචාරකයන් අතර ප්‍රශ්න ඇතිකරන්නක් බවට පත්ව තිබෙනවා. නිදසුනක් ලෙස එක් මාධ්‍ය වාර්තාවකට අනුව ජැමෙයිකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් රිහානා සම්බන්ධයෙන් විවිධ මත පළ කළත් ඔවුන් බාබඩෝස් ජනරජයක් වීමේ කාර්යයට සහය දැක්වූවා.

නීතිමය පදනම

බාබඩෝස් ජාතික වීරයන් පිළිගන්නේ කවර ආකාරයේ නීතිමය පදනමක් මත ද ? 1998-10 ජාතික වීරයන්ගේ නියෝගය අනුව මේ පිළිගැනීම සිදුවෙනවා. ජාතික වීරයා යන ගෞරවය ප්‍රදානය කිරීම සහ ඊට අදාළ කරුණු සඳහා මෙම පනත සම්මත කරගෙන ‍තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නම්කරනු ලබන සුදුස්සන් සඳහා ආණ්ඩුකාරවරයා විසින් ජාතික වීර සම්මානය පිරිනැමීම සිදුකළා. බාබඩෝස් ජනරජයක් බවට පත්වීමෙන් පසු අගමැතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා විසින් එම ගෞරවය ප්‍රදානය කරනු ඇති. පනතේ 08 වැනි වගන්තියට අනුව බාබඩෝස් හි උපත ලැබූ පුද්ගලයන්ගේ ගෞරවය සළකා බැලිය හැකි අතර එවැනි අයකු මියයනවිට බාබ‍ොඩෝස් පුරවැසියකු ලෙස සිටියේ ද යන්නත් සළකා බැලීම සඳහා සුදුසුකම් වනවා. එමෙන් ම බාබඩෝස්හි පුරවැසි භාවය ලබාගත් පුද්ගලයකුට වුව ද මේ ගෞරවයට හිමිකම් කිව හැකියි.

බාබඩෝස් හි ජාතික වීරයකු ලෙස පිළිගැනීමක් ලැබීම සඳහා වන සුදුසුකම් මේ පනතේ දැක්වෙනවා.

“8 වැනි ගන්තියේ සඳහන් වන පුද්ගලයකුගේ සුදුසුකම් තීරණය කිරීමේ දී එම පුද්ලයා පිළිබඳ අගමැතිවරයා විසින් සළකා බැලිය යුතු කරුණු දක්වා තිබීම ද විශේෂත්වයක්.”

(අ) බාබඩෝස් තෙ විශිෂ්ඨ සේවයක් කර තිබීම මෙන්ම ඔහුගේ හෝ ඇයගේ දායකත්වය බාබඩෝස් ඉතිහාසයේ ගමන් මග වෙනස් කර තිබේ නම්

(ආ) දූරදර්ශී සහ පුරෝගාමී නායකත්වය ලබාදීම, අසාමාන්‍ය ජයග්‍රහණ ලැබීම සහ බාබඩෝස් හි ගෞරවයට පාත්‍ර වූ ඉහළම විශිෂ්ඨත්වයක් අත්පත් කරගැනීම මගින් පැහැදිළිව විදහා දැක්විය හැකි සේවයක් බාබඩෝස් වෙත ලබාදීම

(ඇ) ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාවන් සහ පරිත්‍යාගයන් හේතුවෙන් පොදුවේ බාබඩෝස් ජනතාවගේ ආර්ථික හා සමාජයීය තත්වය වැඩිදියුණු කිරීමට දායකත්වය ලැබීම

එම කරුණුවලින් (ආ) වගන්තිය අනුව රිහානා ජාතික වීරවරියක් ලෙස ප්‍රකාශයට පත්කළ බව බාබඩෝස් අගමැතිනි Mia Amor Mottley අවධාරණය කළා.

අගමැතිනි මොට්ලි, රිහානාගේ ප්‍රවේශය සඳහා අවශ්‍ය පසුබිම විස්තර කිරීමේ දී බාබඩෝස් හි ජීවමාන ජාතික වීරයකු ගැන සඳහන් කළා.

“බ්‍රිජ්ටවුන්හි මෙම ස්ථානයේ සිට සැතපුම් එකක් ඇතුළත, ශ්‍රීමත් ගාෆීල්ඩ් ශාන්ත ඇල්බන් සෝබර්ස් නම් ජාතික වීරයෙක් සිටිනවා. ඉතාමත් නිහතමානී පුද්ගලයකු වන ඔහු සාමාන්‍ය පවුලක උපතලැබූ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම කාලයකම ශ්‍රේෂ්ඨයා වෙමින් සමස්ත ලෝකයේ ම ආදරය සහ ගෞරවය දිනාගැනීමට සමත්වුණා.”

ඉන් පසු අගමැතිනිය සෝබර්ස් සහ රිහානා අතර ඇති සමානකම් අවධාරණය කළා. ඇතැම්විට ආණ්ඩුවේ තීරණය සාධාරණීකරණයකිරීමට “ අපි දැන් බ්‍රිජ්ටවුන් අනෙක් පැත්තේ සිටිනවා. මෙතැන් සිට සැතපුමකට වඩා අඩු දුරකින් උපත ලැබූ ඇය සාමාන්‍ය පවුලක යුවතියක්. නමුත් ඇය සියල්ලටම වඩා ලෝකයේ ආකර්ශනය දිනා තිබෙනවා. ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වූ ඇය තම නිර්මාණශීලීත්වය, ඇගේ විනය සහ අන් සිල්ලටම වඩා ඇය උපන් දේශය සඳහා අසාමාන්‍ය කැපවීමක් පෙන්වා තිබෙනවා.”

වීරයෙක් ද  ? නැද්ද ?

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මෙන්ම රිහානා ද තම ක්ෂේත්‍රය තුළ උච්ඡතම ස්ථානයට පැමිණි දෙදෙනෙක්. කොළඹ නගරයෙන් අඩකටත් වඩා අඩු ජනගහනයක් සිටින දූපතකට මෙය ඉතාත් ආඩම්බර විය යුතු ජයග්‍රහණයක් බව අවිවාදිතයි සෝබර්ස් ගැන බොහෝ දෙනකු දන්නේ සහ ඔහුට සළකන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසයි. රිහානා දැනට ලොව ධනවත්ම කාන්තා ගායිකාව වන අතර ඇයගේ ඇස්තමේන්තු ධනය ඇමෙරිකානු ඩොලර් බිලින 1.7ක් වනවා. එය බාබඩෝස් හි වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක්. ඇය බාබඩෝස් සහ විදේශීය රටවල ජනතාවගේ සුබසාධනය සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. ඇය අදින් වසර 10කට පමණ පෙර ක්ලාරා ලයනල් පදනම ස්ථාපිත කළා. එම පදනම මගින් ආපදා සහන ලබාදීමට සහ අධ්‍යාපනයට ඇය විශාල දායකත්වයක් සැපයුවා.

රිහානා බාබඩෝස්හි සංස්කෘතික සංකේතයක් වගේම සංස්කෘතික තානාපතිනියක් ලෙස හැඳින්විය හැකියි. බාබඩෝස් රජය විසින් 2018 වර්ෂයේ දී ඇය තානාපතිනියක් ලෙස පත්කළ නමුත් එය විධිමත් පිළිගැනීමක් පමණයයි. The Guardian හි Ben Beaumont – Thomas පවසන පරිදි රිහානා “තමන්ගේ බජන් උච්ඡාරණය කිසි විටෙක වෙනස් කර හෝ මෘදු බවට පත්කර නැහැ. ඇගේ සංගීතය POP, R & B මෙන් ම නර්තන විලාසයත් ඇගේ ලේ උරුමය ඇති කැරිබියන් දූපතේ රිද්මයෙන් පොහොසත්ව පවතිනවා.”

ඇය තමන්ගේ කුඩා දූපත් රාජ්‍යයට, ජාතියට සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස මිල කළ නොහැකි සම්පතක් බවට පත් වී සිටිනවා. ඒ වගේම ඇය පෙන්වා දී තිබෙන්නේ ඇගේ සජීවී සංස්කෘතියට ලෝකය ජය ගත හැකි බවයි.

තවත් කැරිබියානු දූපතක් වන ජැමෙයිකාවේ උපතලබා මියගිය බොබ්මාලේට එරට ජාතික වීර තත්වය පිරිනැමිය හැකිනම් රිහානාගේ මේ පිලිගැනීම මෙන්ම තවත් සිත්ගන්නාසුළු විවාදයක් ඇති කළ හැකියි. බොබ්මාලේ නිසැකවම කැරිබියානු සංස්කෘතිය, රෙගේ සංගීතය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියා බව නොරහසක්. ජැමෙයිකාවේ ජීවත් වූ පළමු ගෝලීය සුපිරි තරුව ඔහුයි. මළල ක්‍රීඩක උසේන් බෝල්ට් ඉපදීමටත් දශකයකටත් පෙර තම ජැමෙයිකාව ලෝකයේ ප්‍රසිද්ධ කළේ ඔහුයි. නමුත් බොබ්මාලේ කිසිදා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කළේ නැහැ. ජැමෙයිකාවේ ප්‍රකාශයට පත්කර ඇති ජාතික වීරයන් හත් දෙනාම යටත් විජිත විරෝධී සටන්කරුවන් හෝ දේශපාලනඥයන්. ඔවුන් කිසිවිටෙකත් ජැමෙයිකාව වටා ඇති වෙරළෙන් ඔබ්බට තම දේශයේ නාමය ගෙන ගියේ නැහ. ලොව කිසිවෙකුත් ඔවුන් ගැන දන්නේ නැහැ. නමුත් සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස බොබ්මාලේ ඒ සියල්ලටම වඩා ඉහළම හිනිපෙත්තට ගමන් කළා.

නමුත්, බොබ්මාලේ සහ රිහානා වැනි අය කුඩා ජාතියක් වෙනුවෙන් සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සහ සංස්කෘතික සබඳතාවල වැදගත්කම ලෝකයට පෙන්වා දී තිබෙනවා. තම අනන්‍යතාව නොවෙනස්ව පවත්වාගනිමින් දේශසීමා ඉක්මවා යා හැකි සංස්කෘතීන් පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම බොහෝ මිනිසුන් විසින් වැළඳගන්නවා. බොබ්මාලේ සහ රිහානා ඔවුන්ගේ අනන්‍යතාවයේ හරය ආරක්ෂා කරමින් නව රුචි අරුචිකම් මිශ්‍ර කිරීමසහ සොයාගැනීම අත්හදා බැලුවා. එමගින් ඔවුන් ලෝකයම වැළඳගත් ඵලදායී සංස්කෘතික තානාපතිවරුන් බවට පත්වුණා.

ජනරජයක උදාව

ජනරජයක් වීමත් සමඟ බාබඩෝස් රාජ්‍යය එක රැයකින් ලොව බලවත් ජාතිකයක් බවට පත්වන්නේ නැහැ. මෙය බ්‍රිතාන්‍යයේ දුර්වලතාවක් ද නොවෙයි. මෙය සැබැවින්ම සංකේතාත්මක දෙයක්. නමුත් වැදගත්ම කරුණ නම් බාබඩෝස් රාජ්‍යය තනියම නැගී සිටීමට සූදානම් බවයි. ඉන් ලැබෙන සුවිශේෂීතම පණිවිඩය අන් සියලු කැරිබියානු ජාතීන්ට වැදගත් වනවා.

ජැමෙයිකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලීසා හැනා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙය අපූරුවට සාරාංශගත කර තිබුණා. “අපේ කලාපයට වෙනස්වීමේ ධෛර්යය සහ ගෝලීය අරමුණ මෙම පුද්ගල අනන්‍යතාව සවිබල ගැන්වීම සඳහා ආරම්භයක් කරා ගමන් කරන බව දැනෙනවා.”

ඇතැම්විට මෙය රිහානාට ජාතික වීර තත්වය පිරිනැමීමේ වැදගත්ම අංගය විය හැකියි. බ්‍රිතාන්‍ය ගෝලීය සුක්කානම අතහැර ඇති බව අවිවාදිත වුවත්, බාබඩෝස් සම්පූර්ණයෙන් ම වෙනස් පණිවිඩයක් ලබාදෙනවා විය හැකියි. එය ජයගැනීම ඔවුන්ගේ වාරය වනවා. ඔවුන් සංගීතය, සංස්කෘතිය හාා ජීවිතයට ඇති ආදරය සමඟ එය ජයගනීවි යැයි අපි සිතනවා.

ලේඛකයා  – මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ඔහු ලේඛකයෙක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු ද වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති හෙතෙම ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උනන්දුවන අතර ඒ සම්බන්ධ පර්යේෂණවල ද නිරතවෙයි.

‍මෙම ලිපිය Factum ආයතනය මගින් සපයනු ලැබූ ලිපියකි.

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!