නව ව්‍යවස්ථාවකට මහජන අදහස් ඉල්ලයි

0
58

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පවසයි.

යම් පුරවැසියකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ නම් එම යෝජනා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන කවර භාෂාවකින් වුව ද ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට තැපැල් මගින් යොමුකිරීමට හැකියාව තිබේ. මේ යෝජනා සහ අදහස් නොවැම්බර් 30ට පෙර එවිය යුතුය.

නැතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට ද යොමු කිරීමේ අවස්ථාව ලබා දී ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk යන වෙබ් අඩවියෙන් ද ලබාගත හැකියි.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල විවාදය ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඇරඹි අවස්ථාවේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අදහස් පළ කරමින් නව ව්‍යවස්ථාව කඩිනමින් ගෙන ඉදිරිපත් කරන බව කියා සිටියේය.

පසුගිය යහපාලන රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව” පත්කරන ලද අතර ලාල් විජේනායක මහතා එහි සභාපතිත්වය දැරීය. එම කමිටුව විසින් ශ්‍රී ලංකාව විෂයයන් 20ක් යටතේ දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් විමසමින් කමිටු වාර්තාවක් ද සකස් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here