spot_img
spot_imgspot_img

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ, හොඳම විදෙස් ප්‍රතිපත්තිය තිබූ නායකයා කව්ද ?

පුවත්

විදෙස්

චාන්දනී කිරින්දේ විසිනි

ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයක් නිදහස ලැබීමෙන් පසු, ජාත්‍යන්තර සබඳතාවල කැළඹිලි සහිත ලෝකය පිළිබඳ ඒත්තු ගැන්වීම පහසු කාර්යයක් වී නැහැ. විදේශ කටයුතුවල සාර්ථකත්වයේ කතා බොහෝමයක් රඳා පවතින්නේ රටේ නායකයින් සහ ඔවුන් ජාතිය මෙහෙයවීමට තෝරාගෙන ඇති දිශාව මත යි. 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී JR ජයවර්ධනගේ කීර්තිමත් කතාව, Colombo Plan (1950)/Bandung Conference (1955) තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව හෝ 1976 දී නොබැඳි ජාතීන්ගේ සමුළුව කොළඹ දී පැවැත්වීම වැනි සාර්ථක අවස්ථාවන් කිහිපයක් අපට දක්නට ලැබෙනවා. එසේම රටට විශාල වියදමක් දැරීමට සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික ගැටීම් ගණනාවක් ද මේ කාලය තුළ සිදුවුණා.

ශතවර්ෂ කිහිපයක යටත් විජිත පාලනයෙන් පසු 1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවද, නිදහස ප්‍රදානය කිරීමත් සමඟ ආරක්ෂක සහ විදේශ කටයුතු ගිවිසුම් සමඟ එය බ්‍රිතාන්‍ය කඳවුර තුළ හොඳින් මුල් බැසගත්තා. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත් පළමු රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍යයන්ගේ හොඳ හිත ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකගේ අපේක්ෂාව වුණා. එසේම බ්‍රිතාන්‍ය සමග  සමීප සබඳතා අලුතින් නිදහස ලැබූ තම රටට ආරක්‍ෂාවක් සපයනු ඇතැයි ඔහු ප්‍රමුඛ රජය විශ්වාස කළා. බ්‍රිතාන්‍යය සමඟ ආරක්‍ෂක සහ විදේශ කටයුතු සම්බන්ධව දිගින් දිගටම සබඳතා පැවැත්වීම ගැන ඔහුගේ විරුද්ධවාදීන් සැක පහළ කළ ද සේනානායක එය දුටුවේ, ශ්‍රී ලංකාව කුඩා රටක් යැයි යන හැඟීම මනෝ විද්‍යාත්මකව ආරක්ෂා කරමින් එය ලෝක ප්‍රජාවට හඳුන්වා දීමක් ද ලෙසිනි. ,” ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රික V.l.B. මෙන්ඩිස් සිය ‘Foreign Relations of Sri Lanka – From Earliest times to 1965’ කෘතියේ එසේ ලියා තිබෙනවා.

නිදහස ලබන විට ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආරක්‍ෂක හා විදේශ කටයුතු එක් අමාත්‍යාංශයකට ඒකාබද්ධ කර ඒවායේ වගකීම අගමැතිවරයා වෙත පවා තිබුණා. “නමුත් විදේශ කටයුතු යනු, යම් අවස්ථාවක දී ඒවාට ආවේණික වැදගත්කමට වඩා අගමැතිගේ පෞද්ගලික රුචි අරුචිකම් හෝ පහසුකම් සලසන දේ පිළිබඳ කාරණයක් බවට පත් විය” යනුවෙවන් මෙන්ඩිස් සිය ග්‍රන්ථයේ දක්වා තිබුණා.

ඩී. එස්. සේනානායකගෙන් පසු 1952 දී අගමැති ධූරයට පත්වූ ඩඩ්ලි සේනානායකට නිදහස ලබා වැඩි කාලයක් ගත නොවූ රට වෙළා ගනිමින් තිබූ ආර්ථික දුෂ්කරතා සමඟ කටයුතු කිරීම අභියෝගයක් වුණා. ශ්‍රී ලංකාවට සහල් ටොන් 270,000ක් සැපයීමට ප්‍රතිඋපකාර වශයෙන් දිවයිනෙන් වාර්ෂිකව ෂීට් රබර් ටොන් 50,000ක් මිලදී ගැනීමට චීනය එකඟ වූ විට, චීනය සමඟ 1952 දී ඓතිහාසික සහල්-රබර් ගිවිසුම අත්සන් කළා. ඩඩ්ලි සේනානායක රජයට සිදුවුණේ කොරියානු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස චීනය සමඟ වෙළෙඳාම් කරන රටවලට ආධාර තහනම් කළ විට ඇමෙරිකාව සමඟ ගැටුමකට යාමටයි. මෙය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබූ එක්සත් ජනපද ආධාර අහිමි වීමට හේතු වූ අතර ජාත්‍යන්තර සබඳතා සමතුලිත කිරීමේ දී රට මුහුණ දෙන දුෂ්කරතාවය පෙන්නුම් කෙරුණා.

1953 දී ඩඩ්ලි සේනානායකගෙන් පසු අගමැති ධුරයට පත් වූ සර් ජෝන් කොතලාවල දැඩි ලෙස කොමියුනිස්ට් විරෝධියෙකු වූ අතර සිය අදහස් නොබියව ප්‍රකාශ කරන්නෙක් ලෙස ප්‍රකට වූවෙක්. නිදහසින් පසු කාලපරිච්ඡේදයේදී නොසලකා හරින ලද ආසියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ඔහු උනන්දු වූ නමුත් ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයට රටේ පක්ෂපාතිත්වය දැක්වීම ද දිගටම කරගෙන ගියා. ඔහු විසින් ආසියානු නායකයින් ගණනාවක් සහභාගී වූ Colombo Powers සමුළුව ආරම්භ කළ අතර, එය සම්පුර්ණයෙන්ම සාර්ථක කතාවක් නොවූවත්, 1955 අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාවේ පැවති ඓතිහාසික ආසියානු – අප්‍රිකානු බැන්ඩුන්ග් සමුළුව සඳහා වේදිකාව සකස් කළ බව අදටත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පිළිගැනීමයි.

1956 පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොතලාවල පරාජයට පත් වුණා. ඒ වන විට රට නිදහස ලබා වසර අටක් ගත වී තිබුණත්, එහි විදේශ ප්‍රතිපත්තිය බොහෝ දුරට කලාපීය සහයෝගීතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ නැංගුරම් ලා තිබූ බව පැහැදිලියි. කෙසේ වෙතත්, 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක අගමැති ප්‍රවේශයත් සමඟ විශාල වෙනස්කම් සිදු වුණා. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රට සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු කිරීමට බණ්ඩාරනායක දැක්වූවේ විශාල උනන්දුවක්.

1952 තරම් ඈත කාලයක දී බණ්ඩාරනායක මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාව අග්නිදිග ආසියාවේ ස්විට්සර්ලන්තය වැනි රටක් හිමිකරගත් තත්ත්වයට සමාන ස්ථානයක් ගත යුතු බව පවසමින්. ‛‛අද ලෝක කටයුතු සන්දර්භය තුළ කුඩා රටක් අවශ්‍යයෙන්ම යම්කිසි බල කඳවුරකට එකතු විය යුතුය යන අදහස ව්‍යාජ න්‍යායක්,” බණ්ඩාරනායක 1952 ජුනි මාසයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කළ කතාවකදී කියා තිබුණා.

තම ප්‍රතිපත්තිය අකර්මණ්‍ය බව සහ කැප නොවීම බව පැවසූ විවේචකයන්ගෙන් ආරක්ෂා වෙමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් සඳහා වූ තම කැපවීම, ඔහුගේ තේරී පත්වීමෙන් පසුව, බණ්ඩාරනායක යළි අවධාරණය කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් බණ්ඩාරනායක ප්‍රකාශ කළේ, ‘අපි කැපවී සිටින්නේ ධනාත්මක ස්වරූපයෙන් සාමයට, සියලු ජාතීන් අතර මිත්‍රත්වයට සහ සියලු මනුෂ්‍ය වර්ගයාගේ සාමය සහ සෞභාග්‍යය සහ සතුට සඳහා යි.” යනුවෙනි.

1948 දී නිදහස ලබා දී තිබියදීත් දිවයිනේ ග්‍රහණය රඳවා ගෙන සිටි බ්‍රිතාන්‍යයෙන් මිදීමට බණ්ඩාරනායක උත්සුක වුණා. ඔහු බලයට පත්වූ වහාම දිවයිනේ සන්නිවේදනය, ගබඩා කිරීම සහ සංචරණය වැනි පහසුකම් සීමා කරමින් බ්‍රිතාන්‍ය කඳවුරු පාලනය කිරීම අවසන් කිරීමට ඔහු එකඟ වී සිටියා. රට ජනරජයක් වීමේ අපේක්ෂාව ගැන බණ්ඩාරනායක ද දැනුම් දුන් නමුත් එය ඔහුගේ ජීවිත කාලය තුළ සිදු නොවූ අතර එය සිදු වූයේ 1972 දී යි.

“රාජ්‍ය තාන්ත්‍රික පරාමිති බටහිරට සහ එහි ආසන්න අසල්වැසියන්ට සීමා වී තිබූ” ඔහුගේ පූර්වගාමීන් විසින් තහනම් කොට සලකනු ලැබූ ලෝකයේ සමාජවාදී කොටස සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට ද බණ්ඩාරනායක පසුබට වුණේ නැහැ. ඔහු චීනය සමඟ සබඳතා ශක්තිමත් කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් වීමේ ස්ථිර ආධාරකරුවෙකු බවට පත්වුණා. 1957 ජූලි මාසයේදී චීන අගමැති චෞ එන් ලායි බුද්ධ ජයන්ති උත්සවය සඳහා මෙරටට පැමිණි අතර, මෙය දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස සැලකෙනවා.

1959 ඝාතනයත් සමඟ බණ්ඩාරනායක අගමැති ධුර කාලය අකාලයේ අවසන් වූ අතර ඔහුගේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගොස් රට ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කර සමාජවාදී ලෝකය සමඟ සබඳතා ශක්තිමත් කිරීම ඔහුගේ වැන්දඹුව වූ සිරිමාවෝ බණ්ඩාරනායක අමැතිනියගේ කර මතට වැටුණා.

1960 දී බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස තේරී පත් වූ විට ඇය ලෝක වේදිකාවේ පෙනී සිටීම ම නව්‍යතාවයක් ඇතිකළා. ඇගේ චරිතාපදාන රචක මොරීන් සෙනෙවිරත්න ලියා ඇති පරිදි, බණ්ඩාරනායක මැතිනිය අගමැතිවරයෙකුගේ බිරිඳක් ලෙස ඇයගේ භූමිකාව තුළ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි සහ චීනයේ චෞ එන් ලායි හමුවීම ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ නායකයින් බොහෝ දෙනෙකු සමඟ දැන හඳුනා ගැනීමේ අමතර ප්‍රතිලාභයක් ලැබුවා. ඇය විදේශ කටයුතු පෙරමුණේ ශක්තිමත් ස්ථානයක සිටියා.

1976 දී නොබැඳි ව්‍යාපාරයේ (NAM) රාජ්‍ය නායක සමුළුව කොළඹදී පැවැත්වීම, ඇය අගමැතිනිය ලෙස කටයුතු කළ වාර දෙක තුළ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ඇයගේ ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් ලෙස හැඳින්විය හැකියි.

“අප්‍රිකානු රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කළ පළමු නායිකාව ද ඇයයි. ඇය දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ප්‍රතිපත්තිය හෙළා දුටු අතර, නිදහස ලැබූ පළමු අප්‍රිකානු රාජ්‍යය වන ඝානා ජනරජයට ශ්‍රී ලංකාවේ පළමු කාන්තා තානාපතිනිය පත් කළා. එය එවකට අප්‍රිකාවේ සවන්දීමේ තනතුර ලෙස හැඳින්විණි, ” යනුවෙන් ඇයගේ චරිතාපදානයේ සඳහන් වී තිබෙනවා.

1977 දී ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය (එජාප) ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදු වුණා. ඔහු බටහිර නැඹුරු ප්‍රතිපත්ති සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නෙක්. (ඔහු චීනය සමඟ සහල්-රබර් ගිවිසුමට විරුද්ධ වුණා. එමෙන්ම දේශපාලන සමාජය තුළ ‘යැන්කී ඩිකී’ ලෙස ඔහු හැඳින්වූවා). එසේම ඔහු NAM ගැන වැඩිය නොසිතූ අතර කොළඹදී සමුළුව පැවැත්වීම මුදල් නාස්තියක් බව මැතිවරණ ව්‍යාපාරයේදී පැහැදිළිව ප්‍රකාශ කර තිබුණා. බණ්ඩාරනායක මැතිනියගේ ‘දේශීය ප්‍රතිපත්තියක් පවතින මොහොතක විදේශ කටයුතු කෙරෙහි දක්වන අධික සැලකිල්ල’ ලෙස එය හෙළා දකිමින් කතා කිරීම ජේආර්ගේ පුරුද්දක්. විශේෂයෙන්ම “ආර්ථිකයේ තත්ත්වය, ප්‍රමුඛත්වය ගත යුතුව තිබුණි” යනුවෙන් කේ.එම්. ද සිල්වා, ජනාධිපති ජයවර්ධනගේ චරිතාපදානයේ ලියා ති.බෙනවා.

නිදහසින් පසු ප්‍රථම වතාවට විදේශ කටයුතු නමැති විෂය වෙනම අමාත්‍යවරයෙකුට පවරමින් ඒ.සී.එස්. හමීඩ්, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජයවර්ධන විසින් පත්කරනු ලැබුවා. නව විදේශ අමාත්‍යවරයා නොබෝ කලකින්ම ලෝකයේ ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. අමාත්‍යාංශයේ නිලධාරීන්  ඔහුගේ ACS හි මුලකුරු වෙනුවට All Countries Seen යන වාක්‍ය ඛණ්ඩය නිර්මාණය කළා. නමුත්, මෙය ජයවර්ධනට කරදරයක් නොවූයේ වැදගත් විදේශ ප්‍රතිපත්ති තීරණ ගන්නා විට ඔහු හමීඩ්ව මඟ හැර ගිය බැවින්.

ජයවර්ධන බලයට පත් වූ වහාම සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේ ලාභාංශ ගෙවමින් ජපානය සමඟ සබඳතා සඳහා නව වැදගත්කමක් ලබා ගත්තා. ගාන්ධි මැතිනිය සහ බණ්ඩාරනායක මැතිනිය අතර පැවති සමීප සබඳතාවයට සමානව ඔහු ඉන්දියාවේ අගමැතිව සිටි මොරාර්ජි දේසායි සමඟ ද සමීප අවබෝධයක් ඇති කර ගත්තා.

කෙසේ වෙතත්, 1980 දී ඉන්දිරා ගාන්ධි නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම දෙරට අතර දුෂ්කර සබඳතාවයක ආරම්භය වූ අතර එය නායකයින් දෙදෙනා ධූර දැරූ කාලය පුරාවටම පැවති ගැටලුවක්. 1984 දී ඇයගේ ඝාතනයෙන් පසු ඇගේ පුත් රජීව් ගාන්ධි බලයට පත්වන විට ද එය නොවෙනස්ව පැවතුණා. තරුණ ගාන්ධි හස්තය විසින් ජයවර්ධනට 1987 දී ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමට පොළඹවන ලද අතර එය ජනප්‍රිය නොවන ජනාධිපතිවරයෙකු වඩාත් අප්‍රසාදයට පත්කිරීමට හේතු වුණා. 1989 ජේ.ආර්.ජයවර්ධන දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා තුරු ඔහුට ඒ අපකීර්තියෙන් මිදීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ජයවර්ධන බටහිරයන් සමඟ යහපත් හා නිර්මාණාත්මක සබඳතාවයක් නැවත ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම ප්‍රමුඛ වැදගත්කමක් ලෙස සැළකූ අයෙක්. ඔහු එසේ කළේ එක්සත් රාජධානියෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආර්ථික ආධාර ලබා ගනිමින් සහ 1984 දී ධවල මන්දිරයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් සත්කාරකත්වය ලබා දීමේ දුර්ලභ අවස්ථාවන් භුක්ති විඳිමින්. එහිදී ඔහුගේ ප්‍රියතම ගායක ෆ්‍රෑන්ක් සිනාත්‍රා ඔහුගේ ප්‍රියතම ගීතය “My Way” ගායනා කරමින් ඔහුට තරු පිරිවරාගත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී තිබුණා.

සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රටේ උතුරු නැගෙනහිර ස්ථානගතව සිටි ඉන්දීය සාම සාධක හමුදා, ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස විසින් ආපසු යැවීමෙන් පසු ඉන්දියාව සමඟ සබඳතා තවත් පළුදු වුණා. ප්‍රේමදාස ගිවිසුම අත්සන් කිරීමට දැඩි ලෙස විරුද්ධ වූ අතර ඉන්දියාව විසින් කරන ලද හිරිහැර කිරීම් පිළිබඳ ඔහුගේ අප්‍රසාදය ගැන කිසිදු සැකයක් තිබුණේ නැහැ. ජයවර්ධන ආණ්ඩුවේ අගමැති ලෙස ප්‍රේමදාස බොහෝ විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණවල දී රට නියෝජනය කළ අතර 1987 දී යථාර්ථයක් වූ නිවාස අහිමි වූවන් සඳහා ජාත්‍යන්තර නිවාස වසරක් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටියා. ඔහුගේ ජනාධිපති ධුර කාලය කෙටි වුණා. ජාත්‍යන්තර සබඳතා කෙරෙහි අඩු අවධානයක් යොමු වීම නිසා ඕනෑවට වඩා අභ්‍යන්තර කැළඹිලි ඇති වූයේ යැයි ද කිව හැකියි.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඇය ජාත්‍යන්තර සිවිල් සේවකයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයා ලෙස තෝරා ගැනීම බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ කරුණක්. ඔවුන්ගේ ඒකාබද්ධ පෞද්ගලික ආකර්ෂණය සමඟින්, ඇගේ රජය ඉන්දියාව සමඟ මිත්‍ර සබඳතා යළි ස්ථාපිත කිරීමට පියවර ගත්තා. ඇය රටේ විදේශ ප්‍රතිපත්තියට නව ප්‍රබෝධයක් ලබා දෙමින් ලෝකයේ වැදගත් අගනගර රැසක සංචාරය කළ අතර, ගෝලීය වශයෙන් වැදගත් කටයුතුවල නිරතවීමට  උනන්දු වූ නමුත්, කිසිදු බල කඳවුරක් සමඟ රට පෙළගස්වා නොගැනීමට ඇති උනන්දුවෙන් තම දෙමාපියන්ගේ නොබැඳි ප්‍රතිපත්තිය වෙත ආපසු ගමන් කිරීමට ඇයටත් සිදුවුණා.

බොහෝ රටවල් විසින් කොටි සංවිධානය තහනම් කිරීමට තුඩු දුන් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් කදිරගාමර්ගේ ඒත්තු ගැන්වෙන තර්කවල ප්‍රතිලාභ රටට අත්කරගත හැකිවුණා. වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ද ඔහු සාර්ථක ලෙස පෙනී සිටියා.

2005 දී චන්ද්‍රිකා කුමාරතුංගගෙන් පසුව බලයට පත් වූ මහින්ද රාජපක්ෂ, ආසියානු සහ අප්‍රිකානු ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කරමින් රටේ විදේශ ප්‍රතිපත්තියට නොබැඳි ප්‍රවේශයක් සමඟ ඉදිරියට ගිය‍ා. පලස්තීනයේ නිදහස වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින රාජපක්ෂ, ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සේවය කරන ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වැදගත් කලාපයක් බවට පත්ව තිබූ මැදපෙරදිග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ නායකයෙක්.

2009 දී ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊය සමඟ යුද්ධය අවසන් කරන තෙක් රාජපක්ෂ ඉන්දියාවේ සහය ලබා ගැනීමට උත්සාහ කළ නමුත් 2010-2015 දක්වා ඔහුගේ දෙවන ධූර කාලය තුළ ඔහු චීනය සමඟ සුහදව කටයුතු කිරීම ඉන්දියාවේ කෝපයට හේතු වුණා. ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යන දෙකම සමඟ සබඳතා පළුදු වූ මානව හිමිකම් ගැටළු විසඳීමට අසමත් වීම සම්බන්ධයෙන් රාජපක්ෂගේ රජය බටහිර ජාතීන්ගේ කෝපයට මුහුණ දීමට සිදුවුණා.

2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ලැබූ ජයග්‍රහණයත් සමඟ රට ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක කතාවක් ලෙස හුවා දැක්වූ අතර බටහිර ලෝකයේ දොරටු යළිත් විවර වී එහි ආර්ථික ප්‍රතිලාභ රටට ලැබීමට පටන් ගත්තා. මානව හිමිකම් ප්‍රශ්න විසඳීමට ශ්‍රී ලංකාව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට කැපවී එම ක්ෂේත්‍රයේ යම් සාධනීය ප්‍රගතියක් අත්කර ගත් නමුත් 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟ බටහිර සමඟ රටේ සබඳතා යටතේ භූමිය යළි දෙදරුම් කමින් පවතිනවා.

සිරිසේන ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වු එක්සත් මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවෙන් ඉවත් වීමට ගත් තීරණය මෙන්ම රටේ මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රතිවිරෝධී ප්‍රතිපත්ති නිසා මැද පෙරදිග සහ රටේ දැඩි මිත්‍ර පාක්ෂිකයින් බොහෝ දෙනකු ඈත් වුණා. මුස්ලිම් බහුතර රටවල්. චීනය මත දැඩි ලෙස විශ්වාසය තැබීමේ අඛණ්ඩ ප්‍රතිපත්තිය ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙඅංශයම ව්‍යාකූලත්වයට පත්කිරීමට හේතුවක් ලෙස හැඳින්විය හැකියි. යුරෝපා සංගමයේ (EU) රටවල් සමඟ මෙම රටවල් අවස්ථාවක් ලැබෙන සෑම තැනකම රට වටා නූල් තද කරයි.

වෙනස්වන බල කඳවුරු සහ වෙනස්වන භූ-දේශපාලන අවශ්‍යතා සමඟින්, ශ්‍රී ලංකාව ලෝක බලවතුන් සමඟ සබඳතා සමතුලිත කිරීමට උත්සාහ කිරීමේ මෙහෙයුම දිගටම කරගෙන යනවා. සමෝධානික සහ ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් නොමැතිකම මෙය වඩාත් අභියෝගාත්මක වන අතර, ලෝකය තුළ එය අත්පත් කරගෙන සිටින අද්විතීය භූගෝලීය පිහිටීමෙහි සම්පූර්ණ ප්‍රතිලාභ නෙළා ගැනීමට නොහැකිවීමේ ගැටලුවට මුහුණ පා සිටිනවා.

(ලේඛිකාව ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ඉතිහාස තීරු ලිපි රචකයෙකු වන අතර දීර්ඝ කාලයක්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්කරුවෙක් ලෙස කටයුතු කර ඇත.)

Cartoon by W.R. Wijesoma – Published 50 Years in Cartoon 1948-1977

factum ආයතනය මගින් සපයනු ලැබූ ලිපියකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!